ඇමතිටත් ගලවන්නට බැරි වූ රාජ්‍ය සේවිකාවගේ සාරිය ගැලවුණ හැටි
‘‘කොරෝනා ඉවර වුණත් නැතත් ආපහු පරණ විදියට අපිට රස්සාවට යන්න වෙනවා. මගෙ නම් ඇඟ හිරි වැටෙන්නෙම සාරි ඇඳිල්ල මතක් වෙලා. අවුරුදු එක හමාරකින් විතර සාරි ඇඳලා නැති නිසා දැන් නම් අඳින විදිය මතකත් නෑ වගේ.’’ රාජ්‍ය අංශයේ රැකියාවක නියුතු මිතුරියක සමඟ සිදුකළ දුරකතන සංවාදයකදී ‘‘දැන් වැඩට යනවාදැ’’ යි මා ඇසූ පැනයට පිළිතුරක් ලෙස ඇය මේ දුක් අඳෝනාව දිගහැරියාය. මෑතකදී රාජ්‍ය සේවයට අලුතින් එක් වූ මගේ මිතුරියක් රාජ්‍ය සේවිකාවන්ට සාරිය නියම කළ තැනැත්තා ස්ත්‍රීන් සමඟ වෛරයකින් පසු වූ අයෙක් වෙන්නට ඇතැයි තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණි. ඒ, ඈ පත්වීම බාර ගන්නට ගියදා උදේ පාන්දර යාර හය පටලවා ගැනීමේදී මුහුණ දුන් අරගලය සිහිපත් වීය. ඒත් මේ යාර හයේ පටලැවිල්ල නිසා දහදුක් විඳින රාජ්‍ය සේවිකාවන් අමනාප විය යුත්තේ සාරිය රාජ්‍ය සේවිකාවන්ගේ නිල ඇඳුම කළ තැනැත්තා ගැන නොව අනුන්ගේ වස්ත්‍රයක් තමන්ගේ කරගත් හෙළ ළමාතැනීලා සමඟය.
ක්‍රි.පූ. සියැවෙන්නේදී පමණ ඉන්දියානු කතුන් පටලවා ගත් යාර හයේ වස්ත්‍රය අපේ හෙළ කතුන් පටලවා ගත්තේ මහනුවර යුගයේය. එතැන් පටන් ප්‍රභූ කතුන්ට පමණක් උරුම වූ යාර හයේ පටලැවිල්ල සාමාන්‍ය කාන්තාවන්ගේ ඇගේ දැවටෙන්නටද වැඩි කලක් නොගියේය. මඟුලට මරණයට, ගමනට බිමනට පමණක් නොව නිදි ඇඳෙන් නැඟිටිනවිටද කුල කතුන් ගෙදරට ඇන්දේ ඔසරියය. උයන ගෙට, වත්තට, පිටියට, වෙන වෙනම සේවකයන් හිටි ළමා තැනීලාට ඔසරිය පටලවා ගෙන ගෙදර සිටීම අභිමානයක් විය. එහෙත් පසුකාලීනව වත්පොහොසත්කමින් බංකොලොත්ව වංශය කබල් ගාමින් ගෙදර සුමේ කරන ළමා තැනීලාද තම තත්ත්වය නඩත්තු කළේ ගෙදරට ඔසරි අඳිමිනි. කාන්තාවන්ගේ තත්ත්වය තරාතිරම පෙන්වූ මේ සාරි, ඔසරි එකළ තත්ත්වයක් තිබූ කාන්තාවන් සේවයට එද්දී ඔවුන්ගේ ඇගේ එල්ලී රාජ්‍ය සේවයටද පැමිණියේය. එදා පටන් සාරිය, ඔසරිය රාජ්‍ය නිලධාරිණියන්ගේ නිල නොවන නිල ඇඳුම වන්නට ඇත.
ගවුම් කොටය ඇඳි කෙල්ලෝ හා හා පුරා කියා සාරියක් පටලවා ගත්තේ රාජ්‍ය සේවයේ අලුත ලැබූ පත්වීම භාර ගන්නටය. එදාට අම්මාට වගකීම් වැඩිය. අම්මා රැකියාවක් නොකරන හෝ සාරිය නුහුරු අයෙක් නම් අසල්වාසී නැන්දලාට, පුංචි අම්මලාටද නිවනක් නැත. දෙතුන් දෙනෙක් එක්ව, රැල්ලෙන් රැල්ලට කටු ගසා යාර හය පටලවා අලුත් රාජ්‍ය සේවිකාව නිවසින් පිටත් කරන්නේය. බැරිවෙලාවත් නාගරික ප්‍රදේශයක තරුණියකට පත්වීමක් ලැබුණොත් අහල පහල සැලෝන් අක්කලාට සතියකට හමාරකට උදේ පාන්දරට වාසිය. සතියක දෙකක සාර්ථක ප්‍රායෝගික පුහුණුවකින් පසු රාජ්‍ය සේවයට අනුගත වනවාට වඩා කඩිනමින් යාර හය පටලවා ගන්නා ක්‍රමය අල්ලා ගැනීමටද මෙම දැරිවියෝ දක්ෂය.
රාජ්‍ය නිලධාරිණියන්ගේ සාරියට අත තියන්නට කිසිවෙකුත් මෙතෙක් උත්සාහ කළේ නැත. එහෙත් තරුණ අමාත්‍යවරයෙක් වූ හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් තරුණ ජවයටදෝ ඒ වෙනුවෙන් ඉදිරිපත් විය. ඇමතිවරයා මුලින්ම ගලවා දමන්නට උත්සාහ ගත්තේ ගර්භනී ගුරු මෑණිවරුන්ගේ සාරියය. එය තම බිරිඳගේ අපහසුව සියලු බිරින්දෑවරුන්ට සමාන කළ අතිදුර්ලභ අවස්ථාවක් වුවද ඔහුගේ හිතුවක්කාර තීරණය කිසිවෙකුත් පයිසෙකට මායිම් නොකළේය. එයින් අධෛර්යමත් නොවූ ඇමතිවරයා 2016දී විදුහල්පතිවරු පාසැලට එන ගැබිනි මව්වරුන්ට ඇන්දූ සාරිය ගලවා දැම්මේය. කෙසේ නමුත් නිල-බල සහිත ඇමතිවරයෙක්ට ගැලවීමට බැරි වූ රාජ්‍ය සේවිකාවන්ගේ සාරිය කිසි හිතක් පපුවක් නැතිවම කොරෝනා ගලවා දැම්මේය.
කොරෝනාට පිං සිදුවන්නට රාජ්‍ය සේවිකාවන් නීත්‍යානූකූල අවසරය මත දැන් පහසු ඇඳුම් අඳින්නේය. මේ නිසා වැඩිපුරම පහසුවට පත්වී සිටින්නේ රාජ්‍ය සේවක බිරින්දෑවරුන්ගේ සැමියන්ය. රැකියාවට යන සැමියාත්, බිරිඳත් නිවසේ වැඩ බෙදා ගනිද්දී ඇඳුම් මැදීම බාරවන්නේ බොහෝ විට ආදරබර සැමියන්ටය. වචනවලට නොපෙරළුවද විශේෂයෙන් කපු හා අත්යන්ත්‍ර (කොට්න්, හෑන්ඩ්ලූම්) සාරි මදිද්දී ඒ සැමියන්ට සාරිය සොයාගත් අයගේ මෑණියන් සිහිවෙනවා ඇත. තම පුතුට විවාහ වීමට රාජ්‍ය සේවක දියණිවරු සොයනා මෑණිවරු පුතුගේ යුග ජීවිතයේ යහපත වෙනුවෙන් විවාහයට පෙර පුරුදු පුහුණු කළ යුතු කාර්යයන් දෙකක් ඇත. පළමුවැන්න සාරි මැදීමය. දෙවැන්න සාරි පොටේ කට්ට ගැසීමය. එසේ නොවුණහොත් උදේට නහය දන්නට පටන් ගන්නේද පුතුන් වැදූ මෑණිවරුන්ගේය.
රාජ්‍ය සේවිකාවන් හා ඔවුන්ගේ සාරිය හා බැඳුණු කතා ගොන්නක් ඇත. ඇතැම් කතා හාස්‍යජනකය. තවත් කතා සංවේදීය. රාජ්‍ය සේවක ගොන්නට ගුරුවරුන් ද අදාළය. ඒ නිසා මේ කතා ගුරුමාතාවන්ට ද පොදුය. මීට කලකට ඉහත රජයේ සේවිකාවන්ගේ කුම්මැහිකම ගැන කියන්නට රට්ටු ඈදා ගත්තේද ඔවුන්ගේ සාරියය. ‘‘මහ ලොකුවට කරන්නේ ආණ්ඩුවෙ රස්සා. ඒ වුණාට ඔය අදින සාරි ලිපට දැම්මත් පිච්චෙන්නේ නෑ.’’ මෙවැනි කතා මීට වසර විස්සකට එහා බොහෝ සුලබ වුණත් අද රජයේ සේවිකාව එදාට වඩා වෙනස්ය. ඇය බඩගින්නේ වුණත් වැඩට යන්නේ හැඩටය. රජයේ කන්තෝරුව පිටකොටුවේ අස්ලාම් මාර්කට් එකෙන් වෙනස් වන්නේ මංගල සාරි කන්තෝරුවේ නැති නිසා බව මට පැවසුවේ වසර ගණනක් තම යෙහෙළියන්ගේ සාරි විලාසිතා දුටු ආණ්ඩුවේ කන්තෝරුවක සේවය කරන මිතුරෙක්ය. ඔහු පසුකලෙක තම බිරිය කරගත්තේ ද ඒ කන්තෝරුවේම හැඩ සාරි ඇඳි සමීප යෙහෙළියකි.
ලස්සනට අඳින්නට කැමති, එක වරක් ඇඳපු ඇඳුම ටික කලක් යනතුරු අඳින්නට අකමැති මගේ මිතුරියක් රජයේ සේවයට එක් විය. පෞද්ගලික අංශයේ සේවය කර පසුව රජයේ සේවයට එක් වූ ඇය පළමු මාසය තුළ දෙවරක් එකම සාරිය නොඇඳීමට තරම් ප්‍රවේශම් වූ බව මට පැවසුවේ ආඩම්බරයෙනි. රජයේ සේවයට එක් වී වසර හතරක්වත් සම්පූර්ණ නොවූ මගේ යෙහෙළියගේ සාරි වත්කම හදිසියේ ඇයගේ සැමියාට හසු වූයේ ඔවුන් පදිංචිය වෙනස් කිරීමේදීය. නිවසේ බඩු අස්කරනා දිනයේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඊට සම්බන්ධ වීමට ඇයට නොහැකි වීය. ඒ කුඩා අත්වැරැද්ද නිසා අවාසනාවට සාරි ගොඩ අතරේ ඇඟටවත් නොදා තිබූ අලුත්ම සාරි සහ සෑහෙන්න කාලෙකින් ඇඳ නොතිබූ සාරි ඇයගේ සැමියාගේ ඇස ගැටී ඇත. සාරි ප්‍රමාණයවත්, එය මිලදී ගන්නට ගිය මුදල් ගැනවත් කිසිවක් නොවිමසූ මිතුරියගේ සැමියා ඇයට මෙය පමණක් කියා ඇත. ‘‘මට කලින් ඔයා මැරුණොත් මම ඔයාට ගෞරවයක් විදියට චිතකය හදන්නේ සාරිවලින්. මේ සාරි ටික ගොඩ ගැහුවම ආයේ දර ඕනෙ නෑ. අනික මේ සාරිවලට කරන්න දේකුත් තියෙන්න ඕනෙනේ…’’
කෙසේ නමුත් කොරෝනා තරඟයට සාරි ඇඳි රජයේ සේවිකාවන්ගේ සාරි අල්මාරිවලටම දා අඟුල් දා ඇත. බැරිවෙලාවත් සාරිය අඳින්නට අපහසු වූ දිනක බයෙන් සැකෙන් සායක්, ගවුමක් ඇඳගෙන රැකියාවට ගිය රජයේ සේවිකාවන්ගේ බය සැක නැති කළේ කොරෝනාය. ඒ පසුගිය වසරේ මාර්තුවේය. සාය හැට්ට, ගවුම් විතරක් නොව දැන් රජයේ සේවිකාවෝ කලිසම්, ඩෙනිම්ද වැඩට අඳිති. ඇඳුමක පහසුව දැනෙන්නේ ඇඳුම අඳින කෙනාටය. ඇඳුමේ හැඩයෙන්, වර්ණයෙන් වැදගත්කම මනින්නේ බලන පුද්ගලයන්ය. සාරිය ඇඳ කරපු කාර්යයම පහසු ඇඳුමක් ඇඳන් වසර එක හමාරක් මුළුල්ලේ රජයේ සේවිකාවෝ කළෝය. කරන වැඩේ ගුණාත්මකභාවයට ඇඳුම අදාළම නැත. බළලා මැටියෙන් වුණත් මීයන් අල්ලන්නේ නම් අප සතුටු විය යුතුය.
‘‘ඉස්සර අපි ෆීල්ඩ් විසිට් (ක්ෂේත්‍ර ගමන්) යද්දිත් ඇන්දෙ සාරිය. කඳු හෙල්වල, පල්ලම්වල, විතරක් නෙමෙයි දියපාරවලින් එගොඩ වෙලා යන ගමන්වලටත් ඇඳගෙන ගියේ සාරිය. සාරියක් නැතුව මහජනතාව ළඟට යන එක සුදුසු නෑ කියලයි අපි හිතාගෙන හිටියේ. ඒත් දැන් නම් ෆීල්ඩ් එකට තියා ඔෆිස් එකටවත් සාරි අඳින්නේ නෑ. හැබැයි අපි කරන සේවයේ වෙනසක් වෙලත් නෑ.’’ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ රජයේ රැකියාවක් කරන නිලධාරිණියක් පැවසූ කතාවකි ඒ.
කාර්යාලීය වෙලාවට සාරි කරේ තියන් බස්වලට, කෝච්චිවලට යන කොතෙකුත් කාන්තාවන් අප දැක ඇත. මහා වැසි කලෙක වුවද තෙතබරිත සාරිවලින් වැඩට යන කතුන් ඕනෑතරම් අප නෙත ගැටී ඇත. පහසු ඇඳුම් තියෙද්දී මෙතරම් අපහසු ඇඳුම් අඳින්නේ කුමකටද කියා අපටද සිතුන වාර අනන්තය. සාරිය අපහසු ඇඳුමක් බවම බලධාරීන් තේරුම්ගත් බව සිතුණේ පහසු ඇඳුමක් ඇඳ රැකියාවට එන්නැයි රජයේ නිලධාරිනියන්ට කියූ පසුය. කොහොම වුණත් කොරෝනා රජයේ සේවිකාවන්ට නම් පහසුවක් කළේය. එහෙත් කොරෝනා සාමන්‍ය වෙද්දී, රට සාමාන්‍ය වෙද්දී රාජ්‍ය සේවයත් සාමාන්‍ය වනු ඇත. ඒ සාමාන්‍යකරණය යටතේ බහුතරයක් රාජ්‍ය සේවිකාවන්ගේ හිත ගැහෙන්නේ යාර හයේ පටලැවිල්ල මතක් වෙද්දීය.
රාජ්‍ය සේවිකාවන්ගේ සාරි ගැළවේයැයි බියෙන් පසුවන පිරිසක් ද ඒ අතරම ඇත. කොරෝනා රාජ්‍ය සේවිකාවන්ගේ සාරි ගැළවීමත් සමඟ ඔවුන්ගේ හැඳි වස්ත්‍රද ගැළවී ගියේ අඟහිඟකම් නිසාය. ඒ රජයේ සේවිකාවන් සඳහා සාරි අලෙවි කරන, සාරි නිර්මාණය කරන ව්‍යාපාරිකයන්ය. වසර එකහමාරක් තිස්සේ ඔවුන් බලා සිටින්නේ රාජ්‍ය සේවිකාවන් සාමාන්‍ය පරිදි සාරි ඔසරි අඳිනතුරුය.
හිමේෂා සවන්තී රාජපක්ෂ