නවතම ප්‍රවෘත්ති

නැන්දේ මාමේ, අපේ ලස්සන පොළොව කැත කරන්න එපා

අද ‘ධරණී’ කවරය වෙනදට වඩා ටිකක් වෙනස් බව පුවත්පත අතට ගත්තු ගමන්ම හිතුණා නේද? අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කරලා ලක්බිමේ බුදුසසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පොහොය හෙට දවසට (14) යෙදිලා තියෙනවානේ. ඉතින් ඒ වෙනුවෙන් ‘ධරණී’ පාඨක පවුල් දෙකකින් තෝරගත්තු පුංචි දියණියකගේ සහ පුතණුවකුගේ පැහැබර රුවින් අද ‘ධරණී’ කවරය සරසලා විශේෂයක් කරන්න අපි හිතුවා.

කවරයේ හැඩට ඉන්න පුංචි පුතා කෙවාන් සනුක ද සිල්වා. කොළඹ සීබීස් පෙරපාසලේ ඉගෙනගන්න පුංචි පුතා ආදරණීය ‘ධරණී’ පාඨක අනුරාධා නිමාලි වීරසේකරගෙත්, සත්‍යජිත් කණිෂ්ක ද සිල්වාගේත් පුතණුවන්. කෙවාන්ට තවම හරියට බහ තෝරන්න බැරි නිසා අපි කවරය හැඩකරන සුන්දර දියණිය සනුකි බණ්ඩාර එක්ක පොසොන් පොහොය ගැන පුංචි කතාබහක නිරත වුණා. මහනුවර ස්වර්ණමාලි බාලිකා පාසලේ ඉගෙනගන්න මේ දුවගේ දෙමාපියන් මහනුවර විශාකා සුවන්දාරච්චි සහ චමින්ද බණ්ඩාරයි.

 

*සනුකි දුව පොසොන් පොහොය දවසේ වැදගත්කම ගැන දන්නවද?

ඔව්. පොසොන් පොහොය දවසේ තමයි අපේ රටට මිහිඳු හාමුදුරුවෝ වැඩම කළේ.

 

*මිහිඳු හාමුදුරුවෝ ගැනයි, පොසොන් පොහොය ගැනයි තව මොනවද දුව දන්න විස්තර?

ඉන්දියාවේ හිටපු ධර්මාශෝක රජතුමාගේ පුතා තමයි මිහිඳු හාමුදුරුවෝ කියන්නේ. ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් පැවැත්තුව තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදියට රජතුමා මිහිඳු හාමුදුරුවන්ව ලංකාවට එවලා ලංකාවේ බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්න හිතුවලු. ඊටපස්සේ මිහිඳු හාමුදුරුවෝ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල, සුමන සාමණේර, භණ්ඩුක උපාසක කියන පිරිසත් එක්ක පොසොන් පොහොය දවසක මිහින්තලාවට වැඩම කළා. මිහිඳු හාමුදුරුවෝ එනකොට දේවානම්පියතිස්ස රජතුමා මුවන් දඩයම් කරමිනුයි ඉඳලා තියෙන්නේ. ඊටපස්සේ උන්වහන්සේ රජතුමාට තිස්ස තිස්ස කියලා කතා කළාලු. කිසිම බයක් නැතුව මගේ නම කියන්නේ කවුද කියලා බැලුව රජතුමා මිහිඳු හාමුදුරුවන්ව දැක්ක ගමන්ම දුනු ඊතල පැත්තකින් තියලා උන්වහන්සේට නමස්කාර කළාලු. පස්සේ රජතුමාගේ දැනුම පරීක්ෂා කරන්න හිතුව මිහිඳු හාමුදුරුවෝ ඒ වෙලාවේ රජතුමාගෙන් ප්‍රශ්න තුනක් අහලා. ඒ ප්‍රශ්න තුනටම හරියටම උත්තර දීපු නිසා රජතුමාට ධර්මය ලබාදෙන්න සුදුසුයි කියලා හිතුව මිහිඳු හාමුදුරුවෝ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරලා ලංකාවේ බුදුදහම ප්‍රචාරය කරන එක ආරම්භ කළාලු. මහින්දාගමනය නිසා අපේ රටේ උතුම් බුදුසසුන ආරම්භ වුණා. ඒ විතරක් නෙමෙයි මහාවංශය ලිවීම ආරම්භ කිරීම, එතකොට ලංකාවේ පළවෙනි මහණ උපසම්පදාව වගේ වැදගත් සිදුවීම් රැසක්ම පොසොන් පොහොය දවසට යෙදිලා තියෙනවා.

 

පොසොන් පොහොය දවසේ වැදගත්කම ගැන ලස්සනට කතන්දරයක් වගේ එක දිගටම කියාගෙන ගිය නිසා අපි පුංචි දුවගේ කතාවට බාධා කරන්න ගියේ නැහැ. අද බහුතරයක් දෙමව්පියන් දරුවන්ට දහම් දැනුම ලබාදෙන එක ගැන ලොකු අවධානයක් දක්වන්නේ නැහැ. හැබැයි මේ දියණිය නම් හොඳ බෞද්ධ දියණියක් බව ඇගේ කතාබහෙන්ම අපිට තේරුණා.

 

*දුවට කවුද ඔය විස්තර කියලා දුන්නේ?

අම්මයි, තාත්තයිත් කියලා දුන්නා. දහම් පාසලෙනුත් ඉගෙනගත්තා.

 

මහින්දාගමනයෙන් පස්සේ ඇතිවෙන සංස්කෘතික නවෝදයත් එක්ක අපේ රටේ ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියන සංකල්පය ඇතිවුණා. ඔය සංකල්පය නිසා හැම ගෙදරකම පුංචි දූලා පුතාලා කුඩා කාලේ ඉඳලම ගමේ පන්සලට හිතවත් වුණාලු. ඒ නිසාම ඒ කාලේ උදවිය ගුණදහම් අතින් වුණත් පෝෂණීයව උන්නු බව නොදන්නා දෙයක් නෙමෙයි. හැබැයි දැන් ගොඩක් අය ගමේ පන්සලෙන් ඈත්වෙලා. ඒ නිසාම පුංචි දරුවගේ ඉඳලා බොහොදෙනාගේ ගුණයහපත්කම් අඩුයි. හැබැයි සනුකි දුව නම් නිතරම වගේ පන්සල් යන බව තමයි ඇය අපිත් එක්ක කිව්වේ.

 

සඳහිරු සෑය තියෙන්නේ අපේ ගෙවල් ළඟ. මට තව අක්කලා දෙන්නෙකුත් ඉන්නවා. අක්කලයි, අම්මයි, මමයි ගොඩක් වෙලාවට සඳහිරු සෑය වඳින්න යනවා. ගෙවල් ගාව තියෙන ගමේ පන්සලටත් යනවා. පන්සලට ගිය ගමන්ම මම කරන්නේ පන්සල් මළුව අමදින එක. ඊටපස්සේ මල් ආසන එහෙමත් සෝදනවා. ඊටපස්සේ තමයි තෙරුවන් වඳින්නේ.

 

*දුව බුදු හාමුදුරුවන්ගෙන් ඉගෙනගත්තු හොඳ දේවල් මොනවද?

එකක් අනිත් අයට කරුණාවන්ත වෙන එක. හැකි හැමවෙලාවෙම අනිත් අයට කරුණාවෙන් සලකන්න කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවනේ. ඒ වගේම සත්තුන්ට ආදරේ දක්වන්න කියලත් බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා. මමත් සත්තුන්ට හරිම ආදරෙයි. වෙලාවකට අපි පාරේ ඉන්න සත්තුන්ට කෑමත් දෙනවා. ඒ වගේම තමයි පරිසරය විනාශ කරන්න හොඳ නැහැ. බොරු කියන්න, කේලම් කියන්න හොඳ නැහැ. ඒ හැමදේම අපිට දහම්පාසලෙදි උගන්නනවා.

සත්තුන්ට කරුණාවන්ත වෙන්න ඕනේ කියලා ඇය කිව්වම මට මෙන්න මේ කතාව මතක් වුණා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වඩිනකොට දේවානම්පියතිස්ස රජතුමා මුවන් දඩයම් කර කරනේ හිටියේ. ඒක දැකපු මිහිඳු හාමුදුරුවෝ  “මහරජ, ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ටද, වන සතුන්ටද මේ පොළොවේ ඕනෑම තැනක ඔබමොබ යාමේ අයිතියක් ඇත. පොළොව සියලු සතුන්ට අයිති අතර, ඔබ එහි භාරකරු පමණකි” කියලා මිහින්තලාව අසලදී රජතුමාට දේශනා කළාලු. සමහර බෞද්ධ උදවිය ඉන්නවා කොච්චර පන්සල්කාරිය ගියත් සතෙක් දැක්ක හැටිය ගල්මුල්වලින් දමලා ගහන. ඉතින් පොසොන් පොහොය දවසෙවත් ඒ වගේ පුරුදුවලින් ඈත් වෙන්න අධිෂ්ඨාන කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටීවි.

පොසොන් පොහොය වෙනුවෙන් අනිත් අයට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද කියලත් අපි මේ පුංචි දියණියගෙන් අහලා බැලුවා.

මම අම්මලා එක්ක මිහින්තලාව බලන්නත් ගිහින් තියෙනවා. එතැන හරිම ලස්සන තැනක්. හැබැයි මිහින්තලාව වඳින්න එන නැන්දලා මාමලා එතැන කුණු දාලා යන්න පුරුදු වෙලා. මිහින්තලාවේ විතරක් නෙමෙයි අපේ ලස්සන පොළොවේ කොතැනකවත් කුණු විසි කරන්න එපා කියලා තමයි මම ඒ නැන්දලා මාමලාට හැමෝටම කියන්නේ.

යමෙක් වයසින් කුඩා වුණත් ගත හැකි යමක් වේ නම් ඒ අවවාද පිළිගත යුතුයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ. ඉතින් ඇය ආදරෙන් ඉල්ලුව ඒ ඉල්ලීම අපේ ‘ධරණී’ පාඨකයන් අහක දමන එකක් නැතිවෙයි කියලා අපිත් හිතනවා. සනුකි දුව එක්ක කතාව අතරතුරේ පුංචි කෙවාන් පුතා සෙල්ලම් කර කර හරි ලස්සනට හිනාවෙවී හිටියා. හදවතින්ම හිනාවෙන්නේ කිරි දරුවෝ විතරයි කියලා කතාවක් තියෙනවනේ. හැබැයි සියලු මිනිසුන් හදවතින්ම හිනාවෙන මෘදු හිත් ඇති අයවලුන් වේවා කියන එකයි මේ පොහොය දවසේ අපේ උතුම් ප්‍රාර්ථනය.

සෙව්වන්දි හෙට්ටිආරච්චි 

ඡායාරූප ප්‍රදීප් දඹරගේ

පසුතලය ධම්ම ගවේෂී බෞද්ධ ආශ්‍රමය, කොළඹ 07