විශේෂාංග

හෙට සුබ වෙන්න අද අබවලින් වැඩක් පටන්ගන්න

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ධරණී හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

දීපංකර බුදුන්ගේ කාලේ උන්වහන්සේට දිනපතාම අබ තෙල් පූජා කරන සිටුවරයෙක් උන්නා. දවසක් මුළු නුවරම පීරලත් අබ තෙල් හොයාගන්න බැරිවුණු නිසා සිටුවරයා අබ තෙල් හොයන්න රජ මාලිගාව පැත්තට ගියාලු.

මාලිගාවේ ඉඨි කුමරිය කියලා පිනට දහමට ලැදි කුමාරියක් හිටියා. සිටුවරයා අබ තෙල් ඉල්ලූ හැටියේ මේ කුමරිය ඔහුට මාලිගාවෙන් අබ තෙල් ලබාදුන්නා. මේ තෙල් බුදුවරයෙක්ට බව දැනගනිපු ඉඨි කුමාරි ඇයටත් මතු බුදුවෙන්න අදහසක් තියෙනබව සිටුවරයාට කිව්වා.

ස්ත්‍රීත්වය බුද්ධත්වයට බාධාවක් බව අසා තියෙන බවයි සිටුවරයා එතකොට කුමාරිකාවට කිව්වේ. ඒ කතාව අහලා කම්පාවට පත්වෙච්චි කුමරිය ඒ මොහොතෙම අබ තෙල් වත්කරගෙන ශරීරයට ගිනි තියාගත්තලු.

මේ සිදුවීම දිවැසින් දැකපු දීපංකර බුදුන් ඍර්ධි බලයෙන් එවෙලේම එතැනට වැඩම කළාලු. උන්වහන්සේගේ ආනුභාවය නිසා ඉඨි කුමරියගේ සිරුරට ගිනි ඇවිලිලා නෑ. කුමරියගේ අතීත තතු ස්මරණය කළ බුදුන් එයින් මතු සොළොස් කල්ප ලක්ෂයක් ගිය තැන ඈ බුද්ධත්වයට පත්වෙන බව දේශනා කළා. ඉතින් කල්ප ලක්ෂයකට පසුව ඕ තොමෝ සිද්ධාර්ථ ගෞතම නමින් බුදුබව ලැබුවලු. බණ දේශනාවලදි අපිට අහන්න ලැබෙන මේ ඉඨි කුමාරි කතා වස්තුව ගෞතම බුදුන්ගේ එකම ස්ත්‍රී ආත්මභාවය කියලයි ඇතැම්දෙනා අනුමාන කරන්නේ.

දීපංකර බුදුන් වැඩ වසලා තියෙන්නේ මහා භද්‍ර කල්පයටත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයටත් කලියෙන්ලු. ඉතින් ඒ කාලේ ඉඳලම මිනිස්සු අබ භාවිතා කළා කියන්න ඔය කතාව උදාහරණයක්. දරුවා මැරිච්චි සොවින් එහෙ මෙහේ දුවාපු කිසාගෝතමීයගේ හිත හදන්න නොමළ ගෙයකින් අබ මිටක් හොයාගෙන එන්න කියලා ගෞතම බුදුනුත් වදාරා තියෙනවා.

බෞද්ධ දර්ශනයේ විතරක් නෙමෙයි ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් හැම දහමකම ශාස්තෘවරුන් යම් යම් දේ පැහැදිලි කරන්න ‘අබ ඇටය’ උපමාවට අරගෙන තියෙනවා.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලෝකයේ බහුලව වගා කරාපු භාවිතා කරාපු කුළුබඩු වර්ගය තමයි අබ. පුරාණ ශ්‍රීකයන් සහ රෝමවරු ආහාරයක් හැටියට වගේම ප්‍රධානම ඖෂධයක් හැටියටත් අබ පාවිච්චි කළාලු.

ආයුර්වේදයේ අබවලට කියන්නේ සිද්ධාර්ථ කියලා. ඔය ඕනම ගෙදරක තියෙන්න ඕනය කියන කියන සිද්ධාර්ථ තෛලයේ ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි අබ. මේ තෙල නිසා මැරෙන්න වැටිලා හිටපු ලෙඩ්ඩුන්ට පවා පණ ආවය කියලයි පැරැණ්ණෝ කියන්නේ.

පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කිව්වට ගම්මිරිස්වලටත් වඩා පොඩි අබ ඇටෙත් ගම්මිරිස් තරමට සැරයි. ගම්මිරිස්වල වගේම අබවලත් තීක්ෂණ ගුණය තියෙනවා. මුළු ශරීරයම උණුසුම් කරන්න පුළුවන් හැකියාවයි තීක්ෂණ ගුණය කියන්නේ.

අබවල තියෙන සැර නිසා වැඩිපුර අබ කෑවම ඉහ මොළ දන්න ගන්නවා. අබ කෑ මිනිහගේ මොළේ දනවා කියලා කතාවට කියන්නේ ඒකනේ. අබ කෑවහම මොළේ දන්න ගත්තට මොකෝ විටමින් C, K, B6, ප්‍රතිබැක්ටීරීයාකාරක, පිළිකානාශක වගේ ඇඟට හිතකර බොහෝ දෑ අබවල අඩංගුයි.

සමේ රෝග, මාංශපේශී රෝග, අස්ථි ගැටලු සුවපත් කරන්න අබවලට පුළුවන්ලු. හෘද රෝග, පිළිකා වගේ දේ අවම කරගන්නත් අබ කන්න කියලයි ආයුර්වේදයේ කියන්නේ.

කැස්ස හෙම්බිරිස්සාව හැදුණු ලෙඩාට අබ ටිකක් වැඩිපුර දෙන්න ඕනලු. ගෙදර ලෙඩෙක් හිටියා නැතා තෙම්පරාදුවට අබ නොදැම්මොත් ඒ තෙම්පරාදුවෙන් පලක් නැතිලු. තෙලට වැටුණු හැටියේ අබ පුපුරණ නිසා රත්වෙච්චි තෙලට අබ දාද්දි බොහොම පරිස්සමට දන්න ඕන කියලා අත්තම්මලා කියනවා. තරහ ගිය උදවියගේ මූණට අබ මිටක් දාපුවහම පුපුරනවය කියලනේ අර කතාවටත් කියන්නේ.

අච්චාරුවට වගේම සමහර ව්‍යාංජනවලට අබ නැතිවම බෑ. අබ ඇට පිටින් කෑමට දැම්ම කෑම ටිකක් තිත්ත රහ ගහනවා. ඒ නිසා තමා ගොඩක් අය අබ කුඩු පාවිච්චි කරන්නේ. හැබැයි අබ කුඩු වැඩි කාලයක්  නරක් නොවී යහතින් තියාගන්න අමාරුයි. ඒ නිසයි ගොඩදෙනා අබ ක්‍රීම් පාවිච්චි කරන්නේ. අබ ක්‍රීම් හදලා විකුණන හැටි කතා කරන්න හිතුවේ ඒකයි.

ස්වයං රැකියාවක් කරලා ගොඩයන්න පුළුවන් කියලා අබමල් රේණුවක තරම්වත් විශ්වාසයක්  නැත්තම් මේ වැඩේ කරන්න අමාරුයි. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ අන්න ඒ විශ්වාසය ඇති කරගන්න එක. ඒ විශ්වාසය හිතේ ඇති කරගෙන එන්න අපි අබ සරණ යමු.

අබ ක්‍රීම් 250gක් හදාගන්න අබ කුඩු 30g, කෝර්න්ෆ්ලා 25g, සීනී 60g, කහ 1g, ලුනු 10g, වතුර 150ml, විනාකිරි 50 ml, මාගරින් 130g (කූල් මාගරින් ගන්න) අවශ්‍ය වෙනවා. ඒ වගේම අබ මිශ්‍රණය කල්තියාගන්න පොටෑසියම් මෙටාබයිසල්ෆේට් (KMS) 0.05g කුත් අවශ්‍යයි. KMS කියන්නේ ආහාර කල්තබාගන්න භාවිතා කරන රසායනික සංයෝගයක්. මේක ශරීරයට අහිතකර නොවන නිසා නම ඇහුව හැටියේ බයවෙන්න කාරි නැහැ.

 

පියවර 1

මුලින්ම කෝර්න්ෆ්ලා ටික වතුරේ දියකරගන්න.

 

පියවර  2

අර දියකරගත්තු මිශ්‍රණයට මාගරින් සහ  KMS එකතු නොකර අනිත් සේරම දේවල් ටික එකතු කරලා උකු වෙනකල් උණු කරන්න.

 

පියවර 3

මිශ්‍රණය සම්පූර්ණයෙන් නිවුනට පස්සේ කූල් පිටම මාගරින් ටික එකතු කරලා මිශ්‍ර කරන්න. අවසාන වශයෙන් KMS එකතු කරලා අසුරන්න.

 

දැන් අබ ක්‍රීම් 150gක් 300-350 වගේ මිලකට අලෙවි කරන්න පුළුවන්. වැඩි විස්තරවලට 0714766819 අංකයට කතා කරන්න.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි