Latest News

ශිෂ්‍යත්වය සමත් සිසුන් 130,000කට ලැබෙන ශිෂ්‍යාධාරවල ප්‍රමාදයක්…

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් අඩු ආදායම්ලාභී සිසුන් එක් ලක්ෂ තිස්දහසකගේ ශිෂ්‍යාධාර දීමනාව ගෙවීම මාස හයකින් ප්‍රමාද වී තිබෙනවා.

සිසුන්ට එම දීමනාව අවසන් වරට ලැබී ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයේ දී ය. මේ සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම සඳහා උපදෙස් ද ලැබී නැතැයි මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයෙකු පවසා සිටියා.

අඩු ආදායම්ලාභී දරුවන්ට මාසිකව රුපියල් හත්සිය පනහ බැගින් ඔවුන්ගේ ගිණුම්වලට බැර කෙරෙන අතර ඒ වෙනුවෙන් මාසිකව රුපියල් නව කෝටි තිස් ලක්ෂයක් වැය කරනවා. දීමනාව ලබා දෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබෙන ප්‍රතිපාදන මතයි. එලෙස ලැබෙන ප්‍රතිපාදන අමාත්‍යාංශයෙන් කලාප කාර්යාලවලට යැවෙන අතර සිසුන්ගේ ගිණුම්වලට මුදල් බැර කෙරෙන්නේ කලාප කාර්යාල තුලිනුයි.

මේ වන විට ගෙවීම් ප්‍රමාද වී තිබෙන පසුගිය මැයි සහ ජුනි මාසවලට අදාළව දීමනා ගෙවීමට අමාත්‍යාංශයට මුදල් ලැබී තිබෙන බවත් එම මුදල් මෙම සතියේ දී ගෙවීමට කලාප කාර්යාලවලට යොමු කෙරෙන බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසූවේ, දීමනා ගෙවීම ප්‍රමාදයට හේතුව පවතින මූල්‍ය අර්බුධය බවයි.

මැයි මාසයට අදාළ දීමනාව ගෙවීමට මුදල් ලැබී ඇති නමුත් ජුනි මාසයේ දීමනාව ගෙවීමට අවශ්‍ය සම්පූර්ණ මුදල් ප්‍රමාණයම ලැබී නැතැයි මේ සම්බන්ධයෙන් කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් එහි නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.