Latest News

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා පොලිස් අත්අඩංගුවට

වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කොට දින පහක කාලයක් සැගවී සිටි ගුරුවරයෙකු අද (15) උදෑසන නීතීඥ වරයෙකු මාර්ගයෙන් පැමිණ වේයන්ගොඩ පොලීසියට භාර වී තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තාක්ෂණ විෂය හදාරන දරුවෙකුට පසුගිය 10 වනදා එම පාසැල තුළ දී අදාළ ගුරුවරයා විසින් ඉතා අමානුෂික ලෙස ප්ලාස්ටික් බටයකින් පහරදී තුවාල සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධව ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වේයන්ගොඩ පොලීසිය ඔහු සොයමින් පරීක්ෂණ පවත්වා ගෙන ගිය නමුත් ඔහු පදිංචිව සිටි නිවසින් පැන ගොස් තිබු හෙයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණා.

කෙසේවෙතත් අදාළ ගුරුවරයා , නීතීඥ වරයෙකු මාර්ගයෙන් පොලීසියට පැමිණ භාර වූ බව වේයන්ගොඩ පොලිසිය සඳහන් කළා.

පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.