අගමැතිනියක් නැටුවම පොළොව ඇද වෙනවද?
තරුණ වයසේ පසුවන කාන්තාවක් සාදයකට සහභාගී වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් යුරෝපීය රටවල එය තහනම් හෝ අනිසි දෙයක් සේ සැලකෙන්නේ නැත. එහෙත් පින්ලන්ත අගමැතිනි සැනා මැරීන්ට නම් එවැනි සිද්ධියක් තදින්ම බලපෑවේය. ඒ ඇය සාදයකට සහභාගී වී සිය මිතුරියන් සමඟ නර්තනයේ යෙදෙමින් විනෝද වන අකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාල අතරේ හුවමාරු වන්නට පටන්ගැනීමත් සමඟිනි.
වීඩියෝපටයේ දැක්වනේනේ සැනා ඇගේ මිතුරියන් වන එරට ප්‍රමුඛ කලාකාරිනියන් හා සිය පක්ෂයේ මන්ත්‍රීවරියන් සමඟ වේගවත් රංගනයක යෙදෙමින් විනෝදවන ආකාරයයි.
“අගමැතිවරිය මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා.”
ඇගේ රංගනය දුටු විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කළේය. එසේම බොහෝ පිරිසකගේ මතයද ඊට සමාන විය. දසතින් ඇයට චෝදනා නැගෙන්නට පටන්ගත්තේය.
“මා නටනවා. ගයනවා. සාදවලට සහභාගී වෙනවා. මගේ වයසේ අනෙක් කාන්තාවන්ට මෙන්ම මටත් ඊට අවස්ථාවක් තිබිය යුතුයි.”
ඇය ඒවාට පිළිතුරු දුන්නාය.
“එදින සාදයේදී මා මත්පැන් ස්වල්පයක් ගත්තා පමණයි. එය වරදක් නොවෙයි. නමුත් මා කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය පාවිච්චි කර නැහැ.”
ඇත්තෙන්ම ඇය වැනි හැඩකාර යුවතියක් සාදයකට සහභාගී වී විනෝද වීම වරදක් නොවේ. ගැටලුව වූයේ ඇයට නැගුනු මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බවට වූ චෝදනාවයි. ඇය විසින් එම මතය ප්‍රතික්ෂේප කළද කිසිවකු එය බාරගන්නට සූදානම් වූයේ නැත. විශේෂයෙන් පින්ලන්තයේ විරුද්ධ පක්ෂ පැවසුවේම ඇය මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇති බවයි.
“එම සාදයේදී ඇගේ හැසිරීම වේගවත්. එය මත්ද්‍රව්‍ය භාවිතා කළ අයෙකුට සමානයි. එනිසා ඇය වහාම ඒ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතුයි.”
විරුද්ධ පක්ෂ නායිකා රිකා පූරා ඉල්ලා සිටියාය.
සැනා මැරීන්ගේ රජයේ හවුල්කාර පක්ෂයක් වන මධ්‍යම පක්ෂයේ මන්ත්‍රිනී මිකෝ කර්නා ද පවසා තිබුණේ මේ අවස්ථාවේ ගත යුතු හොඳම පියවර ස්වේච්ඡාවෙන්ම වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරගත යුතු බවය.
“මට පවුල් ජීවිතයක් තිබෙනවා. රාජකාරි කටයුතු ගැනත් මා තෘප්තිමත්. ඉතින් මා විවේක අවස්ථාවකදී මගේ මිතුරියන් සමඟ සාදයකට එක්වීම වරදක් වන්නේ කොහොමද කියා මට සිතාගන්න බැහැ.”
ඇගේ මතයද සාධාරණ බව බොහෝදෙනෙකු පවසා තිබුණි. එමගින් සිදුවූයේ එරට සමාජ මාධ්‍ය තුළ පිල් දෙකක් නිර්මාණය වීමයි. ඒ අතර තවත් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කළේ වෙනත් ප්‍රශ්න රාශියක් තිබියදී රජය හා එරට මාධ්‍ය සාදයක් අල්ලගෙන දඟලන බවයි.
කෙසේ වුවත් තමන් වරදක් කර නොමැති බැවින් මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට මුහුණදීම ගැටලුවක් නොවන බවය.
ඒ අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණයකට ඇය මුහුණ දුන්නාය. දින කිහිපයකින් එහි ප්‍රතිඵල නිකුත් වූයේ මැරීන්ගේ නිර්දෝෂීභාවය හෙළි කරමිනි.
නමුත් ඇය ඉලක්ක කරගත් විවේචන එතැනින් නතර වූයේ නැත. ඊට මුල්වූයේ පින්ලන්ත කලාකරුවන්ද සහභාගී වූ තවත් සාදයකදී එරට පොප් ගායක ඔලාවි ඌසිවිර්ටා ඇය සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝපටයකි. එම අවස්ථාවේ ඔහු ඇගේ ගෙල සිඹින බව පෙනී යතැයි මාධ්‍යවේදියෙකු පවසා තිබුණි.
“ඔහු මට යමක් පැවසුවා. ඒ අවස්ථාවේ මෙය සිදුවන්න ඇති. එය අනුචිත දෙයක් හෝ මගේ සැමියාට පැමිණිලි කිරීමට තරම් දෙයක් නොවෙයි.”
සැනා මැරීන් ප්‍රකාශ කළාය.
කවුද මේ සැනා මැරීන්?
36 හැවිරිදි මේ විනෝදකාමී කාන්තාව දැනට ලොව සිටින ළාබාලතම රාජ්‍ය පාලකයන්ගෙන් කෙනෙකි. 2019 වසරේදී ඇය පින්ලන්තයේ අගමැතිවරිය ලෙස පත්වූයේ ලොව ළාබාලතම රාජ්‍ය නායිකාව වශයෙනි. මෑතකදී චිලී ජනාධිපති ලෙස ගේබ්‍රියෙල් බොරික් පත්වනතුරුම එම වාර්තාවට හිමිකම් කීවේ ඇයයි. හවුල්කාර පක්ෂ පහක් එක්වීමෙන් සැදුණු එම වාමාංශික රජයේ සියලුම පක්ෂ ප්‍රධානීන් කාන්තාවෝය. ඒ අතර අවුරුදු 34 ඉක්මවා සිටියේ එක් අයෙකු පමණි.
වෘත්තීය පාපාන්දු ක්‍රීඩා තරුවක් වන මාකස් රයිකොනෙන් ඇගේ සැමියාය. එමෙන්ම වසර 16ක් පුරා ඇගේ සහායකයා වශයෙන් කටයුතු කරන්නේද මාකස්ය. ඇය අගමැති ධුරයේ දිවුරුම් දුන්නේද දෙදෙනාගේ විවාහයේ උණුසුම ගෙවී යන්නටත් මත්තෙනි. මේ වනවිට ඔවුන් දෙදෙනාට ‘එමා’ නම් දියණියක සිටී.
සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක්වුවද සැනා මැරීන්ගේ සමාජශීලී ප්‍රීතිමත් ජීවිතය පින්ලන්ත ජනතාවට රහසක් නොවේ. එරට තරුණ කලාකරුවන්, ක්‍රීඩකයන්, දේශපාලකයන් බොහෝදෙනෙකු ඇගේ මිතුරු මිතුරියන් වෙති. මේ නිසාම එරට සංගීත සංදර්ශන, උත්සව හෝ සාදයකදී ඇය දකින්නට නොලැබෙන්නේ කලාතුරකිනි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඇයට චෝදනාවක් එල්ල විය. ඒ කොවිඩ් නිරෝධායන නීති නොතකා හෙල්සින්කි නගරයේ රාත්‍රී සාදයකට සහභාගී වීම හේතුවෙනි. පසුව ඇය ඒ වෙනුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලුවාය.
කෙසේ වුවත් ඇය විනෝද කටයුතු සහ රාජකාරි කටයුතු පටලවා ගන්නේ නැත. කෙතරම් භාරදූර වගකීමක් හිස මත දරා සිටියත් ඒ සියල්ල ඇය ඉටු කරන්නේ සැහැල්ලුවෙනි. මේ නිසාම මෑතකදී ජර්මන් පුවත් සේවාවක් වන BILD විසින් සැනාව හැඳින්වූවේ ලොව සැහැල්ලුම රාජ්‍ය නායකයා ලෙසිනි.
“මා සාදයකදී හෝ වෙනත් උත්සවයකදී කැමරාවට හසුවීම සාමාන්‍ය දෙයක්. නමුත් එය සමාජජාල වෙත යොමුකර අනවශ්‍ය ගැටලුවක් බවට පත්කිරීම ඉතාම අශෝභන ක්‍රියාවක්.”
පාර්ලිමේන්තුව දක්වා දුරදිග ගිය සිද්ධිය සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කරයි.
“කෙසේ වුවත් සාදවලට හෝ උත්සව අවස්ථාවන්ට සහභාගී වීම මා අතහරින්නේ නැහැ. තරුණ කාන්තාවක් වශයෙන් එය මගේ අයිතියක්.”
වසන්ත විජේරත්න