විශේෂාංග

ළමා සාරියෙන් සුදු ගවුමට මාරු වෙන්න කිව්වොත් මට විදුහල්පතිකම තියලා ගෙදර යන්න වෙයි

ඒ පසුගිය ඔක්තෝබර් 26 වැනිදාය. රාජකාරී කටයුත්තක් වෙනුවෙන් මා අනුරාධපුරට යමින් සිටියේ කැකිරාව මාර්ගයෙනි. කුකුළාත් අතින් ගෙන මීදුම් සළුවත් කපාගෙන යද්දී බැලූ බැල්මට පෙනෙන්නට තිබුණේ පහුගිය ටිකේ කොළඹට වැහැපු වැස්සෙන් අඩක්වත් මේ ඉසව්වට නම් වැටී නැති බවය. ඒ වගක් මා නිච්චියටම දැනගත්තේ පාර දෙපස වූ කුඹුරුයායෙනි.

ගැමි සුන්දරත්වයෙන් අඩුවක් නැතිව මා ගිය මාවතේ ඊළඟට මා ඉදිරියේ මැවුනේ තවත් හිත පිනා යන දසුනකි. ඒ සුදට සුදේ ළමා සාරියකුත් ඇඳගෙන නෙළුම් මල් වට්ටියක්ද ඇතැතිව සිනාමුසු මුහුණින් එන අවුරුදු දොළහක දහතුනක වයසේ දැරියකි. යන ගමන පසෙකට දා වාහනය නවතා මොහොතක් බලා ඉන්නට තරම් ඒ දසුන ඇහැට ප්‍රියංකරය. ඒ කොළඹ අහස යට ගෙවන දිවියට එවැනි දසුන් බොහොම විරල නිසාය.

තවත් ටික දුරක් යද්දී යළිත් ළමා සාරියෙන් සැරසුණු එවැනිම ගැහැනු ළමයින් රොත්තක් මතුවිය. ටිකෙන් ටික ඉදිරියට යද්දී ඒ දසුන ඇහැට හුරු විය. එහෙත් එදින බදාදාවක් වූ නිසා ඔවුන්ගේ ඇඳුම මට තරමක ප්‍රහේලිකාවක් වූ බව කිවමනාය. මන්ද ගැහැනු දරුවන් රංචු පිටින් ළමා සාරි ඇඳගෙන යනු අප දැක ඇත්තේ ඉරිදාවේ දහම්පාසලටය.

මේ පැත්තේ දහම් පාසල් තියෙන්නේ බදාදටද?”

ළමා සාරිය ඇඳ යන තවත් ගෑනු දැරියන් කිහිපදෙනෙකු පෙන්වමින් මා පාර අයිනේ සිටි මැදි වයසේ කාන්තාවකගෙන් ඇසුවේ මතු වූ ගැටලුව ලිහාගන්නටයි. එහෙත් ඇය සිනාසී දුන් පිළිතුරෙන් මගේ කුහුල තවත් වැඩිවුණා මිස අඩුවුණේ නම් නැත.

ඔය කැකිරාව සෙන්ට්‍රල් කොලේජ් එකේ ගෑනු ළමයි. එයාලා ඉස්කෝලේ යන්නේ ළමා සාරිය ඇඳගෙන.”

යන ගමන පැත්තකට දමා හෝ මට හිතුණේම මෙකී පාසලට ගොඩවෙන්නටය. වෙලාව උදේ හත හමාරටත් කිට්ටුය. මා යන්න ආ ගමනට වැඩිපුරත් වෙලාව ඇති නිසා වාහනය හැරවූ මා ළමා සාරිය ඇඳි දැරියක් පසුපසින් වැටුණේ ඇයටත් නොදැනෙන්නටය. එලෙසින් මීටර් සීයක් දෙසීයක් විතර යන්නට ඇත. මගේ ඉදිරියෙන් දිස්වූයේ ඒ අපූරු පාසලය. ඒ කැකිරාව මධ්‍ය විද්‍යාලයයි.

මේ පාසල මීට අවුරුදු අසූනවයකට කලින් මුලින්ම පටන් අරන් තියෙන්නේ බස්තියන් සිල්වා මැතිතුමා. එතුමා කැකිරාවට ලොකු සේවාවක් කරපු කෙනෙක්. එතුමා එදා හදපු පාසල තමයි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්තයා පස්සේ මධ්‍ය විද්‍යාල ආරම්භ කරද්දි උතුරුමැද පළාතේ පළවැනි මධ්‍ය විද්‍යාලය විදියට ආරම්භ කරලා තියෙන්නේ. මේ පාසල මධ්‍ය විද්‍යාලයක් විදියට ආරම්භ කරලා දැන් අවුරුදු 76ක් වෙනවා. 6 වසරේ ඉඳන් 13ට යනකල් පන්ති තියෙනවා. විද්‍යා, කලා, වාණිජ සහ තාක්ෂණ විෂයන් හැම එකක්ම වගේ මේ පාසලේ තියෙනවා. මේ වෙනකොට ගුරුවරු 140ක් වගේම දරුවෝ 3000ක් පාසලේ ඉන්නවා.”

සුහදව මා පිළිගනිමින් එසේ කතාවට වැටුණේ කැකිරාව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිය. ඒ මෛත්‍රී දේශප්‍රිය සෙනෙවිරත්නයි. ඔහු පාසලේ ඉතිහාසයේ සිටම කතාබහ ඇරඹුවත් හැමදේටම කලින් මට උවමනාව වූයේ ළමා සාරියේ ඉතිහාස කතාව දැනගන්නටය. එය ඉවෙන් මෙන් දැනගත් විදුහල්පතිතුමා වරක් සිනාසී කෙළින්ම පැමිණියේ එතැනටය.

එදා බස්තියන් සිල්වා මැතිතුමා මේ පාසල පටන්අරන් තියෙන්නේ බෞද්ධ විද්‍යාලයක් විදියට. ඉතින් මුලදි ගෑනු ළමයි ඇඳලා තියෙන්නේ ළමා සාරිය. කන්නන්ගර මහත්තයා ඒක මධ්‍ය විද්‍යාලයක් කළත් ඒ ළමයි ළමා සාරිය අත්හැරලා නෑ. ඔවුන් අදටත් පාසලේ අනන්‍යතාවයක් විදියට දහය වසරෙන් උඩ ගෑනු ළමයි ළමා සාරිය අඳිනවා.”

එසේනම් රජයෙන් සුදු ගවුම් මසන්නට කියා ගැහැනු දරුවන්ට වසර අවසානයේ දෙන ගවුම් රෙද්දෙන් ඔවුන් ළමා සාරි මහනවාවත්ද? ඒ මට මතුවුණු ඊළඟ ගැටලුවයි.

 අපේ පාසලේ ගෑනු ළමයින්ට රෙදි දෙන්නේ ළමා සාරිය මහන්නම තමයි. මං දන්න විදියට ලංකාවේ සමස්ත පාසල් අතරින් ළමා සාරියක් මහගන්න රජයෙන් රෙදි දෙන එකම පාසල අපේ පාසල විතරයි.”

සුදු ගවුමට වඩා ළමා සාරියට කොහොමත් ගෑනු ළමයි හැඩය. නිවුණු පාටය. සංවර පෙනුමය. මේ කතාබහ අතරවාරයේ පවා අප අසළින් එහෙට මෙහෙට යන ගැහැනු ළමයි දිහා බලද්දි ඒ බැව් මට හොඳින්ම පෙනුණි. ඔය අල්ල පනල්ලේම වොලිබෝලයක් අතින් ගත ගැහැනු දැරියක්ද මා අසළින් ගියාය. දැන් ඉතින් මට තවත් ප්‍රශ්නයකි. ඒ අධ්‍යාපන කටයුතුවලට කෙසේ වෙතත් ළමා සාරියටත් විෂය සමගාමී ක්‍රියාකාරකම්වලටත් එකට ගමනක් යා හැකිද යන්නයි.

ළමා සාරිය අධ්‍යාපනයට හෝ විෂය සාමගාමී දේවල්වලදි කිසිම බාධාවක් වෙලා නෑ. ඔබතුමා දන්නවද දන්නෑ මෙවර 2022 උතුරුමැද පළාත් කාන්තා ක්‍රිකට් ශූරතාවය ජයග්‍රහණය කළේ ළමා සාරිය අඳින අපේ පාසලේ ගෑනු ළමයි. එතැනින් ගියාම කණ්ඩායම් තරඟවලින් වැඩිම ජයග්‍රහණය වාර්තා කළේ ළමා සාරිය අඳින අපේ පාසලේ ගෑනු ළමයි. පසුගිය අවුරුද්දේ ශිෂ්‍ය භට පොලිස්පති කුසලතා කුසලාන තරඟාවලියෙන් ලංකාවෙන්ම පස්වැනි ස්ථානය ගත්තේ අපේ පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම. මේ ජයග්‍රහණයන් දැක්කම පැහැදිලියිනේ ගවුම් කීයක් පහුකරලද ළමා සාරිය ඇඳපු අපේ ගෑනු ළමයි මෙහෙම ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා.”

 

*කෙනෙක්ට හිතෙන්න පුළුවන් කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ගෑනු ළමයි ක්‍රීඩා කරන්නේ ළමා සාරිය පිටින් කියලා. ඒක චුට්ටක් පැහැදිලි කළොත්?

දැන් සුදු ගවුම අඳින පාසල්වල ළමයි ක්‍රීඩා කරද්දි එහෙම කවදාවත් සුදු ගවුම පිටින් ක්‍රීඩා කරන්නේ නෑනේ. අපේ දරුවොත් ඒ වගේ. ඒ ඒ වෙලාවට ඔවුන් ඊට සරිලන ඇඳුමක් අඳිනවා.”

කැකිරාව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසන පරිදි ළමා සාරිය ඇඳීම පාසලේ නීතියක් නොවේ. නමුත් දහය වසරෙන් උඩ සෑම ගැහැනු දරුවෙකුම ඒ අනන්‍යතාවයට ප්‍රිය කරන්නීය. එනිසා ඔවුන් ළමා සාරිය ඇඳ පාසල් පැමිණෙන්නේ ඉමහත් සතුටකින් බව ඔහුගේ විශ්වාසයයි.

ළමා සාරියට මේ ළමයි පුදුම කැමතියි. නිකන් හරි මං හෙට කිව්වොත් අපි ළමා සාරිය අයින් කරලා සුදු ගවුමට හැරෙමු කියලා මට පහුවදාම විදුහල්පතිකම දාලා යන්න වෙනවා. ඔබතුමා කිව්වට විශ්වාස නොකරයි ළමා සාරිය අඳින්න තියෙන ආසාවට මේ පාසලට ඇතුළත් වුණු ගෑනු දරුවොත් ඉන්නවා.”

මිශ්‍ර පාසලක් වෙන කැකිරාව මධ්‍ය විද්‍යාලය උතුරුමැද පළාතේ ඇති පාසල් අතරින් ප්‍රමුඛතම පාසලකි. මහ බැංකු අධිපතිවරු, මේජර් ජෙනරාල්වරු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරු, ජනාධිපති ලේකම්වරු, විශ්වවිද්‍යාල උපකුලපතිවරු, ආචාර්ය මහාචාර්යවරු පමණක් නොව මෙරට සෑම ක්ෂේත්‍රයකම පාහේ මුල් පුටුවල මෙකී පාසලෙන් අධ්‍යාපනය ලැබූ දරු දැරියන් රැසක්ම සිටිති.

ඒ විතරක්ම නෙවෙයි අපේ පාසලේ වසර ගණනක්ම සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිඵලය 100% යි. ඒ වගේම වසර ගණනක්ම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සමත් ප්‍රතිඵලය 100% යි. කලා අංශයෙන් දිස්ත්‍රික් මුල් ස්ථාන තුන ඇතුළුව උතුරුමැද පළාතේ ළමයි සීයට වැඩිය ඉන්න පාසල්වලින් මෙවර උසස්පෙළ සමත්වීමේ ප්‍රතිඵලයත් 100% යි. අනික තමයි උතුරුමැද පළාතේ විනය අතින් පළමු තැන ඉන්නෙත් අපේ පාසල. ඒකත් අභිමානයෙන් කියන්න ඕන.”

මෙවන් සුවිශේෂී පාසලක විදුහල්පතිකම දැරීමම එක්තරා අන්දමක වාසනාවකි. ඉතින් කතාබහ අවසානයේ මා විදුහල්පතිවරයාගෙන් ඒ ගැන අසද්දී ඔහු ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.

මගේ ගෙවල් තියෙන්නේ ගලෙන්බිඳුණුවැව. 2021 අවුරුද්දේ තමයි විදුහල්පති විදියට මේ පාසලට ආවේ. මේක ලංකාවේ තියෙන හරිම සුවිශේෂී පාසලක්. බෞද්ධ අනන්‍යතාව ඉහළින්ම රැකගත්ත පාසලක්. හැම අතින්ම මේ පාසල තියෙන්නේ ඉදිරියෙන්. ඉතින් මං හරිම සතුටින් හරිම ආඩම්බරෙන් තමයි මේ පාසලේ විදුහල්පතිකම දරන්නේ. ගුරු මණ්ඩලයත් මට උපරිම සහයෝගයක් දෙනවා.”

මගේ අනුරාධපුර ගමනේ මේ අහම්බයත් නරකම නැත. විදුහල්පතිතුමා හා කළ කතාබහට සමුදෙමින් මම නැවත එන්නට හැරුණෙමි. ඒ එන අතරවාරයෙත් බැලූ බැලූ අත දුටුවේ ළමා සාරියෙන් සැරසුණු දැරියන්ය. ඒ දසුන සැබවින්ම සුපසන්ය.

රුවන් එස්.සෙනවිරත්න