Latest News

බාලවයස්කාර දැරියක් දුෂණය කළ තරුණයෙකු උපාය දූතිකාවක් මාර්ගයෙන් අත්අඩංගුවට

වේයන්ගොඩ මිකාඩෝවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අපහරණය කර දූෂණය කිරීමේ චෝදනාව මත සැකකරුවෙකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

මුහුණු පොත ඔස්සේ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමෙන් අනතුරුව දින දෙකක් ගත වීමට මත්තෙන් මෙම බාලවයස්කාර දැරිය සැකකාර තරුණයා සමග පැනගොස් ඇතැයි පොලිස් විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන මගින් හෙළිව ඇත්තේ, අදාළ බාලවයස්කාර දැරිය සහ තරුණයා එදින රැය පහන් වන තුරු ම පානදුර ප්‍රදේශයේ වැටකෙයියා පඳුරක් තුළ කාලය ගත කර ඇති බවයි.

දියණිය අතුරුදන් ව ඇති බවට ඇගේ මව විසින් වේයන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබූ අතර, දින දෙකකට පසු දැරිය නැවතත් නිවසට පැමිණ තිබෙනවා.

අනතුරුව තරුණයාගේ දුරකථන අංකය සහ මුහුණු පොතේ විස්තර ලබාගෙන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වේයන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා උප පොලිස් පරීක්ෂිකාවක් පොලිස් උපාය දූතිකාවක් ලෙස යොදවා තිබෙනවා.

එම උපාය දුතිකාව විසින් සැකකරුගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඉතා සූක්ෂම අයුරින් ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට සමත් වී ඇති අතර, ඒ අනුව දින තුනක් පෙම්වතුන් ලෙස දුරකථනයෙන් කතාබහ කිරීමෙන් අනතුරුව දෙදෙනා ගම්පහ බස් නැවතුම්පොළේ දී හමුවීමට කථිකා කර ගෙන තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ වේයන්ගොඩ පොලිසිය , සැකකරු ගම්පහ බස් නැවතුම්පොළේ දී ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.