Latest News

රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට වේදිකා නාට්‍යය ක්ෂේත්‍රයේ නො මැකෙන සලකුණක් තබා ඇති ඔහු , දයාරත්න රටගෙදරගේ “ගුරු ලිසී” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප්‍රවිශ්ට විය.

සම්පත් තෙන්නකෝන් මහතා “නුඹ විතරක් තළ එළලුයි” නාට්‍යයේ කළ ලූෂන් නැමැති චරිතයෙන් රාජ්‍ය නාට්‍ය සම්මානයට ද පාත්‍ර වූණා.

මේ අතර “තලමල පිපිලා”, “හිට්ලර්”, “අඹුසැමියෝ” සහ “ගුරු තරුව” වැනි වේදිකා නාට්‍ය රැසක ම රංගනයේ නිරත වූ ඔහු “රන් දොරටුව”, “බුමුතුරුණු” සහ “භාග්‍යා” වැනි ටෙලිනාට්‍යයන් පුංචිතිරයට ද පිවිසියා.

සම්පත් තෙන්නකෝන් මහතා “හිමගිර” චිත්‍රපටයෙන් සිනමා රංගනයට අවතීර්ණ විය.

ඉන්පසු “අහස් මාළිගා”, “මධුරි”, “ගිනි අවි සහ ගිනි කෙළි” සහ “සරෝජා” වැනි චිත්‍රපටය කිහිපයක ම රංගනයෙන් දායකත්වය දැක්විය.

සෝමරත්න දිසානායකයන්ගේ “සිරි රජ සිරි” චිත්‍රපටයේ ශෙහාන්ගේ පියාගේ චරිතයත්, “සිරි පැරකුම්” චිත්‍රපටයේ සංඝරාජ හිමිගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැඳෙන චරිත ද්විත්වයක් වේ.

තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනීගේ “එකගෙයි සොකරි” චිත්‍රපටයේ සම්පත් කැපීපෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේම දක්නට ලැබෙනු ඇත.

සම්පත් තෙන්නකෝන් මිය යනවිට 62 හැවිරිදි වියේ පසු වුණා.

අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන්ගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් පවසනවා.