විශේෂාංග

මහරජුටත් වඩා පෝසත් බ්‍රිතාන්‍යයේ අලුත් අගමැති…

පසුගියදා බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස හතළිස් දෙහැවිරිදි රිෂි සුනක් මහතා පත්වුණේය. ආසියානු සම්භවයක් සහිත පළමු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වන ඔහු හින්දු භක්තිකයෙකුද වේ. සිය සත් වසරක දේශපාලන ගමන්මගේ සුවිශේෂිම සන්ධිස්ථානය පසුකළ ඔහු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකයාද වෙයි.

ඉකුත් සැප්තැම්බර් 5 වනදා හිටපු අගමැතිනි ලිස් ට්‍රස් සමඟින් තරඟ වැදී පරාජයට පත්වුවද ඉන් දින හතළිස්පහකට පසු පක්ෂ නායකත්වය වාගේම අගමැති ධුරයට පත්වන්නට ඔහුට අවස්ථාව හිමිවිය. ඒ රටේ පවතින ආර්ථික පසුබෑම් හමුවේ ලිස් ට්‍රස් අගමැතිනියගේ ඉල්ලා අස්වීමත් සමඟිනි.

වසර දෙසීයක බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පත්වූ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා සුනක් වන අතර ක්‍රිකට් ලෝලියෙකු, ආහාර කලාවේ අපූරු රසවතෙකු මෙන්ම ආදරබර සැමියෙකු, පියෙකු වන රිෂි සුනක් පිළිබඳ කෙරෙන කෙටි විමසුමකි මේ.

දිවාලි උත්සවය වෙනුවෙන් මීට අවුරුදු දෙකකට කලින් මම මේ ඩවුනිං වීදියේ ඉටිපහන් දැල්වුවාඒ බොහෝ ගෞරවයෙන්. ඉන් වසර දෙකකට පසුව දිවාලි දිනයේදීම මම බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය තනතුරට පත්වුණා.

හින්දු ආගම කෙරෙහි රිෂි සුනක්ගේ ගෞරවය වාගේම සිය දේශපාලන ගමනේ අධිෂ්ඨානය ඒ වදන් තුළ ගැබ්ව තිබේ. බ්‍රිතාන්‍ය ඩවුනිං වීදිය එරට රජයේ කාර්යාල බොහොමයක් පවතින ප්‍රදේශයයි. රිෂි සුනක්ගේ නිවස පිහිටියේද එහිය.

ඔහු කොරෝනා වසංගත කාලයේ විවිධ වැඩසටහන් දියත් කළේද මෙහි සිටයි. 2015 යෝක්ෂයර්හි කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරයා ලෙස පත්වූ සුනක්, තෙරේසා මේ අග්‍රාමාත්‍යවරියගේ කාලයේ කනිෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. පසුව මොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාගේ කාලයේ භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්විය.

කොරෝනා වසංගතය සමඟ ලොක්ඩවුන් කිරීම් සිදු කරද්දී එක්සත් රාජධානියේ ආර්ථික කටයුතු මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරිණි. එහිදී රට වසාදැමීම සමඟින් මිලියන 11.6ක කම්කරුවන් සඳහා වැටුප් ගෙවීමට සැලැස්මක් හඳන්වාදීමේ හා එය ක්‍රියාවට නැංවීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය.

ඔහු බ්‍රිතාන්‍යයේ අගමැති පුටුව දක්වා ආවද, ඔහුගේ මුතුන්මිත්තන් ඉන්දීය සම්භවයක් සහිත අයයි. ඔහුගේ සීයා ජීවත්ව ඇත්තේ උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට අයත් ගුජ්රන්වාලා ප්‍රදේශයේය. ඔහුගේ මිත්තණිය 1960 වර්ෂයේ බ්‍රිතාන්‍යයට ගොස් ඇති අතර, රැකියාවක් සොයාගැනීමෙන් පසු තම සැමියාවත් දූ දරුවනුත් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගෙන තිබේ.

ගුජ්රන්වාලා ගම 1947 අවුරුද්දේ පාකිස්ථානය නිර්මාණය කිරීමට හේතුවූ උපමහද්වීපය බෙදී යාමෙන් පසුව එම ගම්මානයේ අයිතිය දැන් ඇත්තේ පාකිස්ථානයටයි. මේ නිසාවෙන් කලක් නැගෙනහිර අප්‍රිකාවේ වාසය කළ ඔවුන් පදිංචියට එන්නේ බ්‍රිතාන්‍යයටයි. සුනක්ගේ මව වන ඌෂා එකල ඖෂධවේදිනියක ලෙස සේවය කළාය. පියා දේශීය වෛද්‍යවරයෙකි. 1980 වසරේ රිෂි සුනක් උපත ලබන්නේ බ්‍රිතාන්‍යයේ සදම්ටන් ජාතික රෝහලේදීය. පසුකලෙක ඔහුගේ මව තමාටම කියා ෆාමසි කිහිපයක උරුමකාරියක වූ අතර, සුනක් වැඩි පැය ගණනක් මවට සහාය වීම පිණිස එම ඔසුසල්වලද සේවය කොට තිබේ.

සුනක් අධ්‍යාපනය ලැබුවේ රොම්සිහි පිහිටි ස්ට්‍රවුඩ් පාසලේත්, වින්චෙස්ටර් පාසලෙන්ය. එකල සවුත් හැම්ප්ටන්හි බොජුන්හලක වේටර්වරයෙකු ලෙසද ඔහු සේවය කළේය. පාසල් සමයේ සිටම විවිධ මිතුරන් ඇසුරු කළ සුනක් මිතුරන් අතරේ හිත හොඳ මිතරෙකු ලෙස ප්‍රකට විය. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය ලැබීය. පසුව ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය ලබන්නට ස්ටැන්ෆඩ්ර් ගියේය.

ඔහුට සිය ජීවන සහකාරිය වන අක්ෂාතා මූර්ති මුණගැසෙන්නේද එහිදීය. ස්ටැන්ෆඩ්ර් ව්‍යවසායකත්වයේ, නිර්මාණශීලිත්වයේ සහ නවෝත්පාදනයේ නිවහනක් ලෙස සැලකෙන අතර අක්ෂාතා විලාසිතා නිර්මාණ පිළිබඳ උපාධියක් ලබන්නට පැමිණ සිටියාය.

ඒ මගේ ජීවිතයේ සුවිශේෂී කාල පරිච්ඡේදයක්. ඇත්තටම මගේ ජීවිතය එහිදී වෙනස් වුණා. මගේ බිරිඳ අක්ෂතා මුණගැහුනෙත් ව්‍යාපාර උපාධි පාසලේදියි. ඇය ගති පැවතුම්වලිනුත් පෝසත්.

මේ ඉකුත් වසරේ ෆේස්බුක් සමාජ මාධ්‍යයේ සුනක් තැබූ සටහනකි. අද වනවිට මේ කියන අක්ෂාතා ඔහු බ්‍රිතාන්‍ය රජුටත් වඩා ඉහළ පෝසතකු කරන්නට සමත්ව තිබේ.

මේ කියන ධනවත් අක්ෂාතා ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන නාරායන් මූර්තිගේ දියණියයි. ඉන්දීය ප්‍රකට ඉන්ෆොසිස් නම් මෘදුකාංග සමාගමේ නිර්මාතෘවරයා ඔහු වන අතර, එම සමාගමේ කොටස්වලින් හතරෙන් එකක අයිතිය ඇත්තේ ඇයටයි. එනම් රිෂි සුනක් සහ ඇයගේ ඒකාබද්ධ වත්කම මේ වනවිට පවුම් මිලියන හත්සීය ඉක්මවා තිබේ.

සුනක් හා අක්ෂාතාගේ විවාහ මංගලෝත්සවය සිදුවූයේ 2009 වසරේ බැංගලෝර්හිදීය. එය සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් චාම්ව සිදුකළ එකකි. දියමන්ති ඔටුන්නක් වුව පැළඳීමට හැකියාව තිබියදී චාම් ආභරණ හා ඇඳුම් ආයිත්තම්වලින් පමණක් අක්ෂාතා හැඩවී සිටීම එහිදී කැපී පෙනුණකි.

චාම්කම, සරලකම ඔවුන් දෙදෙනාගේම දිවියට ආභරණයක් යැයි ඔවුන් ළඟින් ඇසුරු කරන්නන්ගේ මතයයි. දියණියන් දෙදෙනා වන ක්‍රිෂ්ණා සුනක් හා අනුෂ්කා සුනක් ද ඒ අඩිපාරේම ගමන් කරන සුන්දර දියණියන් දෙදෙනෙකු ලෙස සැලකේ.

නිවසේ සිටියදී ඇතැම් ආහාර සකසන්නටත්, දියණියන් සමඟ විවේක පාඩුවේ අවන්හලකට ගොස් රස ආහාරයක රස බලන්නටත් ඔහු වෙලාව සාදාගත් පියෙකි. කොරෝනා ලොක්ඩවුන් සමයේ ඔහු ආපනශාලාවලට ගොස් ආහාර ගැනීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්වලටද දායකත්වය දෙමින්, වැටුණු අවන්හල් නගා සිටුවීමට පියවර ගනිද්දී, කොරෝනා රෝගීන් වැඩිවූ බවටද ඔහුට චෝදනා එල්ලවිනි.

කෙසේ නමුත් දැන් සුනක් බ්‍රිතාන්‍ය අගමැතිය. දැනට විශ්‍රාමික සුවයෙන් සිටින, නාරායන් මූර්ති සිය බෑණා ගැන ආඩම්බර වන බවත්, එක්සත් රාජධානියේ ජනතාව වෙනුවෙන් ඔහු ඔහුගේ උපරිමය කරනු ඇති බවට විශ්වාස බවත් ‘ද ගාඩියන්’ පුවත්පත සඳහන්කොට තිබුණි.

දින 45 අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ලිස් ට්‍රස් කියා සිටියේ රටේ යහපත වෙනුවෙන් රිෂි සුනක්ට සුබ පතන බවයි. වඩා දීප්තිමත් දින ඇත්තේ ඉදිරියට බවද ඇය කියා තිබේ.

බංකිහැම් මාලිගයේදී තුන්වන චාල්ස් රජු හමුවීමෙන් පසු, ඩවුනිං වීදියේ සිට මහජතාව අමතමින් නව අගමැතිවරයා කීවේද අභියෝග ඇතත් බ්‍රිතාන්‍යයේ අනාගතය වෙනුවෙන් කැපවන බවයි.

මේ වනවිට කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන්ගෙන් වැඩිදෙනෙක් සුනක් වෙත පක්ෂපාතීත්වය ප්‍රසිද්ධියේ පෙන්නුවද අසමගියේ අළු යට ගිනි නිවී නොමැති බවද කියැවේ. ඒ අනුව ලිස් ට්‍රස් අගමැතිනිය මුහුණ දුන්නා සේම ආර්ථික අවපාතය ඇතුළු ගැටලුවලට විසඳුම් දුර වුවහොත්, නව අගමැතිවරයාගේ දේශපාලන මධුසමයද නොසිතූ ලෙස අවසන් විය හැකි බවට දේශපාලන විචාරකයින්ගේ මතයයි.

‘ඉරිතැලීම් සුව කිරීමට අපොහොසත් වුවහොත් සාදය ඉක්මනින් අවසන්වනු ඇත.’ එරට ‘ෆයිනැන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතද කියා ඇත්තේ එයයි.

නව අගමැතිවරයා මේවාට පිළිතුරු දෙන්නේ කෙසේදැයි කාලයට ඉඩදී බලා සිටින්නට සිදුවේ. එකම අවුරුද්දේ අගමැතිවරු තිදෙනෙකු මාරුවීමෙන්ම ඒ ගමනේ දුෂ්කර බව වටහාගත හැකිය.

දීපා වසන්ති එදිරිසිංහ