විශේෂාංග

කොරෝනා කාලේ ටීචර් ළඟ නෑ කියලා ඇඬුවට මට සම්මානයක් ලැබුණා

ටීචර් ළඟ නෑ කියා ඇඬු අපි

ඉන්නේ දැන් හරි සන්තොසින්…

ඔන්ලයින් ගැන බැණපු අපි දැන්

ටීචර් බලනවා රිසි ලෙසින්…

පාඩමට දැන් අපත් හිත දී

හොඳින් කරනවා අපි තුටින්…

සිග්නලුත් නෑ කියා ඇඬු අපි

හොයාගන්නවා ඇවිදිමින්…

 

අපිට මේ ගීතය ඇහෙන්න ගත්තේ පහුගිය කොරෝනා කාලේ. කොරෝනා නිසා පාසල් වැහිලා අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට සිදුවෙන විදිය ගැනයි ගීතය පුරාම කියැවෙන්නේ. ගීතය ගායනා කරන්නේ පුංචි දැරියක් හින්දම පාසල් දරු දැරියන් අතර මේ ගීතය බොහොම ජනප්‍රිය වුණා. මේ පුංචි ගායිකාව තමයි සදුෂි සවින්ද්‍යා අමුකොටුව. තාමත් වයස අවුරුදු 12යි. හැබැයි ලොකු පොඩි කොයි කාටත් කොරෝනා වසංගතය පිළිලයක් වෙද්දි ඒක වෙස් වළාගත් ආශිර්වාදයක් කරගන්න මේ පුංචි කෙල්ල සමත්වුණා. අන්න ඒ නිසාම ‘ධරණී’ අපිත් සදුෂි දූට කතා කරන්න හිතුවා.

 

*සදුෂි දූ කොරෝනා කාලේ ටීචර් ළඟ නෑ කියලා ඇඬුවා කියන්නේ ඇත්තද?

ඔව් ඔව් කොරෝනා කාලේ අපට ඉස්කෝලේ තිබුණේ නෑනේ. මං එතකොට පහේ පන්තියේ. ඔන්ලයින් තමයි හැමදේම ඉගැන්නුවේ. ඒකට මගේ වැඩි ආසාවක් තිබුණේ නෑ. ඉතින් ඔන්ලයින් අධ්‍යාපන රටාවට කොටුවෙලා ගෙවපු ජීවිතේ ගැන ‘ටීචර් ළඟ නෑ කියා හැඬූ අපි’ කියලා ගීතයක් කළා. ඒක මට ලියලා දුන්නේ අයෝමා සඳමාලි ටීචර්. සංගීතවත් කළේ මල්ක මල්ලව සර්. ඒ ගීතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

*ඒ කියන්නේ දැන් දුවගේ ඉස්කෝලේ එහෙම සදුෂි හරි ජනප්‍රිය ඇති නේද?

ගොඩාක් අය දැන් මාව දන්නවා. විදුහල්පතිතුමා, ගුරුවරු, මගේ යාළුවෝ මාව හැමවෙලේම දිරිමත් කරනවා. මං මුලින් ඉගෙනගත්තේ දංකොටුව කටුකෙන්ද මිහිදු ප්‍රාථමික පාසලේ. ඒ පාසලේදි තමයි මට මුලින්ම මගේ හැකියාවන් ඉදිරිපත් කරන්න ඉඩ ලැබුණේ. ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් වෙලත් හිටියා. දැන් මං ඉගෙනගන්නේ කටුකෙන්ද ශ්‍රී සංඝබෝධි ජාතික පාසලේ. ඉතින් පාසලෙන් මගේ ගමනට ලොකු සහායක් ලැබෙනවා.

 

*සදුෂි ඒ ගීතයෙන් පස්සෙත් ගීත කීපයක්ම කරලා තිබුණා නේද?

ඔව් ඒ ගීතයට පස්සේ ‘රෑනේ රෑනේ’ කියලා ගීතයක් කළා. ඊටපස්සේ ‘ගුරු උපහාර’ ගීතයක් කළා. ඒ හැම ගීතයක්ම ලිව්වේ අයෝමා සඳමාලි ටීචර්. මුල් ගීත දෙක සංගීතවත් කළේ මල්ක මල්ලව සර්. ගුරු උපහාර ගීතය සංගීතවත් කළේ තාරක සර්. අලුත් අවුරුද්දේ ‘විහඟුන් ඉගිළී අහස් ගැබේ’ කියන මගේ අලුත්ම ගීතය එළිදක්වන්නත් සූදානමින් ඉන්නවා.

 

*අපි දැක්කා දැන් ටික දවසකට උඩදි දුවට සම්මානයක් ලැබෙනවා?

මෙවර ‘Future Leader 2022’ සම්මාන උළෙලේ මට සම්මානයක් ලැබුණා. මං සම්මානයට නිර්දේශ වෙලා තිබුණේ ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියන කතාව වෙනස් කරපු දරුවෙක් විදියට.

 

*ඒ කියන්නේ සදුෂි දුව තව තව දේවල්වලට දක්ෂයිද?

මං ගොඩාක් දක්ෂ ගායනයට. ඒත් මට නටන්නත් පුළුවන්. මගේ අම්මා නැටුම් ටීචර් කෙනෙක්. ඉතින් එයා තමයි මට නැටුම් කියලා දෙන්නේ. ඒ වගේම වාදනයටත් මං ආසයි. ගොඩාක්ම වාදනය කරන්නේ වයලීන් එක. වයලීන් ගාන්ධර්ව විභාගය කරන්නත් ලෑස්තිවෙලා ඉන්නේ. ක්‍රීඩාවක් විදියට පාසලේදි චෙස් ක්‍රීඩා කරනවා. ඊට අමතරව ළමා නිවේදිකාවක් විදියටත් කටයුතු කරනවා. දැන් නම් රඟපාන්න වගේම එළිමහන් සංගීත සංදර්ශනවලට එහෙමත් ආරාධනා ලැබෙනවා. මට හොඳට ලියන්නත් පුළුවන්. කොරෝනා කාලේ ඉස්කෝල ළමයින්ට රජයෙන් රටක් වටින පොතක් ලියන්න කියපු වෙලාවේ මං ‘අප්පච්චි’ කියලා කවි පොතක් ලිව්වා.

 

*දැන් එතකොට මෙච්චර දේවල් කරද්දි දුවගේ අධ්‍යාපන කටයුතු එහෙම මගඇරෙන්නේ නැද්ද?

අනේ නෑ. ඒ හැමදේම මං සමබරව කරගෙන යනවා. ඒකට මට මගේ අම්මා, තාත්තා දෙන්නා ගොඩාක් උදව් කරනවා. ඒ දෙන්නම ගුරුවරු. එයාලා තමයි මාව ඉදිරියට අරන් යන්න ගොඩාක් මහන්සි වෙන්නේ.

 

*දැන් එතකොට සදුෂි පුංචි දුවගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

මගේ අම්මත් නැටුම් ටීචර් කෙනෙක් හින්දා මමත් නැටුම් ටීචර් කෙනෙක් වෙන්න ආසයි.

 

එරින් නදීකා කතුරුසිංහ

(සදුෂි සවින්ද්‍යාගේ මව)

 

මං අම්මෙක් විදියට වගේම ගුරුවරියක් විදියට හැමවෙලේම හිතන දෙයක් තමයි ඕනම දරුවෙක් අධ්‍යාපනයටම හිරකරලා තියන්න හොඳ නෑ කියන එක. එහෙම කළාම ඒ දරුවෝ යම්කිසි මානසික ආතතියකට පත්වෙනවා. ඒ නිසයි මං සඳුෂි දුවට බාහිර දේවල්වලට යන්න කැමැත්ත දුන්නේ. එහෙම ඉඩ දුන්නම එයා අධ්‍යාපන වැඩ ටිකත් වෙනදට වඩා හොඳට කරන්න පටන්ගත්තා. දැන් එයා හැම වාරෙම පන්තියේ මුල් ස්ථාන තුන අතර ඉන්නවා. මට දැන් හිතෙනවා මං ගත්ත තීරණය හරි කියලා.”

 

රුවන් එස්.සෙනවිරත්න