විශේෂාංග

ඉස්කෝලෙ හාමිනේලගේ සාරි හුටපට අවුරුදු හැටකට කලිනුත් තිබිලා

ඉස්කෝලේ හාමිනේලා ඉඟ පේන්න සාරිය හෝ ඔසරිය ඇඳගෙන ඉස්කෝලෙට යෑම තහනම් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇත්තේය.”

සමහර පාසල් ගුරුවරියන් විකාර විදියට ඇඳ පැළඳීම ගුරු වෘත්තියට මදිකමක් පමණක් නොව එයින් අන්‍යයයන්ගේ කාමුක හැඟුම් ඇවිස්සීමටද ඉඩ තිබේයැයි අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති පැමිණිලිවල සඳහන් වේ.

ඔබ ඉහතින් කියවන ලද්දේ මෙයින් වසර හැටකට පෙර, ලේක්හවුස් ආයතනය මගින් ප්‍රකාශිත ‘සිළුමිණ’ පුවත්පතේ පළව තිබූ ප්‍රධාන සිරස්තලයයි. හරියටම දිනය කිවහොත් ඒ 1962 වසරේ මැයි 27 දාය. එම පුවත්පත මුද්‍රණය වී තිබුණේ අළුයම් මුද්‍රණයක් ලෙසිනි. පුවත්පතක මුද්‍රණ කිහිපයක් එන්නේ නම් ඒ විශේෂ ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති තොරතුරක් රටට දැනුම්දීමට ඇති විටය. එසේ ගත්කල එකල මෙම ප්‍රවෘත්තිය විශේෂ එකකි.

අද ඇතැම් ගුරුවරියන් ඉල්ලන්නේ සාරිය වෙනුවට වෙනත් සරල ඇඳුමක් ඇඳ පාසලට එන්නට අවසර ලබාදෙන ලෙස වුවත්, මේ කියන කාලයේ ගුරුවරියන්ට තිබී ඇත්තේ සාරිය ඇන්දද අඟපසඟ වැඩිපුර ප්‍රදර්ශනය වීමේ ගැටලුවකි. එක්දහස් අටසිය ගණන්වල සිට ගුරුවරියන් ඇන්දේ සාරියය. ගමේ පාසලට ගියේ ගමේම ගුරුවර ගුරවරියන්ය. විශේෂයෙන් ගුරුවරියන් සිටියේද අතලොස්සකි. ඔවුන්ද වැඩිහිටි වයසේ පසුවූ අතර, ගුරු විද්‍යාල පටන්ගෙන තරුණ ගුරුවරියන් වැඩිපුර සේවයට බඳවාගැනීම සිදුවූයේ පනස්හයෙන් පසුය.

මෙසේ බඳවාගන්නා ලද තරුණ ගුරුවරියන්ගෙනුත් ඉතාම අතලොස්සක් මෝස්තර කරන්නට කැමැත්තක් දැක්වූ අයය. බටර්නයිලෝන්, නයිලෙක්ස් හෝ වොයිල් සාරිය, අත් බෝරිච්චි දිගු හැට්ටය වෙනුවට අත් රහිත හැට්ටයකට සාරි, ඔසරි හැඳීමත්, නාභියටත් පහලින් අඟලක් දෙකක් ප්‍රදර්ශනය වීම පාසලේ සිටි ජ්‍යේෂ්ඨ සිසුන්ගේ වාගේම තරුණ ගුරුවරුන්ගේ සිල් බිඳෙන තත්ත්වයකැයි එකල වැඩිහිටියෝ සලකන්නට ඇත. ඒ වාගේම එවන් කට කැඩුණු උපහාස හෝ අපහාස කතාවන්ට ගුරුවරියන් ඉලක්ක වී ගුරු ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් විය හැකි බවටද උපකල්පනයක් තිබිණි.

විශේෂයෙන්ම එකල පාසල්වලට පත්ව ආ තරුණ ගුරුවරියන්ට වඩා වයසින් වැඩි සිසුන් ජ්‍යේෂ්ඨ පන්තිවල ඉගෙනගනිමින් උන්හ. ඒ ඇතැම් සිසුන් එකම පන්තියේ වසර දෙක තුන සිටියේ ඉගෙනුම් දුර්වලතා නිසා වසරින් වසර ෆේල් වෙමිනි. විටෙක ඔවුන් දඩබ්බර ගති ඇත්තන්ය. ගුරුවරියන්ටද ඉඟිබිඟි පානා සිසුන් ඒ අතර සිටියෝය. ඒ අල්ලපනල්ලේ ඇතැම් ගුරුවරියන් නාභිය හා සිරුරේ අනෙක් අඟපසඟ ප්‍රදර්ශනය කරමින් පාසලට ඒම ඉබ්බා දියට දමන්නදැයි ඇසුවිට ඇන්නෑවේ කියන තරමේ කාරණයක් ලෙස තරුණ සිසුන් සැලකූහ.

අනෙක් අතට හින්දි හෝ දෙමළ චිත්‍රපට නරඹා ඇතැම් ගුරුවරියන් සාරි ඇඳීමේ පිළිවෙල වෙනස් කළ බව කියැවිණි. මෙය ගම්බදට වඩා නගරබද පාසල් ආශ්‍රිතව සිදුවූ අතර විදුහල්පතිවරුන්ට නොඑසේනම් එකල සිටි ලොකු ඉස්කෝලේ මහත්තයාටද එය ගැටලුවක් විය. ඔහු ඒ ගැන කලාප කාර්යාලයට පැමිණිලි කරද්දී, කලාප කාර්යාලය ඒ ගැන අමාත්‍යංශයට පැමිණිලිකොට තිබේ. එය ප්‍රවෘත්තියක් වී පත්තරේට එන්නේ එහෙමය.

මට ඔය ප්‍රවෘත්තිය ගැන හරිහැටි මතක නැතත් ඔය කියන කාලේ සිදුවීම් ගැන මතකයක් මට තියෙනවා. එතකොට මම ගුරුකමට ඇවිත් නැහැ. මමත් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයෙක්. ඒ කාලේ ගුරුවරුන්ට සුදු ඇඳුම අඳින්න නියමිතව තිබුණා. සරම ඇඳලා, කෝට් එක ඇඳලා, ටයි එකක් දාලා සමහර ගුරුවරු, විදුහල්පතිවරු පාසලට ආවා. රෙද්ද බැනියම වගේම කලිසම් කමිස ඇඳලා පාසලට ආව ගුරුවරු හිටියා. ගුරුවරියෝ අපිට මතක කාලේ ඉඳලම ඇන්දේ සාරිය. එහෙමත් නැත්නම් ඔසරිය. පාරකතොටක ගියත් එය ගෞරවනීය සංකේතයක් වගෙයි හැමදෙනාම සැලකුවේ. එක්කෙනෙක් දෙන්නෙක් ඔය අතරේ විලාසිතාවන්ට කැමති අය ඉන්නවා. සමහර වෙලාවට බයිස්කෝප් එකක්, චිත්‍රපටයක් බලලා ඒකේ නිළිය ඇඳපු විදියට සාරිය ඇඳලා කොණ්ඩෙට කටු ගහලා ඉස්කෝලෙට එනවා. ඒ ආවහම වැඩිහිටි ගුරුවරියෝ දොස් කියන අවස්ථා තියෙනවා. කොල්ලෝ කුරුට්ටෝ විහිළු කරනවා. විදුහල්පතිවරුන්ට සමහර වෙලාවට ගුරුවරියම ගිහින් පැමිණිලි කරනවා.

ඒ ලංකා ගුරු සංගමයේ ආරම්භක ලේකම් ඩබ්ලිව්.ඕ.විතාන මහතායි. අද ඔහු විශ්‍රාම සුවයෙන් පසුවූවත් හතළිස් වසරක ගුරු දිවිය තුළ විවිධ අත්දැකීම් ඇත්තේය. ඔහු කලක් විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ අතර, විශ්‍රාම ලැබුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙසිනි. වෘත්තීය සමිති සාමාජිකයෙකු ලෙසද ඔහු කලක් කටයුතු කළේය. ඒ අනුව ඔහු සඳහන් කළේ ගුරුවරියගේ සාරිය විවිධ හේතු දක්වමින් වර්තමානයට දැරිය නොහැකි කාරණයක් ලෙස හුවා දැක්වුවත් ඊට එකඟතාව දක්වන්නේ ගුරුවරියන්ගෙන් ඉතාම අතලොස්සක් බවය.

අද සාරි ගන්න වැටුප මදියි කිව්වට මට මතකයි 1960 වෙනකොට ගුරු වැටුප රුපියල් එකසිය පනහක්. සහතිකලත් හා සහතික නොලත් ගුරුවරු හැටියට කාණ්ඩ දෙකක් ඒ කාලේ හිටියා. පස්සේ උපාධිධාරී ගුරුවරුන්ට වැටුප් වැඩි කළා. ඒ රුපියල් සීයකින් වගේ. හැබැයි ඒ කාලේ රුපියල් එකසිය පනහක් කියන්නේ ලොකු මුදලක්. සාරි මිලදීගන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ගුරුවරයෙක් නවාතැනක නැවතිලා සේවයට ගියානම් මාසෙට කෑමටයි, ඉන්නයි ගියේ රුපියල් තිහක වගේ මුදලක්. අද කියලා ගුරුවරුන්ට තියෙන සාරි ටික පිළිවෙලට අඳින එක ප්‍රශ්නයක් නෙවෙයි. මම හිතන්නේ ගුරු සංගම් ලේකම්වරයෙකු පළමු වතාවට තමයි ගුරුවරියන්ට සාරි එපා කියලා කිව්වේ.

හැට ගණන්වල අධ්‍යාපන අමාත්‍යංශයට තිබුණු ගැටලුවම සාරිය වෙනුවට වෙනත් ඇඳුමක් ඉල්ලන ගුරුවරියන්ටද ඇති බව පෙනේ. පසුගියදා වෙනත් ඇඳුමකින් පාසලට ගිය ගුරුවරියක් සාරිය එපාවීමට එක් කාරණයක් ලෙස දක්වා තිබුණේද කොච්චර බඩ වැහෙන්න සාරිය ඇන්දත් කළුලෑල්ලේ අකුරු ලියද්දී බඩ පේන්නට ගන්නා බවය. එසේනම් සාරිය ඇඳීම ගුරු ගෞරවයට හේතුවක් විය හැකි දැයි ඕ ප්‍රශ්න කර තිබිණි.

“1963 අවුරුද්දේ තමයි මම ගුරුවරියක් විදියට සේවයට බැඳුනේ. දැන් මගේ වයස අවුරුදු අසූහයක්. අපිට අපේ වැඩිහිටියෝ සාරිය අඳින්න කියලා දීපු ක්‍රමයක් තිබුණා. පස්සේ ඉන්දියන් සාරි ලංකාවට ඇවිත් විවිධ මෝස්තර සාරි හැට්ට ඇන්දට ඉස්සර වැඩිපුර අපි ඇන්දේ වොයිල් සාරි. ඔය අතරේ මට කොළඹ ඉස්කෝලෙකට මාරුවක් ලැබුණා අනූ ගණන්වල. ඒ කාලේ වුණ සිද්ධියක් මතකයි. දවසක් විවේක කාලේ අඬාගෙන මගේ ගුරු යෙහෙළියක් කාමරේට ආවා. ලොකු පන්තිවල පිරිමි ළමයි එයාට මිස් බුරියානි කියලා. ඒකට හේතුව තමයි නාභිය පේන්න සාරිය ඇඳීම. පස්සෙ පස්සේ සාරි හැට්ටෙටත් විවිධ මෝස්තර ආවා. පිට ගැඹුරට කපලා මහලා. හැබැයි ඒ වගේ සිද්ධි එකක් දෙකක් හැරුණුකොට සමස්ත ගුරුවරියෝ සාරියට නම් හානියක් කළේ නැහැ.

ඒ වසර තිස්හතක් ගුරු සේවයේ නියැලි චන්ද්‍රා මීගම ලද සාරි ඇඳීමේ අත්දැකීම්වලින් බිඳකි. අදද පිට ගැඹුරට හාරා අඳින සාරි හැට්ටය නිසා ‘නාරාහේන්පිට මාරයි’, ‘පිට බැද්දර යන්නේ කවුද’ ආදී වැකි කොල්ලන්ගේ මුවින් පිටට නොපනින්නේ නොවේ. සාරිය නාභිය පෙනෙන්නට අඳින්නේනම් එවිට කියන්නේ ‘බුරියානි’ කියාය. පියයුරු ටිකක් හැඩට පෙනේනම් ‘ඒ මිස් අඹේවෙලින් ඇවිත්’ යැයි කියති. පියයුරු කුඩා කාන්තාවන් ‘මිස් තුනීලෑලි’ය. පස්ස ලොකුවට පෙනේනම් ‘ඒ මිස් වට්ටක්කා’ය. කොලුගැටයින්ගේ මෙවැනි ආතභූත කතා ගුරුවරියන්ට පමණක්ම සීමා වූ කතාද නොවේ. වෙනත් කාර්යාල සේවිකාවක් වුව මෙවන් කතා එකක්වත් අසා ඇතිවාටද සැක නැත.

ඉතින් එදා මෙදා කවදා වුවත් ගුරුකම ගෞරවාන්විත වෘත්තියක් ලෙස සැලකිනි. ඒ ගුරුකම් මහඟු ආදර්ශයන් මතු පරපුරටද වටිනාකම් එක්කරන්නේය. ඒ වටිනාකම් අකාමකා දැමීම වෘත්තිය සමිතියක හෝ කිසියම් කණ්ඩායමකට තරම් නොවටිනා බවට දැනටමත් අදහස් දරන්නන් බොහෝය.

දීපා වසන්ති එදිරිසිංහ