විශේෂාංග

පාස්පෝට් පෝලිමේ ඉපදුණු දැරියත් සමඟ හැටන් යුවළ තාමත් රෝහලේ

හැටන් නෝර්වුඩ්හි පදිංචි එස්.දයාලන් කලක පටන් රැකියාව කළේ කොළඹය. ඒ එක්තරා සමාගමකට අයත් වැඩබිමක අත් උදව්කරුවෙකු වශයෙනි. නමුත් රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හමුවේ රැකියාව අහිමි වූ නිසා ඔහුට යළිත් ගම්බිම් බලා යන්නට සිදුවිය. එතැන් පටන් දයාලන්ටත් ඔහුගේ බිරිඳ වූ එස්.පී.වයි.දර්ශනීටත් දිවි ගෙවන්නට සිදුවුණේ නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් මැද්දෙහිය.

කොළඹ ජොබ් එක නැතිවුණාට පස්සේ කරන්න දෙයක් තිබුණේ නෑ. මමයි බිරිඳයි අන්ත අසරණ වුණා. ඊටපස්සේ මං බළංගොඩ පැත්තෙන් දර ගෙනත් හැටන් ටවුමේ තියලා විකුණුවා. දර්ශනී ගාමන්ට් යන්න පටන්ගත්තා.

ගඟේ ගසාගෙන යන කවුරුත් බලන්නේ පිදුරු ගහක හෝ එල්ලී ජීවිතය බේරාගන්නටයි. දයාලන්-දර්ශනී යුවළද ඒ අයුරින් එදිනෙදා ජීවන වියදම සරි කරගන්නට බොහෝ සේ වෙහෙසුනහ. ඒත් අවාසනාවට මෙන් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සමඟ ඔට්ටුවෙන්නට ඔවුන්ට ලැබුණු සොච්චම් වැටුප ප්‍රමාණවත් වූයේ නැත.

ඔය අතරේ තමයි දර්ශනී කුවේට් යන්න තීරණය කළේ. හැබැයි ඒ වෙනකොට එයාට දරුවෙක් ලැබෙන්න හිටියා. එයා නිතරම කිව්වේ බඩේ ඉන්න දරුවගේ අනාගතය වෙනුවෙන් හරි රට යනවා කියලයි. දරුවා ලැබුණම පොඩි එකා එයාගේ අම්මා ගාව තියලා යන්නයි එයා හිතාගෙන හිටියේ.

රට තුළ පැවති දහසකුත් අර්බුද හමුවේ පසුගිය දිනවල බොහෝදෙනෙක් උත්සාහ කළේ රටින් පිටවෙන්නටයි. ඒ නිසාම බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම්වලින් අඩුවක් නොවීය. දුරබැහැර සිට බොහෝදෙනෙක් එසේ පැමිණ තිබුණේ දින ගණනක් ගෙවා හෝ විදෙස්ගතවීමට ගුවන් ගමන් බලපත්‍රය සකසාගැනීමටයි. පසුගිය ජූලි 06 වෙනිදා දයාලන් දර්ශනී යුවළද ඒ අතරට එකතු විය. ඒ රෑ අටකුත් ගාණටයි.

දරුවා ලැබෙන්න තව මාස කීපයක් තිබුණා. ඒත් අපි හිතුවා පාස්පෝට් එක කලින්ම හදාගෙන තිබුණා නම් ලේසියි කියලා. ඒ නිසා අපි හැටන්වල ඉඳන් ජූලි 06 වෙනිදා කොළඹට ආවා. වැඩේ කරගන්න දවස් කීපයක් යයි කියලා හිතුණු නිසා බත්තරමුල්ලට කිට්ටුවෙන් දවසකට දෙදාහ ගානේ ගෙවන කාමරේකුත් කුලියට ගත්තා. එතැන ඉඳන් තමයි එදා රෑ අපි පෝලිමට එකතුවෙන්න ගියේ.

මෙසේ දිගු දුරක් ගෙවාගෙන දයාලන්-දර්ශනී යුවළ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණේ එක්දින සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍රය සකසා ගැනීමටය.

එදා දර්ශනීට ටිකක් මහන්සියි කියලා කිව්වා. මමත් එච්චර ගණන් ගත්තේ නෑ. මොකද මං හිතුවේ එහෙම දැනුණේ ගමන් මහන්සියට වෙන්න ඇති කියලා. උදේ වෙනකොට එයා කිව්වා කොන්ද රිදෙනවා කියලා. ටිකකින් බඩ එහෙමත් රිදෙනවා කිව්වා. පස්සේ මං එතැන තිබුණු ගහක් යට ඉටිකොළයක් එලලා එයාට ටිකක් විවේක ගන්න දුන්නා.

ඔය අතරවාරයේ දර්ශනීට වැසිකිළි යාමේ අවශ්‍යතාවයක්ද පැන නැඟිනි. නමුත් ඇගේ අවාසනාවටදෝ එහිද පාස්පෝට් පෝලිම තරමටම දිගු පෝලිමක් විය. එය උදේ වරුවක් වීම ඊට හේතුවයි. අවසන ඇයද සියලු අමාරුකම් ඉවසා ඒ පෝලිමට එකතු වූයේ තම වාරය පැමිණෙන තෙක්ය.

දර්ශනීට වැසිකිළි පෝලිමේ ඉන්නකොට අමාරුකම් වැඩිවෙලා තිබුණා. ඒ අතරේ කීපදෙනෙක් දැකලා තියෙනවා එයා ඇඳගෙන හිටපු කලිසම දිගේ ලේ ගලනවා. ඒ ඇයි කියලා එයා දැනගෙන ඉඳලත් නෑ. පස්සේ එතැන හිටපු අය ඒක එතැන ආරක්ෂාවට යොදවලා හිටපු හමුදා නිලධාරීන්ට කියලා. ඔවුන් තමයි එයාව රෝහලට එක්ක යන්න කටයුතු කළේ.

දයාලන් පවසන ආකාරයට හමුදා නිලධාරීන් බිරිඳව රැගෙන ගොස් තිබුණේ කොළඹ කාසල් රෝහල වෙතය. ඒ යනවිටත් දරු ප්‍රසූතියෙන් හතරෙන් තුනක්ම සිදුවී තිබූ බවයි දයාලන් පැවසුවේ.

එයා ගෑනු ළමයෙක්. දර්ශනීට දරුවා ලැබෙන්න තව කල් තිබුණු හින්දා අපි ඒකට සූදානම් වෙලා ආවෙ නෑ. ඒ හැමදේම බලාගත්තේ හමුදාවේ මහත්තුරු. එයාලා දරුවා ලැබුණට පස්සේ ඕන කරන හැමදේම හොයලා බලලා ගෙනැත් දුන්නා. ඒ මහත්තුරුන්ට ගොඩක් පින්.

ඒ වනවිටත් ඇගේ කුසට හය මසක්වත් පිරී තිබුණේ නැත. එනිසාම එය සැළකුනේ නොමේරූ දරු උපතක් ලෙසිනි. මේ අතර දරුවා ලැබෙන මොහොතේ මතුවූ අපහසුතා හේතුවෙන් වෛද්‍යවරු ඇයව එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.

දරුවා හරි පුංචියි. මමත් දරුවාව බැලුවේ කීප සැරයයි. මොකද එයා බලන්න බය හිතෙන තරම් හරි පුංචියි. බරත් අඩුයි. තාමත් දුව කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වීදුරු පෙට්ටියක තියලා ඉන්නේ. වෛද්‍යවරු කියනවා හොඳ දෙයක් වෙයි කියලා. ඒත් විශ්වාස කරන්න අමාරුයි. හැබැයි මං හිතනවා මේ දරුවා මට දෙවියෝ දුන්නු තෑග්ගක් කියලා.

එතරම් අඩු වයසින් මෙලොව එළිය දකින දරුවන් බොහෝදුරට ජීවත් වන්නේ ජීවිතය හා මරණය අතර සටනකය. මොකක්දෝ වාසනාවකට දයාලන්-දර්ශනී යුවළගේ බිළිඳිය අදටත් සුවෙන්ය. එහෙත් තවත් මාස පහක් පමණ ඇය රෝහලේ නේවාසිකව තබාගත යුතු බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.

දරුවා තවත් මාස කීපයක් රෝහලේ තියාගන්න කියපු නිසා අපට ගමට යන්න බෑ. එහෙමයි කියලා කොළඹ ජීවත්වෙන්න ලේසිත් නෑ. දරුවා ලැබුණු මුල් කාලේ අපි වියදම් කළේ දර්ශනීගේ කරාබු දෙක උගස් කරලා. දර්ශනී කුවෙට් ගියාට පස්සේ මමත් එහෙට යන්න හිතාගෙන හිටියේ. ඒත් අපි හිතුවට වඩා ඉක්මණට දරුවා ලැබුණු නිසා හැමදේම වෙනස්වුණා. මේ ගෙවෙන්නේ රටේ කාටත් අමාරු කාලයක්. ඉතින් මේ වගේ කාලයක කාටවත් අතපාන්න බෑ. අපිට ගොඩාක් අමාරුයි තමයි. ඒත් කොච්චර ආර්ථික අමාරුකම් තිබුණත් අපි මේ දරුවා ජීවත් කරවනවා.

දයාලන්ගේ ඒ හඬ සංවේදීය. කුසට අහරක් නැතිව ඔහු තම පොඩි එකී වෙනුවෙන් කොළඹ අහස යට තනිවම සටනකය. දරු සෙනෙහස දත් පියවරු කොහොමත් එහෙමය. කොතරම් අමාරුකම් තිබුණත් දරුවන් ඉදිරියේ ඔවුන් හැසිරෙන්නේ කිසිවක් නොවූ ගානටය. දයාලන් ද එහෙමය. එහෙත් කාට හෝ ඔහුට පිහිටක් වෙන්නට හැකිනම් එය ඔවුන්ට මහඟු උපකාරයක් වනු ඇත. අනාගතයේ දවසක දයාලන්-දර්ශනී යුවළගේ පුංචි එකීට හිනාවෙන්නට වරම් ලැබුණොත් ඇය හිනාවෙන වාරයක් ගානේ ඒ පින ඔවුන්ටද හිමිවනු ඇත.

 

එස්.පී.වයි.දර්ශනී (දයාලන්ගේ බිරිඳ)

“තාම දරුවා ගැන දෙයක් කියන්න අමාරුයි. වෛද්‍යවරු නම් කියන්නේ හොඳ විදියට හැමදේම සිද්ධවෙයි කියලා. ඒත් ඉතින් විශ්වාස කරන්න අමාරුයි. මං එදා පාස්පෝට් ගන්න ආපු දවසේ ඉඳන් අද වෙනකල් කාසල් රෝහලේ දහයේ වාට්ටුවේ ඉන්නේ. එදා ඉඳන්ම මහත්තයා ගෙදර ගියෙත් නෑ. එයා නාරාහේන්පිට නෑදෑ ගෙදරක නතරවෙලා කඩේක පොඩි ජොබ් එකක් කරනවා. පුළුවන් හැමවෙලේම අපිව බලන්න එනවා. ඒ වැඩ කරලා හම්බෙන සල්ලිත් මහමගට බස්වලට වියදම් වුණාම දවසින් දෙකෙන් ඉවරයි. අඩුම තරමේ මේ වෙලාවේ එයාට කොහේ හරි තැනක ස්ථීර රස්සාවක්වත් ලැබෙනවා නම් හොඳයි. අපිටත් ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒත් මේක හැමෝටම අමාරු කාලයක්. ඒ නිසා කාගෙන්වත් දෙයක් ඉල්ලන්න හිත්දෙන්නේ නෑ. ඒත් කවුරුම හරි මහත්තයාට හොඳ රස්සාවක් දුන්නොත් ඒක ලොකු පිනක් වෙයි.”

භාතිය වෙඩිවර්ධන