කේක් හදන්නත් පුළුවන්… ඇඳුම් මහන්නත් පුළුවන්… මේ ඔක්කොම කරන ගමන් ගැරේජ් වැඩත් මට පුළුවන්
“ගෑනුන්ගේ සිනිඳු අත්වලින් බර වැඩ කරන්න බැහැ කියන එක පිරිමින්ගේ වාසියට හදාගත්තු පට්ටපල් බොරුවක්. එතකොට දැලි නාවර පෙරාගෙන ගෑනු කුස්සියේ බර වැඩ කරන්නේ කොහොමද? ළමයි උකුලේ ගහන් බරට බරේ වතුර පනිට්ටු උස්සන් හැතැප්ම ගණන් පයින් ගාටන්නේ කොහොමද?”
මේ 2015 තිරගතවෙච්චි ‘The lady mechanic’ චිත්‍රපටයේ කතානායිකාව කියන දෙබසක්. ඇය තමයි සැන්ඩ්‍රා අගුබර්, නයිජීරියාවේ ප්‍රථම මෝටර් රථ කාර්මික ශිල්පිනිය. ඇගේ ජීවිත කතාව පාදක කරගෙනයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ.
ගෑනුන්ට බර වැඩ බැහැ කියන මතය දැඩිව විශ්වාස කරපු රටක් නිසා 1994 වෙද්දිත් නයිජීරියාවේ කාන්තා කාර්මික ශිල්පිනියන් ඉඳලා නැහැ. ඒ නිසා ගෑනුන්ට කරන්න බැහැ කියලා කියපු දේවල් කරලා පෙන්වන්න ඉටාගත්තු සැන්ඩ්‍රා සෑහෙන කට්ටක් කාලා ඒ අරමුණ ජය අරන්. නමුත් ඒ තැනට යන්න පිරිමියෙක්ට වඩා විසි තිස් ගුණයක පරිශ්‍රමයක් දරන්න වුණු බවත්, මුලදි පිරිමි සගයන් ඇයව පිළිගන්න අකමැති වුණු බවත් මාධ්‍ය සාකච්ඡාවලදි ඇය පවසා තිබුණා.
සැන්ඩ්‍රා ඇරුණුකොට අදටත් නයිජීරියාවේ කාර්මික ශිල්පිනියන් අඩුයි. වෙන රටවල් ගැන එහෙම කිව්වට අපේ රටේ තත්ත්වෙත් ඔයිට දෙවැනි නැහැ. ජලනල කාර්මික ශිල්පය, වාහන හදන එක, ඉලෙක්ට්‍රික් වැඩ යුරෝපේ ගෑනුන්ට සාමාන්‍ය රස්සා වුණාට අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. සමාජයෙන් එන අභියෝග වැඩියි කියලා හිතන නිසාදෝ කාන්තාවෝ වුණත් ඒ වගේ පැතිවලට යොමුවෙනවා හරි අඩුයි.
අපේ කතානායිකාව සංජනා ගමගේ ඒ අභියෝගයටත් අභියෝග කරපු අවුරුදු විස්සක ළාබාල යුවතියක්. බහුතරයක් ගෑනු ළමයි කේක් හදන හැටි, මැහුම් ගෙතුම්, රූපලාවණ්‍ය විතරක් ඉගෙනගනිද්දි සංජනා ඒ හැමදේමත් එක්ක මෝටර් කාර්මික ශිල්පයත් හදාරලා. ‘ධරණී’ මුල්පිටුවේ හැමදාම තැනක් දෙන්නේ සුවිශේෂී තාලෙට හිතන විශේෂ කාන්තාවන්ට. හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට ග්‍රාමයේ ජීවත්වෙන සංජනාව හොයාගෙන අපි අම්බලන්තොටටම ගියේ ඇගේ කතාවත් ඒ තරම්ම සුවිශේෂී කතාවක් නිසයි.
“හැමදේම ඉගෙනගන්න පුතේ! පිරිමින්ට පුළුවන් හැම වැඩක්ම ගෑනුන්ටත් පුළුවන්.”
ගෑනු දරුවෝ ඉන්නේ කුස්සියේ වැඩ කරන්න කියලා පුංචි කාලෙදිම ඒ අයගේ ඔලුවට දාන බහුතරයක් දෙමාපියන් අතරේ සංජනාගේ අම්මයි තාත්තයි ඇයට උපදෙස් දුන්නේ ඔහොමලු.
“අම්මයි තාත්තයි නිතරම එහෙම කිව්ව නිසා හැමදේම ඉගෙනගන්න ඕනේ කියලා මටත් හිතුණා. තාත්තට කැබ් එකක් තියෙනවා. වාහනේ කැඩුණහම ඒක හදන්නේ තාත්තමයි. මොකද එයාට වාහන ගැන හොඳ දැනුමක් තියෙනවා. අවුරුදු දහයේ වගේ ඉඳලා වාහනේ හදන්න මමත් තාත්තට උදව් කළා. වාහනේ හදන ගමන් තාත්තා ඒ වැඩ එකින් එක මට කියලා දුන්නා.”
මව පියා ඇරුණුකොට සංජනාගේ පවුලේ තව මල්ලිලා දෙන්නෙක් ඉන්නවලු.
“මම ඉගෙනගත්තේ අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලෙන්. සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබුණා. මම මුලින්ම තෝරගත්තේ ගණිත අංශය. කොවිඩ් කාලේදි අපේ ඉස්කෝල වැහුණා. හරියට ක්ලාස් කෙරුණෙත් නැහැ. ඉතින් ගණිත අංශයෙන් විභාගේ කරගන්න අමාරු වෙයි කියලා හිතුණු නිසා මම තාක්ෂණ විෂය ධාරාවට මාරු වුණා. ඉංජිනේරු තාක්ෂණවේදය තමයි එතැනදි මම තෝරගත්තේ. සිවිල් තාක්ෂණවේදය, ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, ඔටෝමොබයිල්, ප්‍රඩක්ශන් ඔය හැමදෙයක්ම මේ විෂයට ඇතුළත්.
රසාංග සමරතුංග ගුරුතුමා තමයි ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන්න මාව යොමු කළේ.”
සංජනා ඉංජිනේරු තාක්ෂණ විෂයන් තෝරගත්තු එක ගැනත් ඇගේ දෙමාපියන් සෑහෙන සතුටු වුණාලු. “පිරිමි අය අඬුව අතට ගන්න කලින් ඔයා අඬුව ගන්න පුරුදු වෙන්න” කියලා සංජනාගේ පියා ඇයට නිතරම කිව්වලු. හැබැයි මේ වගේ විෂයක් ගෑනු ළමයින්ට ගැළපෙන්නේ නැහැයි කියල කියපු උදවියත් හිටියලු.
“ගෑනු අයට කරන්න ඕන තරම් සබ්ජෙක්ට්ස් තියෙද්දි ඇයි ඔටෝමොබයිල් තෝරගත්තේ, ඔව්වා ගෑනු ළමයින්ට කරන්න පුළුවන් වැඩද කියලා සමහරු ඇහුවා. මජං ගාගන්න එක ගෑනු අයට ගැළපෙන දෙයක් නෙමෙයි කිව්වා.”
මජං ගාගන්න එක මූණේ දැලි ගාගන්න මට්ටමට දාලා කතා කරන උදවිය කියන කතා වම් කනෙන් අහලා දකුණු කනෙන් පිට කරනවා කියලයි සංජනා අපිත් එක්ක කිව්වේ.
ඒ කතාවලට ඇහුම්කන් නොදුන්නු සංජනා ඉංජිනේරු තාක්ෂණ විෂයේ දිස්ත්‍රික් ශ්‍රේණිගතකිරීම්වල 85 වැනි තැන ලබාගනිමින් විභාගය හොඳින් සමත් වෙලා මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සුදුසුකම් ලබාගත්තලු.
“විභාගය ඉවර වුණාට පස්සෙ පාසලේ මඟපෙන්වීම යටතේ ජාතික ආධුනිකත්ව මණ්ඩලේ (NAITA) ඔටෝමොබයිල් ඉංජිනේරු පාඨමාලාවකට සම්බන්ධ වුණා. කෝස් එකේ මාත් එක්ක තව ගෑනු ළමයෙක් හිටියා.”
පාඨමාලාවේ ප්‍රායෝගික පුහුණුවට සංජනාව සහ ඇගේ මිතුරියව අම්බලන්තොට ලංගම ඩිපෝවට යොමු කරලා.
“ඔටෝමොබයිල් ටෙක්නිෂියන් කෙනෙක් වුණහම පෙට්‍රල් වාහන වගේම ඩීසල් වාහන ගැනත් ඉගෙනගන්න ඕනේ. ඩිපෝ එකේ තියෙන්නේ බස්නේ. ඉතින් අපිව එතැනට දැම්මේ ඩීසල් වාහන ගැන ඉගෙනගන්න. ඩිපෝ ගරාජ් එකෙ වැඩ කරන්නේ පිරිමි අය විතරයි. ඊට කලින් කවදාවත් ඩිපෝ ගරාජ් එකේ ගෑනු ළමයි වැඩ කරලත් නැතිලු. ඒ නිසා ඒ අයත් මුලින් ටිකක් පුදුම වුණා. හැබැයි එයාලා අපිට ගොඩක් උදව් කළා.
ඩිපෝ එකට ගිය මුල් කාලේ මට කිසිම ලෙඩක් අඳුරගන්න බැහැ. හැබැයි දැන් නම් ගොඩක් ලෙඩ අඳුනගන්න පුළුවන්. රෝද ගලවලා ටයර් මාරු කරන එකේ ඉඳලා එන්ජින් රෙපෙයාර්, ගියර් බොක්ස් රෙපෙයාර්, ක්ලච් ප්ලේට්, ප්‍රෙශර් ප්ලේට් හයි කරන්න, බ්‍රේක් ලයිනර් ගහන්න, ඕල්ටනේට් රෙපෙයාර්, දුනු ගැසීම ඇතුළු ගොඩක් වැඩ තනියම කරන්න පුළුවන්.”
*ගෑනුන්ට බර වැඩ බැහැයි කියලා සමහරු කියනවනේ. ඇත්තටම සංජනාට ඔය වැඩ අමාරු නැද්ද?
“මුල් කාලේ අමාරුයි කියලා දැනුණා. ගෙදර ගියාම ඇඟට අමාරුයි. කොන්ද රිදෙනවා. හැබැයි පස්සේ පස්සේ ඒ දේවල්වලට හුරුවුණා. අනික අමාරුයි කියලා කිසිම වෙලාවක අතෑරියෙත් නැහැ. කඹවලින් ගියර් බොක්ස් එහෙම බාද්දි අපිට අමාරු වෙයි කියලා හිතලා පිරිමි අය අපිට අයින් වෙන්න කියනවා. හැබැයි අපි නෙමෙයි අයින් වුණේ. ගොඩක් වෙලාවට අපි බර වැඩ උදුරලා අරන් අපිට පුළුවන් කියලා කරනවා.”
බර වැඩ කරනවා කිව්වට සංජනාගේ අතේ නියපොතු ටිකත් හරි ලස්සනට තිබුණා. කොහොමත් ඉතින් ගෑනු ළමයි ලස්සනට ඉන්න ආසයිනේ.
*අතේ මජං ගෑවෙනවට සංජනා අකමැති නැද්ද?
“එහෙම අකමැත්තක් තියාගෙන මේ වැඩ කරන්න බැහැ. හැබැයි අපිත් එක්ක ඩිපෝ එකේ වැඩකළ එක අංකල් කෙනෙක් හිටියා. එයාගේ ගරාජ් ඇඳුම සෝදලම දියවෙලා. වැඩේ කියන්නේ ඒ ඇඳුමේ එක මජං බිඳක් නැහැ. හැබැයි එයා ගොඩක් දක්ෂයි. ‘ඇඟ පුරා මජං ගාගන්නවා කියන එකෙන් කෙනෙක් දක්ෂයි කියලා අදහස් වෙන්නේ නැහැ, ඒ නිසා පුළුවන් තරම් පිරිසුදුව ඉන්න, ආරක්ෂාව ගැන හිතන්න’ කියලයි එයා අපිටත් කිව්වේ. ඒ කතාව මාත් හොඳට ඔලුවට ගත්තා. සුදු ඇඳුමක් ඇඳගෙන මජං නොගා ටයර් එකක් මාරු කරන්න මටත් දැන් පුළුවන්. මේ වගේ වැඩ කරද්දි නියපොතු සවුත්තු වෙයි, කළුවෙලා කැත වෙයි කියලා ගෑනු ළමයි හිතනවා. අපේ ඇඟ ලස්සනට තියාගන්න එක අපේ වැඩක්. එහෙම නැතිව මේ වගේ දෙවල් කළා කියලා රූපයට හානියක් වෙන්නේ නැහැ කියන එකයි මගේ අත්දැකීම.”
සංජනාගේ ඉදිරි බලාපොරොත්තු ගැනත් ඔය අතරෙදි අපි ඇයගෙන් ඇහුවා.
“දැන් ඩිපෝවේ ඩීසල් ට්‍රේනින් එක ඉවරයි. පෙට්‍රල් වාහන පුහුණුවට සහභාගී වෙන්න බලාගෙන ඉන්නවා. කැම්පස් පටන්ගත්තහම කැම්පස් යනවා. මම මේ පැත්ත ඉගෙනගත්තේ සල්ලි හම්බකරන්න බලාගෙනම නෙමෙයි. හැබැයි ගරාජ් යතුරු ටික අරන් එළියට බැස්සොත් මට සල්ලි හම්බකරන්නත් පුළුවන්.”
සංජනා කතා කළේ නිහතමානී ආඩම්බරකමකින්. අවසාන වශයෙන් ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙන් ඇය කිව්වේ මෙහෙම දෙයක්.
“දැන් හිතන්නකෝ ගෑනු කෙනෙක් තනියම වාහනයක් පැදන් යද්දි වාහනේ මගදි කැඩුණොත් පිරිමි කෙනෙක්ගේ උදව් ලැබෙනකල් බලාගෙන ඉන්න වෙනවා. මෙහෙම දෙයක් ඉගෙනගෙන තියෙන එක ඒ වගේ වෙලාවකට කොච්චර හයියක්ද? ගරාජ් වැඩ විතරක් නෙමෙයි මට හොඳට උයන්න, කේක් හදන්න එහෙමත් පුළුවන්. අනිත් ගෑනු ළමයි කඩෙන් ඇඳුම් අරන් අඳිද්දි අවුරුදු පහළොවේ ඉඳලා මම තනියම මගේ ඇඳුම් මහගන්නවා. මම අනිත් අයටත් කියන්නේ ගෑනු–පිරිමි බේදයක් නැතිව හැමදේම ඉගෙනගන්න. ඉගෙනගත්තු දෙයක් කවදාවත් අපතේ යන්නේ නැහැ.”
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – මධුසංඛ සිරිවර්ධන
පසුතලය – අම්බලන්තොට ඩිපෝව