පරණ එදිරි මැරුණා කිය කියා ඉන්නෙ නැතුව ලබන සතියෙ ඉඳලා පත්තරයක් ගන්න. අපි ආයි හම්බවෙමු! – සමන් එදිරිමුණි
පැටි වියේ සිට හොඳ කියවන්නෙකු වූ මට එකල, ඉඳහිට දිනකවත් විජය පත්තරය මඟහැරුනේ නැත. කුඩා ළමුන් වූ අප ඒ පත්තරය කියෙව්වේ එක හුස්මටය. විජය පත්තරේ මිල දී ගන්නට ගමේ පත්තර ලෑල්ලට ගිය එවැනි එක්තරා අඟහරුවාදා දිනෙක, හැඩැති කෙල්ලෙක් උන් පත්තරයක් ළඟ මගේ ඇස් ඉබේම නතර විය. ඉතින් ඒ මොහොතේ ලද ප්‍රහර්ෂයෙන් යුතුවම මා ඒ පිටුව පෙරළා බැලුවෙමි. ඒ පෙරලූ පිටුවේ තිබුණේ ‘අත් හැරුණු අත්’ කියා නවකතාවකි. එහි එක් පසෙක අහිංසක පෙනුමක් තිබූ හීන්දෑරි කොල්ලකුගේ පින්තුරයක් තිබුණි. පිටුවේ කතාව ලියා තිබුණේ සමන් එදිරිමුණි නම් වූ ඒ හීන්දෑරි හාදයා ය. මම නිකමට කතාවේ මැද හරියෙන් කොටසක් කියවා බැලුවෙමි. එය අමෘතය වැනිය. ඉතින් එදා පටන් මා ඒ අමෘතය වෙනුවෙන් ‘තරුණයා’ පත්තරය සතිපතා මිලදී ගත්තෙමි. සමන් එදිරිමුණි තරුණයා ට ලියූ නවකතා දෙක තුනත්, ‘එදිරිගේ සාටරේ’ කියා ඔහුම ලියූ අපූරු කොලමත් කියවන්නට මට තිබුණේ එසේ මෙසේ කෑදරකමක් නොවේ. මෑතකදී ‘තරුණයා’ පුවත්පත පත්තර ලෑල්ලෙන් සමුගන්නාතෙක්ම මම එය මිලට ගත්තෙමි. ඒ ඔහුගේ ලියවිලි එතරම්ම රහට දැනුණු නිසාය. මට පමණක් නොව අසූව අනූව දශකයේ බොහෝමයක් උන්ට ඒ හාදයා ලියවිලිවලින් ඒ මැජික් එකම පෙන්නුවේය. පසුව ඔහු ඒ පුවත්පතටම ලියූ ‘සුළඟ නුඹ සහ මම’ නවකතාව පොතක් ලෙස මුද්‍රණය කළ අතර එය උණුකැවුම් මෙන් අලෙවි විය. එය එසේ වෙද්දිත් මේ ලේඛකයා ඔහුගේ පෑන පත්තරෙන් දුරස්කර රූපවාහිනියට සහ රේඩියෝවට වඩ වඩාත් ළංකළේය. ඉන්පසු පත්තරකාරයෙක්, නවකතාකරුවෙක් වූ ඔහු ටෙලිනාට්‍ය තිර රචකයෙක් ලෙසින් සිය භූමිකා වෙනස්කර ගත්තේය. නමුත් වසර ගණනකට පසු ඒ ආදරණීය නවකතාකරුවා නැවතත් පත්තර පිටු තුළ සිය හුරුපුරුදු ලියවිලි හරඹයට සූදානමින් සිටියි. ඉතින්… ඔහුගේ පත්තර පාඨකයන්ට මේ සුබ ආරංචිය කියන ලෙස අපි එදිරිමුණිටම ආරාධනා කළෙමු. මේ ඔහුගේ හඬයි..
*‘සමන් එදිරිමුණි’ කියන මනුස්සයා ඇතුළෙ ජීවත්වුණු රහට ලියන ලේඛකයා ඉපදුණේ කොයි කාලෙද?
නිර්මාණාත්මක ලිවීම නම් පටන්ගත්තෙ උඩවලව මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන කාලෙමයි. නමුත් පස්සෙ ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න කොළඹ ආවට පස්සෙ ඒක ජීවන වෘත්තියක් කරගන්න නම් හිතුවේ නෑ. ඒත් කොහොම හරි ඉතාම අහම්බෙන් මට ජීවිතේ පළමුවැනි රැකියාව විදියට මධාරා නිව්ස් පේපර්ස් ආයතනයේ පුවත්පත්වල ලියන්නට ලැබුණා. එතකොට මට වයස අවුරුදු 23ක් විතර ඇති. එතැන ඉඳලා ඊටපස්සෙ තරුණයා පත්තරේට සම්බන්ධ වුණා. මං හිතන්නෙ ලියන ජීවිතේ මගේ වටිනාම හැරවුම් ලක්ෂය ‘තරුණයා’ පත්තරේට සම්බන්ධ වෙලා කාංචන දසනායක මහතා සමඟ වැඩ කරන්නට ලැබීම. ඔහු තමයි පත්තර කලාවෙන් ඔබ්බට ගිහින් ඉලෙකට්‍රොනික් මාධ්‍යටත් ඇතුල් වෙන්න මග පාදලා දුන්නෙ.
*‘ලියන්නෝ’ බොහෝමයක් හිටියත් එදිරිමුණිගේ ලියවිලි තමයි රහම කියලා කියන අයත් ඉන්නවා නේද?
එදිමුණිගෙ ලියවිලි තමයි රහම කියන කතාව නම් අනුමත කරන්නෙ නෑ. එක එක අය ලියන විදි වෙනස්. අල්ලන සංවේදී තැන් වෙනස්. ඒ නිසා ඕනම කෙනෙක්ගෙ ලියවිල්ලක ඒ ශෛලියටම අනන්‍ය වෙච්ච රසයක් තියෙනවා කියලා මං විශ්වාස කරනවා සහ ඒ හැම රසයක්ම පැවතිය යුතුයි කියලා විශ්වාස කරනවා. මං ගැන ගත්තම මං මට අවංක වෙලා ලිව්වා. ඇත්තටම ලිවිල්ලෙදි මං මවන්න ගිහින් නෑ. දැනෙන දේ ලියවෙන්න ඇරියා මිසක හිත හිත ලිව්වෙ නෑ. මං ආස වුණේ මගේ ලියවිල්ල ඇතුළේ නැවත කියවද්දි මාවම මුණ ගැහෙනවා බලන්න. මගෙ ලියවිලිවල ගොඩක් තැන්වලදි මට මාවම මුණගැහිලා හලෝ මචං කියලා අපි දෙන්නා දෙපැත්තට යනවා.
*ඔබ අලුතින් නවකතාවක් ලියන්න පටන්ගන්න කලින් ඒ වෙනුවෙන් සූදානම් වෙන්නේ කොයි විදියටද?
ඒක මහ අමුතු පිස්සු හැඟීමක්. මුලින්ම කතාවක් ලියන්න ඕන ලියන්න ඕන ලියන්න ඕන ගගා හිත හිත ඉන්නවා සති ගණන් සමහරවිට මාස ගණන්. අංක එකටම කල්පනා කරනවා කොයි පැත්තක කතාවක් ලිව්වොත් හොඳයිද කියලා. හිතලා පැත්ත තෝරගෙන වාඩිවෙනවා කම්පියුටර් එක ගාව. ඔබ හිතයි කතාව ලියන්න කියලා. නෑ ගූගල් මැප් එක දාගෙන ඒ පැත්ත කොහොමද මොනවද තියෙන්නෙ කියලා බලාගන්න. ඒත් ලියන්න නෙමෙයි. ඒ පැත්තෙ යන්න. හොඳ නිස්කලංක තැනක් බලාගන්නවා. යනවා. දවස් එකද දෙකද තුනද අදාළ නෑ ඔහේ ගිහින් ඇවිද ඇවිද මිනිස්සු එක්ක කතා කර කර ඒ ප්‍රදේශය විඳිනවා. ඊටපස්සේ මට ඒ පැතිවලින් චරිත හම්බ වෙනවා. ඔවුන් සමඟ කතා කරනවා. හවස් වෙලා අඩිපුඩි ගහනවා. සිංදු කියනවා. දවසක් දෙකක් යද්දි ඒ මිනිස්සුම එනවා මාව හොයාගෙන තව තව තැන් තියෙනවා බලන්න යං කියලා. ඉතින් ඇවිදිනවා. එතකොට තව තව චරිත හම්බවෙනවා. ගොඩක් වෙලාවට යොදාගන්න නම් පවා ඇත්ත ඒවා. ඔබට ගිහින් බැලුවත් ඇහුවත් සමහර චරිත හොයාගන්න පුළුවන් වෙයි. ඊටපස්සෙ ගෙදර එන ගමන් කල්පනා කර කර තමයි කතාවෙ සැලසුම හදාගන්නෙ. චරිත සැලසුමක් හැමවෙලාවකම හදාගන්නවා. ලියන පළවැනි අකුර ලියවෙන වෙලාව දෙයියො තමයි දන්නෙ. දැන් නං ලියන්නම ඕන කියල හිතලත් මං නෑ තව ටිකක් ඉමු කියලා පරක්කු කරලා අත තියන කෙනෙක්. පරක්කු කිරීම තුළ මට හැමදාම හොඳම දේ ලැබුණා කියලා විශ්වාස කරනවා පුද්ගලිකව.
*සමන් එදිරිමුණිගේ කතාවලට දැඩි ආකර්ශනය තියෙන්නේ තාරුණ්‍යයෙන් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. අපි දැනගන්න ආසයි ඔබේ හොඳම කාලයේ ඔබට ලැබුණු අමතක නොවෙන පාඨක ප්‍රතිචාර ගැන?
ඇත්තටම මගේ නවකතා කියවපු ගෑනු ළමයෙක් දවසක් මාව මුහුණට මුහුණ හම්බ වුණා. මං ඇවිල්ලා ඉන්නෙ කියලා ආරංචි වුණාම ඇය දුවගෙන ආවා කොහෙදෝ ඉඳලා. මගෙ යාළුවා අඳුන්නලා දුන්නා මේ තමයි සමන් එදිරිමුණි කියලා. ඇය හිනා වුණා සහ පුදුම වුණා. මං හිතන් හිටියේ ලොකු කෙනෙක් කියලා කිව්වා. මං ඇහුවා ඇයි ලියපු අකුරු අස්සෙ ලොකුවට පෙනුණද කියලා. නෑ එයා එහෙම හිතන් හිටියලු. මට මතකයි සැහෙන්න වෙලාවක් යනකං ඒ ගෑනු ළමයට නිකං අදහාගන්න බෑ වගේ වතුර බිබී වෙන වැඩක් කරනවා වගේ හැබැයි හොරෙන් හොරෙන් මගෙ දිහා බල බල කල්පනා කළා. මං හිතන්නෙ එයා කම්පනයට පත්වුණා. එයාගේ ඔලුවෙ හිතන් ඉදපු එදිරිමුණියයි මායි හෙන වෙනස් නිසා. මට ජීවිතේ මතකම පාඨක ප්‍රතිචාරවලින් මුලින්ම සිහියට එන්නේ ඕක.
*ඔබේ ලියවිලි අස්සේ ආදරේ පිරිලා තියෙන නිසා තරුණියන්ගෙන් හුඟාක් ආදර යෝජනා ආවා කියලත් ආරංචියි?
බොරු ආරංචියක්. එහෙම ආවේ නෑ ඇත්තටම. ආවත් ඒවා මං හිතන්නෙ නෑ මං අනුමත කරයි කියලා. මොකද මං ජීවිතේ දැඩිව විශ්වාස කරන මමම හදාගත්තු කියමනක් තියෙනවා. කවියට මිස කවියාට ආදරය නොකරන්න. කවිය හරහා කවියාට ආදරය කරන්නට යාමෙන් ඔබට දිනක කවියද, කවියාද යන දෙකම අහිමිව යනු ඇත. ඇතැම් විට කවියාට ඔහුවද අහිමිව යනු ඇත.
*එච්චර ආකර්ශණීය ආදර කතා ලියපු එදිරිමුණිගේ ආදර කතාව දැනගන්නත් හුඟාක් අය කැමති ඇති?
කෙටියෙන් කියන්නම්. ඕනම කෙනෙක්ට ආදර කතා ඉතින් ජීවිතේ කොයි තරං තිබිලා තියෙනවද. මටත් එහෙම තමයි. හැබැයි ඉතින් දැනගන්න කැමති අයට මං කියන්න කැමතියි, මට කෙනෙක් කිව්වා ඔයා ලියන ආදරේ තරම්, ඇත්තටම ආදරේ කරන්න දන්නෙ නෑ කියලා. මං ඒක විශ්වාස කරනවා. ආදරේ ලියන එක ලේසියි. අකුරක් වැරදුනොත් එක ඩිලිට් බට්න් එකයි. ආදරේ කරන එක තමයි අමාරුම. වැරදි මකන්න බෑ. ඒනිසා ඔබට අනෙකාව දැනෙන්නේ කෙසේද, ඔහුගෙන් අහන්නට දෙයක් නෑ ඒ තමයි ඔහු. ලියන ආදරේ තියෙන්නෙ ආදරේ ඇති ලස්සන විතරයි. සැබෑවට කරන ආදරේ ඇතුළේ කැත කෑලිත් තියෙන්න පුළුවන්.
*ඔබේ ලේඛන ජීවිතයට සම්බන්ධ අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?
නෑ. ඒ තමයි මං ලියන සියල්ලම මට අමතක වීම. මේ ලියන දේ ආයි මතක් කළත් මට මතක නෑ. සමහර ලියපු පරණ කවි කවුරු හරි එව්වම මං ඒවට කමෙන්ට් කරනවා ෂාහ් ලස්සනයිනේ කියලා. බැලින්නම් ඒවා මමම ලියපුවලු. එවන අය කියන්නෙ.
*ඔබ නිතරම වගේ ලියන්න පාවිච්චි කරන්නේ හැමෝටම තේරෙන හරි සරල වචන. ඒකද ඔබේ ලියවිලි අස්සේ තිබුණු මැජික් එක?
හිතල කරන දෙයක් නෙමෙයි ඉබේ වෙන දෙයක්. හිතලා දෙබස් වාක්‍ය ලියන්න ගිය ගමන් පොඩි කෘත්‍රිම ගතියක් එනවා. ඇත්තටම මං ලියනවා බලන් ඉඳලා තියෙන ඕනම කෙනෙක් දන්නවා හිතන වේගෙන් මම ලියන බව (ටයිප් කරන නිසා). කල්පනා කර කර ඉන්නෙ නෑ. මං ලියද්දි කවුරු හරි ළග වාඩිවෙලා බලාගෙන හිටියොත් එයාට චිත්‍රපටයක් නරඹනවා වගේ නොනවත්වා දර්ශණ මැවෙනවා. එහෙම වේගෙන් ලියනකොට සරල අපි සාමාන්‍ය විදියට භාවිතා කරන වචනමයි එන්නෙ. නිකං කතා කරන ඒවා.
*ඔබ අතිශය ජනප්‍රිය ලියන්නෙක් වුණේ තරුණයා පුවත්පත හරහා. ඔබ නිසාම පත්තරේ ගත්ත අයත් හිටියා නේද?
අපොයි ඔව්. මගේ ‘සුළඟ නුඹ සහ මම’ පොත නිකුත් කරන දවසේ අපේ ගම පරිශ්‍රයට ආපු ගොඩක් අය කිව්වෙ තැනින් තැනින් කාසි එකතු කරලා රුපියල් 20 හොයන් කිලෝමීටර් ගාණක් බයිසිකලේ පැදලා ටවුන් එකට ගිහින් පත්තරේ ගත්තා කියලා. සමහර කෙල්ලො කොල්ලො යාළුවො එකතු වෙලා සල්ලි දාලා පත්තරේ අරන් පිටු බෙදාගෙන බලනවලු. තව සමහරු පත්තරේ බලන්නම සැලුන් එකට සතියකට පාරක් යනවා පුරුද්දකට වගේ. ඒක මගේ කතාව නිසාම නෙමෙයි කාංචන දසනායක මහත්තයා පත්තරේ කරන කාලේ ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තරුණ පත්තරයක් වුණා. වැඩිය ඕන නෑ එතකොට පත්තරේ ඒ වෙනකොට කසාද බැඳලා හිටියෙත් කාංචන මහත්තයා විතරයි. එයාටත් එතකොට අවුරුදු 35ක් වගේ වුණේ. යාළුවො සෙට් එකක් එකතු වෙලා පත්තරයක් කළා. ඒ වගේ හැඟීමක් එතැන තිබුණෙ. අපි අපිම මුලින්ම ඒ පත්තරේ පාඨකයො වුණා. පත්තරයක් එහෙම වුණාම හරිම ලස්සන වෙනවා. රස්සාවක් නෙමෙයි අපි ඒ කලේ විනෝදාංශයක්.
*ඔබ ඒ පුවත්පතට ලියපු ‘එදිරිගේ සාටරේ’ ගැනත් දැනගන්න කැමතියි. ඒ ලියවිල්ලෙන් ඔබ සෑහෙන පිරිසකගේ ලේ පිරිසිදු කරන්න ඇති මං හිතන්නේ?
තරුණයා පත්තරේට එනකොට මම සමන් එදිරිමුණී. හැබැයි පළවැනි වතාවට මට එදිරි කියලා ඔෆිස් එකේ කතා කළේ කාංචන අයියා. එහෙම මාස 6ක් වගේ යද්දි කාංචන අයියා යෝජනාවක් කළා. කොල්ලො රංචුවක තියෙන පිස්සු ආතල් ටික කොලමක ලියමු කියලා. ඒකට මාව යෝජනා කරන්නම හේතුව මං අපිට ගමේ වෙච්ච සිද්ධි, ඉස්කෝල කාලේ වෙච්ච දේවල්. නුගේගොඩ පංති යද්දි වෙච්ච දේවල් ඔෆිස් එකේ කියනවා විවේකයක් ලැබුණම. කට්ටිය ඉතින් ඉල ඇදගෙන හිනා වෙනවා. මං හිතන්නෙ කාංචන අයියා විශ්වාස කළා මට ඒක කරන්න පුළුවන් කියලා. එයාම තමයි එදිරිගේ සාටරේ කියන නම දැම්මෙත්. ඒකෙත් ඉතින් බොරු මවලා ලියන්න ඕන වුණේ නෑ. විඳලා තියෙන දේවල් තව පොඩ්ඩක් පොලිෂ් කරලා දාන්න තිබුණේ. එදිරිගෙ සාටරේ කැලුමා, කොටා, මට්ටියා, සිප්පියා, ගුස්පියා ඒ සෙට් එකම තාම ඉන්නවා. උන් මගේ යාළුවො. කැලුමවයි කොටාවයි නං ලබන සතියෙත් බලන්න යනවා.
*සමන් එදිරිමුණි කියන ලේඛකයා පත්තරේ අත්හැරලා රූපවාහිනියට පැමිණීමෙන් හදාගත්ත නමට යම්කිසි හානියක් වුණා කියලා හිතිලා නැද්ද?
නෑ. ඒක සමාජ මාධ්‍යය මත හැදුන මතවාදයක් විතරයි. රූපවාහිනියට ඇවිල්ලා නවකතා ලියන්න බෑනේ. මේක ප්ලැට්ෆෝම් දෙකක්. ටීවිවල ලියන විදියට ටීවිවලට ලියනවා. පත්තරේට ලියන විදියට පත්තරේට ලියනවා. ලස්සනට කවි ලියන කෙනෙක්ට කියන්න හෙට ඉඳලා සිංදු ලියන්න කියලා. කවි බලලා ඒවම සිංදු කළාම ඒ සිංදුත් අහන්න. දැනෙන හැඟීමට ඩැමේජ් වෙනවා. එතැනදි ඩැමේජ් එක වෙලා තියෙන්නෙ කවියාටවත් කවියටවත් නෙමෙයි. කවියකට වඩා සිංදුවක හැඟීමේ සාන්ද්‍රණය අඩුයි. තනියම තනිවෙලා කියවන කවියක ඉන්නෙ ඔබයි ඔබේ සිහින ලෝකයේ ඔබට අවශ්‍ය ටිකයි විතරයි. සිංදුවේ ඔබට ඕන නැති සංගීත කෑලි ඇහෙනවා. ඉතින් ඒකට මොකද කරන්නෙ.. මේ නොකියා කියන්නෙ මගේ හිත ඇතුළේ ඉන්න කවියව එහෙමම තියපන්. මං ඒකෙන් ආතල් එකක් ගන්නවා කියලානේ. ඉතින් ඒ ආතල් එක වෙනුවෙන් කවියා හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න ඕනද සමාජය දුවද්දි.. ඔහුට ජීවිතයක් නැද්ද..
*එතකොට සමාජ මාධ්‍ය හරහා ඔබට එල්ලවෙන විවේචන ගැන මොකද හිතෙන්නේ?
මං ඉන්නෙ ස්ටේජ් එකේ. ඔවුන් ඉන්නෙ ඕඩියන්ස් එකේ. මං ආස ඇක්ෂන්වලට විතරයි. රියැක්ෂන් නෑ කිසි දේකට. එයාලා මාව විවේචනය කරනවා කියලා එයාලා හිතන් ඉන්නවා. මං හා කියලා බිම බලන් මගේ වැඩේ කරනවා. මගේ වැඩ උස්සගෙන ඉන්න එයාලව මට ඕන. අන්න ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා මිසක් මූණට ඇවිල්ලා විවේචනයක් කරන්න ශක්තියක් නැති සිඟිති පාතාලෙ ගරිල්ලා කීබෝඩ් වීරයන් ගැන ලොකුවට කතා කරන්න මං ආස නෑ. මොකද මට ඔවුන් ඒ තරම් ලොකු නෑ. ලොකුයි නං එයාල ගැන එපැයි අද මේ ආර්ටිකල් එක යන්න.
*දැන් ඔබ නවකතා නොලියන්නේ ලියන්න ආසාවක් නැති හින්දද? ඒත් නැත්නම් ඔය කරන වැඩත් එක්ක ඒ වෙනුවෙන් කාලය හොයාගන්න බැරි හින්දද?
ආසාවක් නැතුව නෙමෙයි. හැබැයි තනියම හිතලා මමම ලියලා මමම පොතක් කරලා මුද්‍රණය කරලා නිකුත් කරනවා කියන වැඩේ කරන්න මං වස කම්මැලියෙක්. නවකතා 12ක් 15ක් පත්තරවලට ලියලත් මගේ එකම පොතයි මුද්‍රණය කරලා තියනේනෙ තාම. ඒක කලෙත් සාගර පෙරේරා සහ තරිදු ඩී මල්විල කියලා මගේ මිතුරන් දෙදෙනාගේම උනන්දුවට සහ තල්ලු කිරීමට පින් සිද්ධ වෙන්න. හැබැයි ඉතින් පත්තරේක ආරාධනාවක් ලැබුණොත් නවල් එකක් ලියනවා කියන තැන ඉන්නවා. කියන්න සතුටුයි මේ මොහොත වෙනකොට එහෙම ආරාධනා දෙකක් ලැබිලා තියෙනවා. එකක් ‘ධරණී’ පුවත්පතෙන්. අනික් එක තවත් ජාතික තලයේ පුවත්පතකින්. මං හිතන්නෙ වසර 8කට විතර පස්සෙ මං ආයි නවකතාවක් ලියයි.
*ඒ කියන්නේ පත්තර අස්සේ සමන් එදිරිමුණිගේ නවකතා හොයන පාඨකයින්ට ළඟදිම සුබ ආරංචියක් අහන්න ලැබෙනවා?
ඔව්. පරණ එදිරි මැරුණා පරණ එදිරි මැරුණා කිය කිය ඉන්නෙ නැතුව එහෙනං පත්තර කඩයක් හොයාගෙන සතිපතා පත්තරයක් ගන්න. අපි ආයි හම්බවෙමු.
රුවන් එස්.සෙනවිරත්න