හැදුවොත් ඉඟුරු දෝසි කාටත් අත උඩින් වාසි
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
‘ඉඟුරු දෝසි බඩේ ගායට ගුණය’ කියලා තමයි ඇල්.ඇස්.ඊ.අමරරත්න මහත්තයගේ ‘කුමාරෝදය’ පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඔය කියන්නත් වගේ ඉඟුරු කියන්නේ බඩේ ගායට බොහොම හොඳ බේතක්. ආමාෂය සුවපත් කරන විශ්මකර්ම හැකියාවක් ඉඟුරුවලට තියෙනවය කියලයි ඒ කාලේ අත්තම්මලා කිව්වේ. සාමාන්‍ය බඩේ අමාරුවක් හැදුනත් මාසේ බඩේ අමාරුව හැදුනත් ඉඟුරු කෑල්ලක් තලලා කටේ දාගන්න කියලනේ උන්දැලෑ කියන්නේ.
ඉස්සර ගැබිනි අම්මලා උදැහැනැක්කේ වමනේ කරනකොට කතා නොකර පැණිවල ඔබාපු ඉඟුරු කෑල්ලක් කන්න කියලා ගම්වල වැඩිහිටි කාන්තාවෝ උපදෙස් දුන්නා. එහෙම කෑවහම ඒ අම්මලාගේ අප්පිරියාව නැතිවෙලා කෑම පිරිය වැඩිවෙනවලු. ඛේටය වගේම අනෙකුත් ජීර්ණ යුෂ වැඩි කරන්න පුළුවන් අරුම පුදුම බලේකුත් ඉඟුරුවල තියනවා. ඒ නිසා ඉඟුරු කෑවහම කුස තුළ වාතය එක්රැස්වීම එහෙමත් අවම වෙනවා.
ක්‍රිස්තු වර්ෂ 105දීත් ලංකාවේ මිනිස්සු ඉඟුරු වගා කළාය කියලා ටොලමිගේ පොත්පත්වල සඳහන්. හැබැයි මුලින්ම ඉඟුරු වගා කරලා තියෙන්නේ රෝම ජාතිකයෝ කියලයි ගොඩක් අය පිළිගන්නේ. රෝමයේ ප්‍රකට අධිරාජ්‍යයෙක් වෙච්චි නීරෝ ඔහුගේ හැම ආහාරවේලකටම ඉඟුරු එක්කරගත්තයි කියනවනේ. රෝමන්වරු වගේම චීන්නුත් ඉඟුරු කන්න උපන් හපන්නුලු. මේ අය ඉඟුරුවල නැවුම්බව නැතිවෙයි කියලා භාජනවල ඉඟුරු වගා කරලා දුර ගමන් යනකොට අරගෙන යනවලු.
ස්වයං රැකියා පිටුවෙන් අද අපි කතා කරන්නේ ඉඟුරුවලින් දෝසි හදන හැටි. ඉඟුරු දෝසි කිව්වහම ගොඩක් අයගේ ඔලුවට එන්නේ ඉඟුරු ටොෆී ගැන. හැබැයි පැණි දාලා අමු ඉඟුරෙන් හදන දෝසි තමයි හරිම දෝසි. ඉස්සර වන්දනා ගමන් යන උදවියගේ මලුවල අග්ගලා වගේම මේ ඉඟුරු දෝසිත් වරදින්නේ නැතිලු. මොකද කොයිවෙලාවේ බඩේ අමාරුවක් හැදෙයිද කවුද දන්නේ.
වැඩේ පටන්ගන්නත් කලින් මේක ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිදෝ කියලා හිත හිතා ඉන්නේ නැතිව අදම ඉඟුරු දෝසි ටිකක් හදලා බලන්න කියලයි අපි නම් කියන්නේ. අනික ඉඟුරුවලට ඒ හැටි මුදලක් වැය වෙන්නෙත් නැහැනේ.
හරි එහෙනම් මුලින්ම අපි අමු ඉඟුරු කිලෝ එකකින් වැඩේ කරලා බලමු. මේකට රට ඉඟුරු නැත්තම් චීන ඉඟුරු තෝරගන්න. මොකද දේශීය ඉඟුරු, දෝසිවලට ටිකක් සැර වැඩියි. ඉඟුරුවලට අමතරව සීනි 800g, වතුර 700ml සහ සෝඩියම් බෙන්සොඒට් 8gක් අවශ්‍ය වෙනවා (වෙළඳපොළෙන් මිලදී ගත හැක).
පියවර 1
මුලින්ම ඉඟුරුවල පොත්ත සූරලා පිරිසිදු කරගන්න. ඊටපස්සේ ඉඟුරුවලට ගෑරුප්පුවකින් ඇනලා පුංචි සිදුරු හදාගන්න. දැන් ඉඟුරු ටික වැහෙන්න වතුර දාලා පැය 10-12ක් වහලා තියන්න.
පියවර 2
දැන් වතුර ටික පෙරලා ආයෙත් වතුර ටිකක් එකතු කරලා ලිපේ තියන්න. වතුර නටන්න ගත්තු වෙලාවේ ඉඳලා විනාඩි දහයකින් ඉඟුරු ටික ලිපෙන් අයින් කරන්න. ටිකක් වෙලා තියලා ආයේ අලුත් වතුර ටිකක් එකතු කරලා ආයෙත් කලින් වගේම උතුරවා ගන්න.
පියවර 3
සීනියි, වතුර 700ml ටිකයි ලිපෙන් තියලා උණු කරන්න. සීනි දිය වුණාට පස්සේ ඉඟුරු එකතු කරලා සීනි ද්‍රාවණය උකු වෙනකල් පැයක් විතර ලිපේ තියන්න. ඒ අතරේ ඉඟුරු තැම්බිලාද කියලත් බලන්න. අවසාන වශයෙන් සෝඩියම් බෙන්සොඒට් එකතු කරලා ජීවානුහරණය කළ බෝතල්වල අසුරාගන්න.
මේ දවස්වල ඉඟුරු දෝසි 400gක් රුපියල් 600ක් වගේ මුදලකට අලෙවි වෙනවා. වැඩි විස්තරවලට වෙනදා වගේම 0714766819 මේ අංකයට කතා කරන්න.
සීතා පොන්නම්පෙරුම
ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා
සෙව්වන්දි හෙට්ටිආරච්චි