විශේෂාංග

පිටරට මාධ්‍යවේදිනියට සීගිරියේදී වල් අලියෙක් චීනකටු චිකිත්සාව කරලා

ඒ පසුගිය මාර්තු 28 වෙනිදා හවසය. සීගිරිය පොලිසියේ නිලධාරීන් දුර තියාම දුටු​වේ සුදු ජාතික කාන්තාවක් ඉක්මන් ගමනින් පොලිසිය වෙත දිව එන ආකාරයයි. මොකක් නමුත් කලබලකාරී යමක් සිදුව ඇති බව ඉවෙන් මෙන් වටහාගත් පොලිස් නිලධාරීන් ඇයව වහාම පැමිණිලි අංශය වෙත යොමු කළහ. ඒ අවස්ථාවේ ඇය මුලින්ම කළේ පොලිසියට තමා කවුද යන්න හඳුන්වාදීමයි.

‘‘සර්, මං ෆ්ලෝරා එලිනා ෆියර්. මගේ රට බෙල්ජියම. මං ලංකාවට ආවේ ලංකාව ගැන ලිපි කීපයක් ලියන්න.’’

බෙල්ජියම් ජාතික ෆ්ලෝරා 33 හැවිරිදි මාධ්‍යවේදිනියකි. විවිධ රටවල සංචාරය කරමින් ඒ ඒ රටවල් පිළිබඳ ගවේෂණාත්මක ලිපි ලිවීම ඇයට පැවරී තිබූ රාජකාරියයි. ඇය ලංකාවට ​ආවේද ඒ වෙනුවෙනි. එසේ පැමිණ ගාල්ල, මාතර වැනි මුහුදුබඩ ප්‍රදේශවල සංචාරය කළ ඈ පසුගිය 28 වෙනිදා සීගිරියට ආවේ එදින එහි නවාතැන් ගැනීමටයි.

එදින රාත්‍රී නවාතැන් ගැනීම සඳහා සුදුසු හෝටලයක් සොයද්දී ෆ්ලෝරාගේ හිත නතරවුණේ සීගිරිය පෙනෙන මානයේ ඇහැලගල පිහිටි එක්තරා හෝටලයක් ළඟය. ලංකාවේ ජාතික පක්ෂියාගේ නමින් කවුරුත් හඳුන්වන එම හෝටලයේ කාමරයක් වෙන්කරගන්නා ඇය එදා දහවල් කාලයේ ගොස් එහි නතර වී තිබේ.

දුටුවන් මන්මත් කරන විදියේ හැඩරුවක් තිබූ ෆ්ලෝරා දෙස එක්තරා පුද්ගලයෙකුගේ ඇස් දෙකක් කැරකෙන්නට පටන්ගත්තේ ඒ අතරතුරයි. ඒ වෙන කවුරුත් නොව හෝටලයේ හිමිකරුගේය. ඔහු ෆ්ලෝරා දපනේ දාගන්නට දන්න සෙල්ලම් සියල්ල දැම්මද ඒ එකක්වත් සාර්ථක වුණේ නැත. අනතුරුව ඔහු තම අරමුණ වෙනුවෙන් අතේ පත්තුවෙන බොරුවක් ගෙතුවේය.

එනම් තමා චීන කටු චිකිත්සාව කරන වෛද්‍යවරයෙකු බවත් ඒ හරහා විවිධාකාර ලෙඩරෝගවලට ප්‍රතිකාර කළ හැකි බවත් ෆ්ලෝරාට කීමයි. ෆ්ලෝරා ඒ කතාව විශ්වාස කළාය. විශ්වාස කර පමණක් නොඉඳ ඇය තමාගේ කොන්දේ අමාරුවක් ගැනද ඔහුට කීවාය. ඉබ්බා දියේ දැමූ පසු ඇන්නෑවේ කිව්වාක් මෙන් ගත්කටටම හෝටල් හිමිකරු පැවසුවේ ඊට තමා ළඟ ප්‍රතිකාර ක්‍රමයක් ඇති බවත් ඒ හරහා ක්ෂණිකව කොන්දේ අමාරුව නිට්ටාවටම සුවකළ හැකි බවත්ය. කතාවේ හොඳම හරිය ඇරඹෙන්නේ දැන්ය.

එතැන් පටන් හෝටල් හිමිකරු ෆ්ලෝරාගේ කොන්දේ අමාරුවට ප්‍රතිකාර කරන්නට පටන් ගත්තේය. නමුත් ඒ ඔහුටම ආවේණික අමුතු ක්‍රමයකටය. මුලින්ම ඔහු කරන්නේ ෆ්ලෝරාගේ ශරීරයේ විවිධ ස්ථාන අතපත ගාමින් තෙරපීමයි. පසුව ක්‍රමයෙන් ඒ අතපත ගෑම ෆ්ලෝරාගේ පියයුරු දක්වා ගියේය. තවත් මොහොතකින් ලිංගික ප්‍රදේශයටය. ඊළඟට සිදුවීමට නියමිත කොටස සමාජය ගැන හොඳින්ම දන්න කියනා ෆ්ලෝරාට ඕනෑවටත් වඩා පැහැදිලි වූ තැන ඇය වහා ඔහුට විරුද්ධ වෙමින් නැගී සිටියාය.

‘‘මං ඔය සිද්ධියෙන් පස්සේ ඒ හෝටලෙන් අයින්වෙලා ආවා. දැන් වෙන හෝටලේක ඉන්නේ. ඒ ඉන්න ගමන් තමයි මං පොලිසියට මේ ගැන පැමිණිලි කරන්න හිතුවේ.’’

ෆ්ලෝරා ඇගේ භාෂාවෙන් සීගිරිය පොලිසිය වෙත පැමිණිලි කළේ එසේය. ඒත් සමඟම ක්‍රියාත්මක වූ පොලිසිය එදිනම ඇයව අපහරණය කිරීමට උත්සාහ කළ අදාළ හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගත්තේය. ඔහු 49 හැවිරිදි රන්පටි දේවගේ ධම්මික විජේකුමාර නමැත්තෙකි.

‘‘ඇය බෙල්ජියමේ සිට ලංකාවට ඇවිත් තියෙන්නේ ලංකාව ගැන තොරතුරු එකතු කරලා ලිපි කීපයක් ලියන්න. ඒ විදිහට ඇය ගොඩාක් රටවල සංචාරය කළ බව දැනගන්නට ලැබුනා. පසුගිය මාර්තු 28 වෙනිදා ඇය සීගිරිය ඇහැලගල ප්‍රදේශයේ හෝටලයට ඇවිත් තියෙනවා නවාතැන් ගන්න. එහිදී තමයි අදාළ හෝටලයේ හිමිකරු ඇයට බොරු කතා ටිකක් කියලා ඇයව රවටලා ලිංගික අතවරයක් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. එදාම හවස ඇය ඒ ගැන සීගිරිය පොලිසියට පැමිණිලි කළා. ඒත් එක්කම ඒ සිද්ධිය පිළිබඳව අපි වැඩිදුර පරීක්ෂණ සිදුකළා. අපිට පුළුවන් වුණා ලේසියෙන්ම අදාළ සැකකරුව අත්අඩංගුවට ගන්න. පස්සේ සැකකරු පසුගිය මාර්තු 29 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කළා. එතැනදි ලබන අප්‍රේල් 11 වෙනිදා දක්වා ඔහුව රිමාන්ඩ් කරන්න ඔවුන් නියෝග කළා.’’

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී සීගිරිය පොලිස් ස්ථානාධිපති සී.අයි.කොබ්බෑකඩුව මහතා පවසා සිටියේ එවැන්නකි.

යළි බෙල්ජියමට යන ෆ්ලෝරා ඇතැම්විට ලංකාව ගැන ලියන්නට සිතා සිටි බොහෝ දේ නොලියනු ඇත. ලිවිල්ල කෙසේ වෙතත් දිවි ඇති තුරාවට ඇයට මේ සිදුවීම නිසා ලංකාව පිළිබඳ අමිහිරි මතකයන් ඉතිරි වනු ඇත. බොහෝදෙනා මේ දිනවල රටේ ආර්ථික පසුබෑම ගැන වගකිවයුත්තන්ට චෝදනා කරමින් සිටියි. නමුත් අපේ රටට ඩොලර් ගලා එන මාර්ගයේ ප්‍රමුඛතම සංධිස්ථානයක් වූ සංචාරක කර්මාන්තය කඩාවැටෙන්නට මෙයාකාර වූ නොහොබිනාකම්ද හේතු වෙන්නේ නම් රජයට දොස් කියා පලක් තියේවිද?

භාතිය වෙඩිවර්ධන