විශේෂාංග

අපේ අම්මා මරන්න ගෙදර උල් පිහියක් තියනවානම් මට ගෙනැත් දෙන්න හතර වසරේ පුතෙක් මිතුරෙකුට කියයි

ශිෂ්‍යත්ව විභාගය ළංවනවිට දරුවන්ට වඩා වෙහෙසෙන්නේ අම්මලාය. ඒ නිසාම බොහෝ අය පහේ ශිෂ්‍යත්වය හඳුන්වන්නේ අම්මලාගේ විභාගය යනුවෙනි. එම තරඟකාරීත්වය තුළ අධිවේගයෙන් දුවන අම්මලාට දරුවන්ගේ මානසික පීඩනය හඳුනාගැනීමට නිස්කාංසුවක් නැත. මේ කතාව ශිෂ්‍යත්ව විභාගය නිසා තමන්ව අසීමිතව වෙහෙසට පත්කළ තම මව ඝාතනය කිරීමට රහසින් සැලසුම් කළ දරුවෙකු ගැනයි. එවැනි දරුවන් සිටින මව්පියන්ට මේ ගැන අවබෝධයක් ලබාදීමට මෙම සත්‍ය කතාව උපකාර වනු ඇති බව අපේ විශ්වාසයයි.

(නම් ගම් පමණක් මනඃකල්පිතයි)

සරතුත් නිමාලිත් මැදි වයසේ පසුවන අඹුසැමි යුවළකි. ඔවුන් දෙදෙනා හැරුණුකොට නිවසේ ජීවත්වූයේ ඔවුන්ගේ වයස අවුරුදු 8ත් 12ත් අතර පසුවන නිර්වාන් සහ අනුත්තර යන පුතුන් දෙදෙනාත්, නිමාලිගේ මව වූ ආරියවතීත් පමණි. නිමාලි රැකියාවක් නොකළ අතර සරත් සේවය කළේ ඉතාලියේය. සරත් විදෙස්ගත වී සිටි නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බලා කටයුතු කිරීමට සිදුවූයේ නිමාලිටය. එනිසාම නිර්වාන්ගේත් අනුත්තරගේත් විභාගවලට, පාසලේ වැඩකටයුතුවලට සහ අමතර පන්තිවල අධ්‍යාපන කටයුතුවලටත් ඔවුන් දෙදෙනාට වඩා වෙහෙසුණේ උනන්දු වූයේ නිමාලිය. නිදි වරාගෙන ඔවුන්ට පාඩම් කිරීමට කෙටිසටහන් සැකසු​වේ නිමාලිය.

එතැනින් නොනැවතී නිර්වාන්ටත් අනුත්තරටත් ඇසෙන්නට ලියූ කෙටිසටහන් කියෙව්වේත් නිමාලිමය. නිර්වාන් නම් ඒ වනවිටත් ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වී කොළඹ ජනප්‍රිය පාසලකට ඇතුළත් වී සිටි අතර අනුත්තර ඉගෙනුම ලබමින් සිටියේ ගමේ පාසලේ හතරවන ශ්‍රේණියේය. එනිසාම ඒ වනවිට නිමාලිට තිබූ ලොකුම බලාපොරොත්තුව අනුත්තරවද ඉහළින්ම ශිෂ්‍යත්වය සමත් කරවාගෙන කෙසේ හෝ නිර්වාන්ගේම පාසලට ඇතුළත් කරගැනීමය.

ඒ වෙනුවෙන් ඇය උදේ රෑ නොබලා වෙහෙසුණාය. අනුත්තරට පාසල් අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් නොවන බව නිමාලිගේ මතය විය. ඒ නිසාම පාසලට, අමතර පන්තිවලට අමතරව ගුරුවරු ගුරුවරියන් නිවසටත් ගෙන්වා ඉගැන්වීමට නිමාලි කටයුතු කළාය.

“අනුත්තර පේනවා නේද අයියා හොඳට ශිෂ්‍යත්වෙ පාස්වෙලා දැන් ලොකු ඉස්කෝලෙකට යන හැටි. ඔයත් ශිෂ්‍යත්වේ හොඳටම පාස්වෙන්න ඕන. එතකොට තමයි අයියා යන ඉස්කෝලෙටම යන්න පුළුවන් වෙන්නේ.”

නිමාලි අනුත්තරව දකින වාරයක් පාසා නිතරම ඒ වචන ටික මන්තරයක් මෙන් කියෙව්වේ ඔහුව තව තවත් උනන්දු කරවීමට සිතාගෙන විය යුතුය. ඒ වෙලාවට අනුත්තර හිස වනමින් එය අනුමත කළේ තමන්ට නිදහසේ හුස්මක්වත් ගැනීමට නොදෙන මව ගැන උපන් තරහත් සමඟය. අනුත්තරට පොඩි හෝ නිදහසක් තිබුණා නම් ශිෂ්‍යත්ව විභාගය ළංවෙද්දී නිමාලි විසින් එයද සීමා කළාය. විටෙක එය ඕනෑවට වැඩියැයි සිතූ ආරියවතී දරුවාට එතරම්ම කරදර නොකරන ලෙස නිමාලිට අවවාද කළාය. එහෙත් නිමාලි එසේ කරන්නේ දරුවන්ගේම යහපත වෙනුවෙන් නිසා ඇතැම් අවස්ථාවල ආරියවතීද දැඩි ලෙස විරුද්ධ වෙන්නට ගියේ නැත.

ඒත් මේ සියල්ල සිදුවෙන අතරේ මවගේ බලපෑම හිසරදයක් වූ අනුත්තර පුංචිකමට වෙනත් සැලසුමක් ක්‍රියාත්මක කරන්නට මාන බැලුවේය.

“රවිඳු ඔයාලගේ ගෙදර හොඳට කැපෙන උල් පිහියක් තියෙනවනම් මට ගෙනත් දෙන්නකෝ… මං අද හෙටම අපේ අම්මව මරලා දාලා කොහොමහරි එයාගේ වදෙන් බේරිලා ගෙදරින් පැනලා යනවා.

අනුත්තරගේ මෙම හතරබීරි කතාවේ තේරුම වටහාගැනීමට රවිඳුට හැකියාවක් නොවුණද පුංචිකමට හෝ එහි කුමක්හරි භයානකකමක් ඇති බව වටහාගැනීමට ඔහුට අපහසු නොවීය. ඒ නිසා මේ ගැන ඉක්මනින්ම පන්තිභාර ගුරුතුමියව දැනුවත් කළ යුතු බව රවිඳු සිතුවේය.

“ටීචර් අනුත්තර මට කිව්වා අපේ ගෙදර හොඳට කැපෙන උල් පිහියක් තියෙනවා නම් ගෙනැත් දෙන්න කියලා එයාගේ අම්මව මරන්න. අනේ ටීචර් මට නම් ගොඩක් බයයි. මම කියන්නේ බොරු කියලා හිතනවානම් ටීචර් අනුත්තරගෙන්ම අහලා බලන්නකෝ.”

පන්තිභාර ගුරුතුමියට රවිඳු කියා සිටියේ තරමක තැතිගැනීමකිනි. රවිඳු කී කතාවෙන් බිරාන්ත වූ ගුරුතුමිය ඒ වෙලේම අනුත්තරව කැඳවා එහි ඇත්ත නැත්ත විමසීමට කටයුතු කළාය.

“ඇත්තද අනුත්තර මේ රවිඳු කියන්නේ ඔයා අම්මව මරන්න උල් පිහියක් ගෙනැත් දෙන්න කිව්වා කියලා?”

ඒ මොහොතේ මහහඬින් හඬන්නට ගත් අනුත්තර ගුරුතුමියට පවසා සිටියේ තමන්ට ශිෂ්‍යත්වය සමත්වන ලෙස පවසමින් අම්මා නිරන්තරව කරදර හිරිහැර කරන නිසාත්, අමතර පන්තිවලට යවා නිරන්තරයෙන්ම වෙහෙසට පත්කරන නිසාත් කෙසේ හෝ අම්මාව මරා එම කරදරවලින් නිදහස් වීමට සිතාගත් බවයි.

අනුත්තරගේ කතාවෙන් උතුර දකුණ මාරු වූ ගුරුතුමිය ඒ මොහොතේ වහාම පාසලට පැමිණෙන ලෙස ආරියවතීටත් නිමාලිටත් දැනුම් දුන්නාය. පසුව ගුරුවරිය කී සියලු කාරණාවලට සවන් දීගෙන සිටි ආරියවතී හඬමින් කියාසිටියේ නිමාලිගේ අනවශ්‍ය බලපෑම් සහ කරදර නිසා දරුවාට ඔය වින්නැහිය වන බව තමන් කලින්ම නිමාලිට පවසා තිබූ බවය.

“අනේ ටීචර් මට ඕන වුණේ මේ දරුවව කොහොමහරි ලොකු ඉස්කෝලෙකට යවලා උගන්නන්න. එහෙම නැතුව කොයි අම්මද දරුවන්ට නරකක් කරන්න හිතන්නේ? අනික හොඳට විභාග පාස්වෙලා හොඳ ඉස්කෝලෙකට යන එකේ වටිනාකම මෙයාලට අද නෙවෙයි තේරෙන්නේ. අනික ඉගෙනගත්තොත් මෙයාලට මිසක් අපිට ගෙනියන්නද ටීචර්?”

තම දරුවා තමන්ව මැරීමට සැලසුම් කිරීම දරාගැනීමට නොහැකිව වූ නිමාලි පන්තිභාර ගුරුතුමියට එසේ කීවේ හැඬුම් පාලනය කරගැනීමට පවා නොහැකිවය.

මව්පියන් එසේ සිතුවා‌ට දරුවන්ට එය දරාගත නොහැකි කායික සහ මානසික පීඩාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. තමන්ට යහළුවන් සමඟ කෙලි සෙල්ලම් කිරීමට නොදෙන, රූපවාහිනියක් නැරඹීමට, නිදාගැනීමට ඉඩක් නොදෙන දෙමාපියන්ව දරුවන්ට​ පෙනෙන්නට ගන්නේ ජම්මාන්තර වෛරක්කාරයින් ලෙසය. අනුත්තරගේ මේ කතාව ඊට හොඳම උදාහරණයකි.

පන්තිභාර ගුරුතුමිය විසින් ඒ මොහොතේ නිමාලිටත් අනුත්තරටත් හැකි පමණින් අවවාද කළාය. නමුත් තම දරුවා තමන්ව මරා දැමීමට සැලසුම් කිරීම නිමාලිට දරාගත නොහැකි විය. ඒ ගැන සිතමින් ඇය දිනෙන් දින කායිකවත් මානසිකවත් දුර්වල වීමට පටන්ගත්තාය. නිමාලිව යථා තත්ත්වයට ගැනීමට ආරියවතී නොකළ දෙයක් නැත. එහි එක් පියවරක් ලෙසයි ඇය මුණුබුරාවත් දියණියවත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය වෙත කැඳවාගෙන ගියේ.

එතැන් සිට නිමාලිවත් අනුත්තරවත් යහපත් අතට ගැනීමට කටයුතු කළ ආකාරය ගැන අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහකාර උපදේශන නිලධාරිනී භාග්‍යා අබේසිංහ මෙසේ කියා සිටියාය.

“අනුත්තරත් නිමාලිත් මේ වගේ ප්‍රශ්නෙකට අපි ළඟට ආපු එක අම්මෙකුයි පුතෙකුයි වුණාට මේ වගේ මානසික පීඩනය දරාගන්න බැරුව අම්මලාව තාත්තලාව මරන්න හිතන, තමන්ටම මැරෙන්නත් හිතෙන දරුවෝ ඕනතරම් අද රටේ ඉන්නවා. මුලින්ම මම අම්මලාට කියන්නේ ශිෂ්‍යත්ව අසමත් වුණා කියලා ඒ දරුවා මෝඩයෙක් වෙන්නේ නෑ. ඒ දරුවාගේ ජීවිතයම අසමත් වෙන්නේ නෑ. ශිෂ්‍යත්වය කියන්නේ පුංචි දරුවෙකුගේ දැනුම පරීක්ෂා කර බලන්න පවත්වන සාමාන්‍ය විභාගයක් මිසක් ජනප්‍රිය පාසල් ගන්න ගෙනාපු අධ්‍යාපන වැඩපිළිවෙලක් නෙවෙයි. ඒක එහෙම වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන තරඟකාරීත්වය නිසා. අනිත් එක තමයි එකම පවුලේ දරුවන් දෙතුන් දෙනෙක් හිටියොත් ඒ හැමෝම එකම විදිය නෑ. අයියා අක්කා විභාග ඉහළින්ම සමත් කියලා මල්ලි නංගිටත් ඒ විදියටම කරන්න කියලා වදදෙන එක ඇත්තටම වැරදියි. එතකොට ඒ දරුවා අම්මලා තාත්තාලා ගැන විතරක් නෙවෙයි තමන්ගේ සහෝදර සහෝදරියන් ගැනත් වෛර බැඳගන්නවා. මේ අනුත්තර කියන දරුවාත් එක්කත් මම තනියම කතා කරද්දි ඒ දරුවා මට කිව්වේ ‘නැන්දේ මට මේ ලෝකේ ඉන්න ලොකුම තරහකාරයා අපේ අයියා’ කියලා. මම හේතුව ඇහුවම කිව්වේ ‘අම්මා තාත්තා හැමදාම කිව්වේ මට අයියා වගේ විභාග පාස් කරන්න කියලා. අයියා වගේම වෙන්න කියලා. මං කැමති කිසිම දෙයක් කරන්න මට ඉඩ දුන්නේ නෑ’ කියලා.

මේ වෙනකොට අපේ උපදේශන සේවාවලින් මේ දරුවවයි අම්මවයි යහපත් අතට පත්කරලා තියෙනවා. නමුත් මෙතැනදි මං දෙමව්පියන්ට කියන්නේ දරුවන්ව විභාග පාස් කරවලා හොඳම දේ දෙන්න දෙමව්පියෝ විදියට අපි කවුරුත් කැමති වුණාට එතැනදි කටයුතු කරන්න ඕන දරුවගෙ පැත්තෙනුත් හොඳට හිතලා බලලා. අධ්‍යාපන කටයුතුවලට යොමු කරනවා වගේම ඒ අයට නිදහසේ ඉන්නත්, යාළුවෝ ආශ්‍රය කරන්නත්, එයාලා කැමති දේවල් කරන්නත් වැඩිහිටියෝ විදියට අපි වෙලාව දෙන්න ඕනේ. නැත්නම් අවසානෙදි වෙන්නේ කාලයක් යනකොට දරුවන්ට අධ්‍යාපනයයි දෙමව්පියන්වයි එපාවෙලා එයාලා හිතුවක්කාර ගමනක් යනවා.”

ලිහිණි මධුෂිකා