අපිව කෑමකට එක්කගෙන යන්නත් බැරිතරම් කාර්යබහුල වුණොත් එයා ගෙදර උයනවා
ගමේ ගොඩේ කොතැන වුණත් බණ ගෙයක් දානෙ ගෙයක් තිබුණොත් බෙග් මාස්ටර්ගේ හඬ වරදින්නේම නැත. එසේම රටේතොටේ මොන දීපංකරේක සංගීතයක්, පැදුරු සාජ්ජයක් තිබුණත් ජෝතිපාලගේ, මිල්ටන්ගේ සිංදුවක් නොඇසෙන්නට විදියක් නැත. එලෙසින්ම දවසේ ඕනෑම වෙලාවක කවර රූපවාහිනී නාළිකාවක වුවද ප්‍රවෘත්ති විකාශයක් අතරතුර මේ රුව නොදැක්කොත් හෝ මේ හඬ නැසුණොත් පුදුමය. ඒ වෙන කවුරුත් නොව විසිහතර පැයම මාධ්‍ය ඉදිරියේ අවදියෙන් සිටින මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ය. රටේතොටේ කුමකින් කුමක් වුවත් කවුරු කවුරුත් එය 100%ක් විශ්වාස කරන්නේ මාධ්‍ය ඉදිරියට පැමිණ ඔහුගේ කටින්ම එය කිව්වාට පසුය. ඉතින් මෙලෙසින් රටම දන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන නීතිඥවරියක් මෙන්ම වැඩබලන මහේස්ත්‍රාත්වරියක්ද වන ඔහුගේ ආදරණීය බිරිඳ සන්ධ්‍යා තල්දූව පළමු වතාවට ‘ධරණී’ට කියන කතාවයි මේ.
*නිහාල් තල්දූව කියන නම කිව්වම අද වෙනකොට හැමෝම දන්නවා. ඒ වගේ පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ වීම ගැන මොකද හිතෙන්නේ කියන තැනින් අපි කතාව පටන්ගමු නේද?
ඇත්තම කිව්වොත් ඔහු වැනි ස්වාමිපුරුෂයෙක් ලබපු මාත්, පියෙක් ලබපු මගේ දරුවොත් හරිම වාසනාවන්තයි. මොකද ඔහු ඒ තරමටම ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ඒ ගැන හිතලා මම හැමදාමත් ආඩම්බර වුණා. ඒ වගේම ඉදිරියටත් ඒක එහෙමමයි.
*සන්ධ්‍යාට කොහොමද නිහාල්ව මුණගැහෙන්නේ?
නිහාල්ගේ ගම් පළාත ගාල්ල. මම කොටිකාවත්තෙ. ඉතින් නිහාල් 89 අවුරුද්දෙදි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිය හදාරන්න කොළඹට ආවා. හැබැයි ටික දවසක් යනකොට රටේ කලබල ඇතිවුණ නිසා කැම්පස් එකයි, හොස්ටල් එකයි දෙකම වහලා දැම්මා. ඒ වුණත් ඒ කාලේ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න තරුණ තරුණියන්ට ගොඩක් හිරිහැර සිද්ධවුණ නිසා නිහාල්ගෙ අම්මා නිහාල්ව ආපහු ගාල්ලට ගෙන්න ගන්න බය වුණා. පස්සේ නිහාල් කොටිකාවත්තෙ අපේ ගෙවල් ළඟම හිටපු එයාලගෙ නෑදෑ ගෙදරක නැවතිලා හිටියා. එහෙ ඉන්නකොට දැකලා කතාබහ කරලා දැන අඳුනගෙන තමයි අපි දෙන්නා ආදරය කරන්න පටන්ගත්තෙ.
*ඔය කියන කාලෙ දෙන්නට වයස කීයක් විතරද?
එතකොට මටත් හරියටම අවුරුදු විසිඑකයි. නිහාල්ට අවුරුදු විසිදෙකයි.
*ඒ වෙනකොට ඔබත් උසස් අධ්‍යාපනය ලබන ගමන්ද හිටියේ? නැත්නම් රැකියාවක් කරන ගමන්ද?
රැකියාවක් නම් කළේ නෑ. මොකද මට පුංචි කාලේ ඉඳලම තිබුණෙ එකම හීනයක්. ඒ තමයි කවදාහරි දවසක රටේ නමගිය දක්ෂ නීතීඥවරියක් වෙනවා කියන එක. ඒක නිසා නිහාල්ව මුණගැහුන කාලෙදි මම නීති ප්‍රවේශ විභාගයට සූදානම් වෙලා ඒ අධ්‍යාපන කටයුතු හදාරණ ගමන් තමයි හිටියේ.
*එතකොට වාණිජවේදී උපාධියක් හදාරන්න කොළඹට ආපු නිහාල් පොලිස් නිලධාරියෙකුත් වෙලා නීතීඥවරයෙකුත් වුණේ කොහොමද?
නිහාල් වාණිජවේදී උපාධියක් හැදෑරුවට කවදහරි දක්ෂ ලෝයර් කෙනෙක් වෙනවා කියන ලොකු බලාපොරොත්තුවක් මුල ඉඳලම එයාගේ හිතේ තිබුණා. ඉතින් මමත් නීති විද්‍යාලයට පාස් වුණාට පස්සේ මම නිහාල්ව තවත් ඒකට උනන්දු කළා.
අන්තිමට කොහොමහරි නිහාලුත් පළවෙනි පාරම නීති ප්‍රවේශ විභාගෙ ලියලා පාස්වෙලා නීති විද්‍යාලෙට ආවා. එතැන ඉඳලා එයා නීතිය හැදෑරුවේ වාණිජවේදී උපාධියත් හදාරණ ගමන්. ඔහොම ඉන්නකොට ඔය කාලෙදිම එයාගෙ යාළුවෙක් කියලා තිබුණා පොලිස් උපපොලිස් තනතුරට සම්මුඛ පරීක්ෂණ කැඳවලා තියෙනවා කියලා. පස්සෙ නිහාල් ඇවිත් මගෙන් ඇහුවා එයත් ඒකට අයැදුම් කරන්නද කියලා. එතැන ඉඳලා මම ඒකටත් එයාව උනන්දු කළා. අන්තිමට නිහාල් 1992 දී උපපොලිස් පරීක්ෂකවරයෙක් විදියට පොලිසියට බැඳුණා.
*ඒ කියන්නෙ එදා සන්ධ්‍යා වගේ පෙම්වතියක් නොහිටින්න අද අපිට කතා කරන්න නිහාල් තල්දූව කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක්වත්, දක්ෂ නීතීඥවරයෙක්වත් නොහිටින්න තිබුණා?
ඔව්. සමහරක්විට එහෙම වෙන්නත් ඉඩ තිබුණා.
අනික තමයි මීට කලින් තුන්හතර වතාවක්ම පොලිසියේ හිටියා ඇති කියලා නිහාල් පොලිසියෙන් අයින් වෙන්නත් හැදුවා. එතකොටත් මම එහෙම කරන්න එපා කියලා ඉතාමත් දැඩි තීරණයක හිටියා. සමහරක් ප්‍රශ්නවලදි නම් මගේ අදහස මොකක් වුණත්, මටත් තේරුම් කරලා දීලා නිහාල් එයාට ඕන තීරණය ගත්තු අවස්ථාවල් තියෙනවා. නමුත් මෙතැනදි මොකක්දෝ හේතුවකට මගේ කීම අහලා ඔහු පොලිසියෙන් අයින්වෙන්න උස්සපු අඩිය තුන් හතර වතාවකදිම ආපස්සට ගත්තා.
*ඒ විදියට ඔබේ පෙරැත්තයටම පොලිසියට ගියපු, ඔබේම බලකිරීමට පොලිසියෙන් ඉවත් නොවී හිටපු ඔහු අද පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයෙක්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. ඔහු වෙනුවෙන් එදා ඔබ ගත්තු තීරණ ගැන දැන් මොකද හිතෙන්නේ?
ඇත්තටම ආපස්සට හැරිලා බලනකොට ඒ ගත්තු තීරණ ගැන මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හිතන්න දේකුත් නෑ. ඒවාගේ සාර්ථක ප්‍රතිඵල දකිනකොට මේ මොහොතෙත් මගේ ඇස්වලට සතුටු කඳුළු උනනවා.
*නිහාල් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වෙනවා කියලා දැනගත්තට පස්සේ මොකද හිතුණේ?
මට ඒ ගැන විශේෂ හැඟීමක් ඇතිවුණේ නෑ. නමුත් තමන්ගේ රාජකාරිය හරියටම ඉටු කරන කෙනෙක් විදියට ඔහු ඒ තනතුරට උපරිම සාධාරණයක් කරයි කියන විශ්වාසය නම් තිබුණා.
*ගොඩක් වෙලාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන චරිතය සැළකෙන්නේ මොන දේ වෙලා තිබුණත් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පොලිසියටම සුදුහුණු ගාන චරිතයක් විදියට. ඔබේ සැමියා එහෙම කෙනෙක් නෙවෙයි කියලා විශ්වාසෙන් කියන්න පුළුවන්ද?
මෙහෙමයි. බිරිඳක් විදියට මට නම් එහෙම හිතෙන්නෙ නෑ. ඔහු පොලිසියට සුදුහුණු ගාන්න යන්නෙත් නෑ. මහජනතාවට අසාධාරණයක් වෙන ප්‍රකාශ නිකුත් කරන්නෙත් නෑ. මේ දෙපැත්තම ගැන හිතලා බොහොම මධ්‍යස්ථව ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරන බොහොම දක්ෂ නිලධාරියෙක් විදියට තමයි මම නම් ඔහුව දකින්නෙ. ඒත් රටේ මහජනතාව ඔහුව කොහොම භාරගෙන තියෙනවද සහ ඔහු ගැන කොහොම කතා කරනවද කියන එක ගැන මම හරියටම කියන්න දන්නේ නැහැ.
*මීට කලින් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු රටේ ගොඩක් ප්‍රසිද්ධ වුණා. හේතුව මාධ්‍ය සාකච්ඡාවලට අමතරව ඔවුන් නිතරම වගේ අනෙකුත් විනෝදකාමී රූපවාහිනී වැඩසටහන්වලත් දකින්න ලැබුණා. ඒත් මේ මාධ්‍ය ප්‍රකාශකතුමා නම් තාමත් අපිට එහෙම දකින්න ලැබිලා නෑ. මොකක්ද ඒකට හේතුව?
හැමෝම එක වගේ නෙවෙයිනේ. එක එක අය විවිධාකාරයි. මීට කලින් ඉඳපු නිලධාරීන් වුණත් රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා සින්දුවක් කිව්වාය නැටුමක් නැටුවාය කියලා ඒකෙන් පොලිසියටවත්, සමාජයටවත් හානියක් සිද්ධ වුණා කියලා මම නම් හිතන්නේ නෑ. ඒකෙන් වුණේ ඒ නිලධාරින්ගේ සොඳුරු බව තව තවත් එළියට ඇවිල්ලා ඒ අය මහජනතාවට තව තවත් සමීප වුණ එක. ඒ කොහොම වුණත් අපේ මහත්තයා නම් එහෙම නෑ. එයා ලැබුණ පලියට සියලුම දේවල් භාරගන්න කැමති කෙනෙක් නෙවෙයි. එයාට ගැලපෙනවාය කියලා හිතුණොත් ඇරෙන්න බාහිර දේවල්වලට සම්බන්ධ වෙනවා ගොඩක් අඩුයි. නමුත් එයා එදා ඉඳලම කලාවට ගොඩක් ආදරය කරන ලැදියාවක් තියෙන කෙනෙක්.
*දැන් අපි පොලිසියෙන් ගෙදර පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ. පවුලේ තව කවුද ඉන්නේ?
මමයි, මහත්තයයි ඇරුණම දුවයි, පුතයි තමයි.
*දරුවෝ දෙන්නා මොකද කරන්නේ?
දුවයි, පුතයි දෙන්නම එංගලන්තෙ තමයි නීතිය හැදෑරුවේ. දුවනම් මේ ළඟදි නීතීඥවරියක් විදියට දිවුරුම් දීලා මේ වෙද්දි එක්සත් රාජධානියේ බැරිස්ටර්වරියක් වෙන්නත් උසස් අධ්‍යාපනය හදාරනවා. පුතා තාම එංගලන්තෙ නීතිවේදී උපාධිය හදාරමින් ඉන්නවා.
*ඒ කියන්නෙ මේක නීතීඥ පවුලක්. ආපහු නිහාල්ගෙන් පස්සෙ පොලිසියට බැඳෙන්න පවුලේ කවුරුත් නැද්ද?
ඔව්. නීතීඥ පවුලක් කියලා නම් කියන්න පුළුවන්. හැබැයි ඉතින් ආපහු පොලිසියට බැඳෙන්නනම් කවුරුත් පවුලේ නෑ.
*පොලිසියේ රාජකාරිත් එක්ක ඔහුට පවුලත් එක්ක ඉන්න වෙලාවක් තිබුණද?
ඇත්තම කතාව අපේ පවුලේ හතරදෙනාම එදා ඉඳලම පුදුමාකාර විදියට අවිවේකී ජීවිත ගතකරපු අය. ඒත් නිහාල් හැමවෙලාවෙම උත්සාහ කළේ ලැබෙන පුංචිම පුංචි වෙලාවක් වුණත් අපිව සතුටින් තියන්න. එයා එහෙම වෙලාවට ගොඩක්ම කරන්නේ අපිව ගෙදරින් එළියට කෑමකට ගෙනියන එක. බැරිවෙලාවක හරි ඒක එහෙම කරන්න බැරි වුණොත් දුවයි, පුතයි එක්ක එකතු වෙලා කුස්සියට ගිහිල්ලා රස කෑමක් හදලා මේසෙට යවනවා. ඊටපස්සේ ‘‘මැඩම් කෑම ලෑස්තියි මෙහෙ එන්න’’ කියලා මහා හයියෙන් කෑ ගහලා මට කතා කරලා කෑම ටික දීලා බොහොම අහිංසක විදියට දරුවොත් එක්ක සතුටු වෙනවා. ඒ වගේම කොයිතරම් වැඩ රාජකාරි තිබුණත් එයා කොළඹින් පිට අපිව කොහේහරි විනෝද චාරිකාවක් එක්කගෙන යනවා. ඇත්තටම දැන් අපි ලංකාවේ නොගියපු තැනක් නැතිතරම්.
*මේ වෙනකොට ඔබ රටේ නම ගිය නීතීඥවරියක් වගේම වැඩබලන මහේස්ත්‍රාත්වරියක්. සැමියෙක් විදියට ඔබේ මේ ගමනට ඔහුගෙන් ලැබුණ සහයෝගය කොයි වගේද?
හොඳ ස්වාමිපුරුෂයෙක් විදියට ඔහු මාව නිරන්තරයෙන් ධෛර්යමත් කළා. මගේ ගමනට සහ මට අවශ්‍ය උපරිම නිදහස දීලා මාව විශ්වාස කළා. රටේ ලෝකේ ජීවත්වෙන සෑම බිරිඳකටම තමන්ගේ ස්වාමියාගෙන් ඔය තුනම එකවර ලැබෙනවා ගොඩක් අඩුයි. ඉතින් නිහාල් මට ඒ දේවල් නොදුන්නා නම් මං ගැන විශ්වාසය නොතිබ්බා නම් සන්ධ්‍යා තල්දූව කියන නීතීඥවරියවත්, මහේස්ත්‍රාත්වරියවත් අද මෙතැන නොහිටින්න තිබුණා.
*ඇත්තද මේ සන්ධ්‍යා තල්දූව කියන නම ඇහුනත් මුළු කඩුවෙල උසාවියම හෙල්ලිලා යනවා කියන්නේ?
ඒකනම් ඉතින් මම හරියටම කියන්න දන්නේ නෑ. හැබැයි ඉතින් සන්ධ්‍යා තල්දූව කියන්නේ ටිකක් කට සැර ලෝයර් කෙනෙක් කියලා හුඟදෙනෙක් කතාවෙන බවක් නම් මටත් තේරිලා තියෙනවා. කාන්තාවක් ආත්මගරුත්වය නැති කරගෙන නැත්නම් කට පොඩ්ඩක් සැරයි කිව්වට මට නම් ඒකේ කිසිම ගැටලුවක් නෑ.
*එතකොට ගෙදර ඉන්නෙත් උසාවියෙ ඉන්න සන්ධ්‍යාමද?
අපෝ නෑ. මම ගෙදර ගේට්ටුවෙන් ඇතුළට යන්නේ සන්ධ්‍යා තල්දූව කියන ලෝයර්ව ගේට්ටුවෙන් එළියෙ තියලා. මම නිතරම වගේ උත්සාහ කරන්නේ පවුල් ජීවිතය ඇතුළෙදි මගේ සැමියාට කීකරු වුණ ආදරණීය බිරිඳක් විදියට කටයුතු කරන්න. මොකද අපි පිළිගත්තත් නැතත් මේක පීතෘමූලික සමාජයක්. ඒකෙන් මම අදහස් කරන්නේ ගෙදරදී බිරිඳ සැමියාට යටත්වෙලා ඉන්න ඕන කියන එක නෙවෙයි. සැමියෙකුගේ පෞරුෂය රැකෙන විදියට කටයුතු කරන්න ඕන කියන එක. කොහොමහරි ඉතින් මට නම් කියන්න තියෙන්නේ මමයි ලොක්කා කියාගෙන වැඩ කරන්න මගේ මහත්තයා එක්කනම් කොහොමටත් බෑ.
*මොනවද ඔහුට තියෙන විනෝදාංශ එහෙම?
අම්මෝ සිංදු කියන එක තමයි ලොකුම විනෝදාංශය. අපේ ගෙදර සංගීත ගෘප් එකක් පටන්ගන්න තරමට සංගීත භාණ්ඩ තියෙනවා ඕන ජාතියකින්. නිවාඩු පාඩුවේ ඉන්න දවසට යාළුවොන්ටත් එන්න කියලා, අපිවත් කතා කරගෙන සින්දුවක් කියන එක තමයි අපේ මහත්තයගෙ ලොකුම ආසාව. ඒ වගේම එයා පැරණි හින්දි චිත්‍රපට ගීතවලට තදින් ඇලුම් කරන කෙනෙක්. ඒ නිසා ප්‍රවීණ කලාකරුවෙත් එක්ක එකතුවෙලා කලා කටයුතුවලටත් මහත්තයා සම්බන්ධ වෙලා තියෙනවා. අනික ලෝකේ ජනප්‍රිය සම්භාව්‍ය චිත්‍රපට බලන්න හරිම කැමතියි.
*ඔහු ආදරණීය සැමියෙක්ද?
ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු මට ආදරණීය සැමියෙක්. මගේ දරුවන්ට ආදරණීය පියෙක්. වෙලාවකට මට හිතෙනවා මේ තරම් හොඳ තාත්තා කෙනෙක් ලබන්න ඒ දරුවෝ පින් කරලා ඇති කියලා.
*නීතීඥවරියක්, වැඩබලන මහේස්ත්‍රාත්වරියෙක් විදියටත්, රටේ උසස් පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක් විදියටත් රටේ අනිත් කාන්තාවන්ට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
මට කියන්න තියෙන්නේ ඇත්තටම පොඩි දෙයයි. බිරිඳක් විදියට ඔබ තමන්ගේ පවුලට මුල්තැන දෙන්න. ඔබේ සැමියාගේ අරමුණ මොකක් වුණත් ඒක යහපත් නම් පිටිපස්සෙන් ඉඳගෙන නිතරම ඔහුට ශක්තියක් වෙන්න. කිසිම වෙලාවක නැහැයි බැහැයි කියලා ඔබත් පස්සට ගිහිල්ලා ඔහුවත් පස්සට අදින්න එපා. ඊළඟට මවක් නම් තමන්ගේ දරුවන්ට එයාලගේ ස්වාධීන කැමැත්තට අනුව වැඩ කරගෙන යන්න නිදහස දීලා ඒ යන ගමන් මාර්ගය නිවැරදිද කියලා දුරින් ඉඳන් නිරීක්ෂණය කරන්න. කවදාවත් ඔබට වරදින්නේ නෑ.
ලිහිණි මධුෂිකා