ක්‍රීඩා උපදේශකවරයා පාසල් සිසුවාගේ අත කැඩෙන්න පහර දෙයි
ගොඩකවෙල රාහුල විදුහලේ ක්‍රීඩා උපදේශකවරයකු විසින් එම විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකුගේ වම් අතට පොල්ලකින් කළ පහරදීමක් හේතුවෙන් අස්ථියක් බිඳී දින තුනක් රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එරංග රුක්ෂාන් මධුෂංඛ නැමති සිසුවායි.
මෙහිදී පහරකෑමට ලක්වූ සිසුවා සඳහන් කලේ, එම පාසලේ ඉකුත් 16 වනදා පැවති බැති ගී වැඩසටහනකින් පසු එම වැඩසටහන පැවති ස්ථානයේ තිබූ පුටුත් රැගෙන පන්ති කාමර වෙත ගොස් ඉන්පසු වැසිකිළියට යමින් සිටි අතරතුර තමන් මෙම පහරකෑමට ලක්වූ බවයි.
පාසලේ වෙනත් සිසුන් පිරිසක් අදාළ ගුරුවරයාට හූ කියා දිවගොස් ඇති බවත්, එම සිසුන් පසුපස හඹා යමින් සිටි ගුරුවරයා තමාද ඉන් අයෙකු බව සිතා පහරදුන් බවත්, පහරකෑමෙන් පසු තමාට ක්ලාන්ත ගතියක් ඇතිවූ බවත් සිසුවා සඳහන් කළා.
අදාළ සිසුවාගේ පියා සඳහන් කලේ, තම දරුවා පහරකෑමට ලක්ව ඇත්තේ එදින පෙරවරු 10.30ට පමණ බවත්, පාසලෙන් පස්වරු 1.30 පමණ වන තුරුත් දරුවා රෝහල්ගත කර නොමැති බවයි.
දරුවාගේ අතේ වේදනාවේ අඩුවක් නොමැති නිසා දරුවා රෝහල් ගත කිරීමට සිදුවූ බව ද ඔහු සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් පසුගිය (19) වනදා ගොඩකවෙල පොලීසියේ පැමිණිල්ලක් ද කර ඇතත් ඒ සම්බන්ධයෙන් දින 8ක් වනතුරුත් කිසිඳු පියවරක් නොගත් බව ද දරුවාගේ පියා සඳහන් කරනු ලැබුවා.
කෙසේවෙතත් අදාළ ක්‍රීඩා උපදේශකවරයා නීතීඥවරයකු සමග ඊයේ (23) දිනයේ පොලීසියට භාර වූ බවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.