මගේ කුළුබඩු දැන් ඇමරිකාවටත් යනවා
‘කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉඟුරු පියළි, කොත්තමල්ලි, චුණ්ණපූග නාගවල්ලි…’
1965 තිරගත වෙච්චි ‘සාරවිට’ චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා මහත්තයා ගායනා කරන ඔය සිංදුව මතක් වුණේ කතානායිකාවගේ නිෂ්පාදන ගොන්න දැක්කයින් පස්සෙයි. අද ‘ධරණී’ කවරය දරාසිටින අපේ කතානායිකාව තමයි සන්තුෂි විජේකෝන්. ඇය ලංකාවේ ජනප්‍රිය කුළුබඩු සන්නාමයක නිර්මාතෘවරියක්. චුණ්ණපූග, නාගවල්ලි හැරුණුකොට සිංදුවේ කියාපු අනෙක් හැමදෙයක්ම සන්තුෂිගේ කුළුබඩු නිෂ්පාදන ගොන්නේ තිබුණා.
අද ඒසා විශාල නිෂ්පාදන පරාසයක් එක්ක සාර්ථක ව්‍යාපාරයක් තිබුණට ඒ ගමන රෝසමල් අතුරාපු පාරක ආපු එකක් නෙමෙයි කියලයි ඇය කිව්වේ. ඒ නිසා ව්‍යාපාරයක් කරන, ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන කාන්තාවන්ට හයියක් වෙන්නයි අපි ඇගේ කතාව දිගහරින්නේ.
“මම මාතලේ. මාතලේ ශ්‍රී සංඝමිත්තා පාසලේ ආදි ශිෂ්‍යාවක්. ඉස්කෝලේ යන කාලෙදි ඉගෙනගත්තේ සයන්ස්. පස්සෙ මාර්කටින් පැත්තත් ඉගෙනගත්තා. ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක වසර කීපයක් වැඩ කළා.”
ඔය අතරේ සන්තුෂි විවාහවෙලා. දරුමල්ලෝ ලැබුණට පස්සේ ඒ වැඩත් එක්ක තවදුරටත් රැකියාව කරගන්න ඇයට අපහසු වුණාලු.
“මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. බබාලා ලැබුණට පස්සේ ජොබ් එකෙන් අයින් වුණා. අවුරුදු අටක් විතර මුකුත් කළේ නැහැ. ගෙදරට වෙලා හිටපු කාලෙදි හිතට ලොකු හිස්බවක් දැනුණා. දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ කළත් මුකුත් නොකර නිකන් ඉන්නවා වගෙයි දැනුණේ. මාර්කටින් එහෙමත් කරලා තියෙන නිසා බිස්නස් එකක් පටන්ගන්න ඕනේ කියන අදහස මගේ හිතේ කැකෑරෙන්න ගත්තා.”
රට කීපසැරයක්ම ලොක්ඩවුන් වුණු නිසා කොවිඩ් කාලෙදි රටේ ඇතැම් ව්‍යාපාර වැහුණා. හැබැයි තැනට සුදුසු නුවණ පාවිච්චි කරන මිනිස්සු සමාජ මාධ්‍ය වේදිකාවක් කරගෙන අලුත් අලුත් ව්‍යාපාර පටන්ගත්තා. සන්තුෂිත් ඔය දෙවැනියට කියාපු පිරිසෙන් කෙනෙක්.
“දරුවෝ ඉස්කෝලේ ගියෙත් නැති නිසා කොවිඩ් මුල් කාලේදි මට වැඩිපුර වෙලාව තිබුණා. බිස්නස් එකට අත්පොත් තිබ්බේ ඒ කාලේ. ව්‍යාවසායකයෙක් කියන්නේ සමාජෙට අත්‍යවශ්‍ය දේවල් දෙන කෙනෙක්, මිනිස්සුන්ගේ ප්‍රශ්නෙකට විසඳුම් දෙන කෙනෙක්. මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දෙයක් නිෂ්පාදනය කරනවා නම් කවදාවත් ඒ ව්‍යාපාරය වැටෙන්නේ නැහැ. ඉතින් මිනිස්සුන්ට විකුණන්න ඕනේ මොනවද කියන එක මම සෑහෙන කල්පනා කළා. කුළුබඩු අදහස මගේ ඔලුවට ආවේ එතකොටයි.”
ඉස්තරම් කුළුබඩුවලට අතීතේ ඉඳලම අපි ලෝක ප්‍රසිද්ධයිනේ. ඉස්සර ආසියාකරේ වෙළඳ මාර්ග බොහෝමයක් ලංකාව හරහා වැටිලා තිබුණලුනේ. ඔය පාරවල් හැදිලා තියෙන්නේ කුළුබඩු හොයාගෙන මෙහෙ ආපු විදේශිකයෝ නිසා කියලයි කියන්නේ. ඔය අතරිනුත් හොඳම කුළුබඩු තිබිලා තියෙන්නේ මාතලේ පැත්තෙ.
“අදටත් මාතලේ කුළුබඩුවලට ප්‍රසිද්ධයි. එහෙ ඉපදුණු මටත් කුළුබඩු හොඳට හුරුයි. අනික මොන ප්‍රශ්න තිබුණත් මිනිස්සු ගෙදර උයාගෙන කන කුළුබඩු ටික නොගෙන ඉන්නේ නැහැනේ.”
සන්තුෂි මුලින්ම ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ ලක්ෂ දෙකකින්.
“මුලින්ම මාතලේ වතුවලට ගිහින් සැපයුම්කරුවන් කිහිපදෙනෙක් තෝරගෙන ඒ අයගෙන් හොඳම කුළුබඩු ගත්තා. කුළුබඩු අඹරන මැෂින් එකක් එහෙමත් අරන් ගෙදර තියාගෙන කුළුබඩු පැකට් හැදුවා. හැම එකෙන්ම පැකට් 50 ගානේ හදලා ගුඩ් මාර්කට් එකට දැම්මා. Organic (කාබනික), නැචුරල් කියන කාණ්ඩ දෙකේම කුළුබඩු තියෙනවා.”
ගුඩ් මාර්කට් එකට නිෂ්පාදන දාලා කීපදිනකින්ම රට ලොක්ඩවුන් වුණාලු. ෆේස්බුක් හරහා ව්‍යාපාරය කරන්න අරන් තියෙන්නේ ඊටපස්සේ.
“ෆේස්බුක් පේජ් එකක් හදලා නිෂ්පාදන ටික අලෙවියට දැම්මා. හිතුවට වඩා හොඳ ඉල්ලුමක් එතැනින් හැදුණා. ඇත්තටම ෆේස්බුක් කියන්නේ ව්‍යාපාරයක් කරන්න හොඳ වේදිකාවක්.”
අරුමෝසම් තාලෙට ඇහැ ඇදිලා යන විදියට අසුරාපු කුළුබඩු බෝතල්, පැකට් දැක්කහම ගන්න නොහිතෙන්නේ කාටද කියලයි ඔය අතරෙ මට හිතුණේ.
“නිෂ්පාදනයක් කරද්දි ‘බ්‍රෑන්ඩින්’ කියන දේ ගැනත් හොඳට හිතන්න ඕනේ. ගැළපෙන නමක් දාන එක, දැක්ක හැටියේ ගන්න හිතෙන විදියට නිෂ්පාදනය අසුරන එක ඉල්ලුම වැඩිවෙන්න හේතු වෙනවා.”
අද වෙනකොට ඇය නමක් හදාගත්තු සාර්ථක ව්‍යවසායිකාවක්. සාර්ථකත්වය දක්වා ආපු ඒ ගමනෙදි ඇයට ආපු අභියෝග මොනවද කියන එකයි ඊගාවට අපි ඇහෙන් ඇහුවේ.
“ව්‍යාපාරයක් කළත් රැකියාවක් කළත් පිරිමි කෙනෙක්ට සාපේක්ෂව කාන්තාවකට එන අභියෝග වැඩියි. මොකද කාන්තාවක් මව, ගෘහිණිය යන භූමිකා ගැන හිතන්නත් ඕනනේ. කාලය කළමනාකරණය කරගන්න එක තමයි මට තියෙන ලොකුම අභියෝගය.
බිස්නස් එක පටන්ගත්තු මුල් කාලේ කුළුබඩු සෝදලා, වේලලා, අඹරලා, පැකට් කරනතාක් සේරම කළේ තනියම. දැන් ඒ වැඩවලට උදව්වට දෙන්නෙක් ඉන්නවා. පස්සේ හදාගත්තු කුළුබඩු වාහනේ දාගෙන කඩවල්වලට අරගෙන යන්න ඕනේ. මගේ සැමියා ගුවන්යානා ඉංජිනේරුවෙක්. ඉතින් ඔහුත් ගොඩක් කාර්යබහුල කෙනෙක්. පුළුවන් හැමවෙලාවෙම ඔහු මාත් එක්ක එනවා. නැත්තම් මම තනියම තමයි යන්නේ. සමහර කඩවලින් ප්‍රඩක්ට්ස් ගන්න බැහැ කියපු වෙලාවලුත් තිබ්බා.
හැම සෙනසුරාදාම කොළඹ ගුඩ්මාර්කට් එකේ කුළුබඩු සේල් කරනවා. ඒ වැඩත් තනියමයි කරන්නේ. ගුඩ්මාර්කට් එකෙන් මට සම්බන්ධතා ගොඩක් හැදුනා. ඒ හරහා මම දැන් කැනඩාව, එංගලන්තය, ඇමරිකාව වගේ රටවලට කුළුබඩු අපනයනය කරනවා. ව්‍යාපාරයක් කරන එක ලේසි නැහැ. මහන්සියි. හැබැයි තමන්ගේම ව්‍යාපාරයක් දියුණු වෙනකොට ලැබෙන සතුට ඒ මහන්සියට වඩා වැඩියි.”
කුළුබඩු ව්‍යාපාර පටන්ගන්න බහුතරයක් දෙනා පටන්ගන්න පමාවට බිස්නස් එක නතර කරනවා. ඒ ගැන සන්තුෂි කිව්වේ මෙහෙම කතාවක්.
“හිතාගන්නත් බැරි අඩු මුදලට කුළුබඩු අලෙවි කරන අය ඉන්නවා. කුළුබඩුවල මිල ගණන් එක්ක ඒ ගණන්වලට දෙන්න බැහැ කියන එක මම පෞද්ගලිකව දන්නවා. කුළුබඩුවලට මොනවා හරි මිශ්‍ර කරලයි අඩු ගණන්වලට දෙන්නේ. ව්‍යාපාරයක් කරද්දි වුණත් අනුන්ට නැතත් තමන්ගේ හෘදසාක්ෂියට අවංක වෙන්න ඕනේ. එතකොට කවදාවත් වරදින්නේ නැහැ.”
ඇගේ දරුවන්ට පවා බය නැතිව ඇය දෙන්නේ ඇගේම නිෂ්පාදන බවයි ඈ කිව්වේ.
“ව්‍යාපාරයක් පටන් අරන් සාර්ථක කරගන්න ලොකු මුදලක් ඕනේ නැහැ. හැබැයි උත්සාහ කරන්නයි අවදානම් ගන්නයි බයවෙන්න එපා. ඒ වගේම වැඩක් පටන්ගත්තු හැටියේ ලාබ බලාපොරොත්තු වෙන්නත් එපා. ලාබෙට වඩා ව්‍යාපාරය ස්ථාවර කරගන්න එක ගැනයි හිතන්න ඕනේ.”
දරුවෝ නිසා මුදල් හම්බකරන්න වෙලාව නැහැ කියලා මැසිවිලි නගන කාන්තාවන්ට සන්තුෂි හොඳ උදාහරණයක්.
“හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. ගෙදර වැඩයි, දරුවන්ගේ වැඩයි කරන ගමන් බිස්නස් එකටත් මම වෙලාව හොයාගන්නවා. මට විතරක් නෙමෙයි ඕනම කාන්තාවකට එහෙම කරන්න පුළුවන්. අවුරුදු ගාණක් ගෙදර නිකන් ඉඳලා මේ බිස්නස් එක පටන්ගත්තහම දැනුණු තෘප්තිය වචනෙන් විස්තර කරන්න බැහැ. ඉතින් මම අනිත් අයටත් කියන්නේ ගෙදර නිකන් ඉන්න ගමන් පුංචිවට හරි දෙයක් පටන්ගන්න කියන එකයි.”
සන්තුෂි ඇගේ කතාව අවසාන කළේ එහෙම. මාතලේ කෙල්ලෝ ලස්සනයි කියලා කතාවට කියනවනේ. මාතලේ කෙල්ලෝ ලස්සනයි වගේම ධෛර්යවන්තයි කියන එකයි සන්තුෂි එක්ක කතා කළාට පස්සේ මට හිතුණේ.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්
හැඩගැන්වීම – අරුණි සිල්වා (අරුණි බ්‍රයිඩ්ල් සැලෝන් ඇන්ඩ් ඇකඩම්, මාලඹේ)