Health

තමන්ගෙම අත කපා ගන්නෙ ඇයි

මීට අවුරුද්දකට විතර කලින් ෆේස්බුක් එකේ වීඩියෝ එකක් හුවමාරු වුණා. ඒ හිටපු පිරිමි ළමයට, කැමැත්ත අහපු ගෑනු ළමයා කැමැත්ත දීලා නෑ. ඉතින් අර කොල්ලා අර ගෑනු ළමයයි එයාගේ යාළුවොයි ඉස්සරහා බ්ලේඩ් තලේකින් අත කපාගෙන කපාගෙන යනවා. මේ විදියට අතපය කපාගන්න උදවිය හැමදාම වගේ රෝහල්වලට එනවා. උපදේශනවලදි අපිට හම්බවෙනවා. තරුෂිත් මට මුණගැහුනු අවුරුදු 23ක ඒ වගේ තරුණියක්. පෙම්වතා එක්ක ඇති කරගත්තු ප්රශ්නයක් නිසා ඇය බල්බ් එකකින් අත කපාගෙන තිබුණා. මැහුම් දාන තරමට. තව දරුවෙක් සදෙව්. අවුරුදු 16දි උපදේශනයට ආවේ.
“මම අවුරුදු 11 ඉඳලම තරහා ගියපු ගමන් අත කපාගන්නවා. අම්මලා දැකපුවාම ඉතින් මොකක් හරි බොරුවක් කියනවා.”
අතේ තිබුණු පාරවල් ගැන වැඩිදුර හාරවුස්සද්දි ඔහු කිව්වේ එහෙම. මේ විදියට තමන්ගේ ශරීරයට හානි කරගන්න එකට කියන්නේ Self- harming කියලා. ඒ කියන්නේ අතපය කපාගන්න එක විතරක් නෙමේ ඔලුව බිත්තියේ ගහගන්න එක, ගිනි තියාගන්න එක වගේ මොනයම්ම හෝ ක්රමවේදෙකින් ශරීරයට හානියක් තුවාලයක් කරගන්න එකට.
ඉස්සර යුරෝපීය රටවල තමයි මේ කියන තත්ත්වය වැඩියෙන් තිබුණෙ. හැබැයි අද වෙනකොට ආසියානු රටවලත් මේක වැඩියි. නව යොවුන් දරුවෝ අතර වගේම තමයි සාපේක්ෂව ගෑනු උදවිය අතරෙත් මේ තත්ත්වය වැඩියි කියන එක කියන්න ඕනේ. කෙනෙක්ට තමන්ට හානි කරගන්න ඕනේ කියලා හිතෙන්න බලපාන හේතු කිහිපයක් තියෙනවා. අපි ඒ එකින් එක කතා කරලා බලමු.
අතපය කපාගෙන ඒ ලේ වලින් ලියුම් ලියලා දෙන එක ආදරේ ප්රකාශ කරන්න පුළුවන් විදියක් කියලා සමාජය විසින් සෙල්ෆ් හාමින්ග් තත්ත්වය රෝමාන්තිකකරණය කරලා තියෙනවා. ලේ වලින් ලියුම් ලියලා දෙන්නම් පෙම්බරියේ කියලා ලියැවිච්චි ප්රසිද්ධ සිංදුම කීයක් තියෙනවද. ඔය වගේ මතයන් තරුණ දරුවො තදින්ම හිතට ගන්නවා. ඉතින් ඊටපස්සේ තමන්ගේ ප්රේමේ පෙන්වන්න අතපය කපාගන්නවා. නැත්තම් ගෑනු ළමයා හරි පිරිමි ළමයා හරි තරහා වුණාම අවධානය ගන්නත් මේ වැඩේ කරනවා. අත කපාගත්තොත් මම එයාට ඇත්තටම ආදරෙයි කියලා හිතයි. එතකොට මාත් එක්ක යාළුවෙයි. එහෙම නැත්තම් බයවෙයි කියලා හිතලා අතපය කපාගන්නවා.
නැත්තම් ආදරේ කළ කෙනා දාලා ගියොත් ඒ ඇතිවෙන පීඩනය නැති කරගන්නත් සමහරු තමන්ට හානි කරගන්නවා. අර කලිනුත් කිව්වා වගේ මේක නම් ගොඩක්ම දකින්න තියෙන්නේ යෞවනයෝ අතර.
ප්රේමය සම්බන්ධ කාරණා හැරුණාහම දෙමව්පියෝ, සැමියා/බිරිඳ නැත්නම් දරුවන්ව බය කරන්න හිතාගෙන ශරීරයට හානි කරගන්න උදවියත් ඉන්නවා. තමන්ට වේදනාවක් දෙන අරමුණට වඩා මේ අයට තියෙන්නේ අනිත් කෙනාගෙන් පලිගන්න අදහසක්. මෙහෙම කරන ගොඩක් අය ඒ දේවල් වීඩියෝ කරලා අදාළ කෙනාට යවනවා. වෙන කෙනෙක්ව බය කරන්න බෙල්ලේ වැල දාගන්න ගිහිල්ලා ඒ වැඩේ වැරදිලා ඇත්තටම මැරෙන්න වුණු මිනිස්සුන්ගේ වීඩියෝ ඕනතරම් අන්තර්ජාලයේ තියෙනවා.
විශාදය තියෙන අයටත් ශරීරයට හානි කරගන්න හිතෙනවා. විශාදයේ මුල් අවධිවල ඉන්න අය ජීවත්වෙලා වැඩක් නෑ කියලා හිතෙන වෙලාවට කරන්නේ අතපය කපාගන්න එක. පස්​සේ තත්ත්වය දරුණු වුණාම සියදිවි හානි කරගන්න නැතට පත්වෙනවා. ඒක මනුස්සයෙක් හරියට අසරණ වෙන තැනක්. මම දන්න පුතෙක් හිටියා. අම්මා තාත්තා නිතරම රණ්ඩු වෙනවා කියලා පුතා ගෙදරම එල්ලිලා මැරුණා. ඒ දරුවා කාලෙක ඉඳලා විශාදයෙන් පීඩා විඳලා තියෙනවා. කියන්න කණගාටුයි, දරුවගේ අතපය පුරාම තුවාල කැළැල් තිබුණා.
ඊගාවට මානසික අක්රමිකතාවල ප්රතිඵල විදියට පෞරුෂ ආබාධ ඇතිවෙන්න පුළුවන්. නාටකීය පෞරුෂ ආබාධ කියන්නේ එහෙම එකක්. මේ පෞරුෂය තියෙන අයත් සෙල්ෆ් හාමින්ග්වලට යන්න තියෙන ඉඩ වැඩියි. උදාහරණයක් විදියට හිතන්න මේ වගේ පෞරුෂ ආබාධ ලක්ෂණ තියෙන බිරිඳක් තමන්ගේ සැමියා එක්ක රණ්ඩු වෙනවා. එතකොට සැමියා එයාව ටිකක් තල්ලු කරනවා. එතකොට බිරිඳ කරන්නේ ඔලුව බිත්තියේ ගහගෙන තුවාලයක් හදාන සැමියා ගැහුවා කියලා ඒක අනිත් අයට පෙන්වන එක.
ඊට අමතරව කිසිම මානසික ගැටලුවක් නැතිවත් තමන්ට හානි කරගන්න උදවිය ඉන්නවා. ගොඩක් වෙලාවට එහෙම කරන්නේ ආතතිය කළමනාකරණය කරගන්න බැරි අය. නැත්නම් තරහා පාලනය කරගන්න බැරි අය. සමහර මිනිස්සු ඉන්නවා තරහක් ආපු ගමන් ඔලුව බිත්තියේ ගහනවා. නැත්නම් වීදුරුවලට, මේසෙකට අතපයින් ගහනවා. ඒකෙනුත් වෙන්නේ තමන්ට හානියක් වෙන එක. තමන්ට දැනෙන තරහා මේ ක්රමෙන් පිට කරන්න පුළුවන් කියලයි මේ අය හිතන්නේ. තව මත්ද්රව්ය ගන්න අය අතරෙත් ස්වයං හානිකරගැනීම බහුලව දකින්න තියෙනවා. විශේෂයෙන්ම හෙරොයින් පාවිච්චි කරන අය. ඒ අයට දැනෙන මනෝභාවයන් එක්කලා ඔවුන් තමන්ට හානි කරගන්න පෙළඹෙනවා.
හේතුව මොකක් වුණත් සෙල්ෆ් හාමින්ග්වල පළවැනිම අවදානම තමයි ජීවිත අවදානම. හිතත්නකෝ කෙනෙක් ඒ වෙලාවේ එන පීඩනය යටපත් කරන්න අත තදින් කපාගන්නවා. නැත්නම් ඔලුව බිත්තියට ගහනවා. මේ පාරක් තදින් වැදිලා ලේසියෙන්ම ජීවිතේට බලපෑමක් වෙන්න පුළුවන්. අනික සමහර දේවල් තියෙනවා අපිට ආපස්සට හරවන්න බැහැ. උදාහරණයක් විදියට හිතන්න ගිනි තියාගන්න එක ගැන. ආවේගෙට කළා වගේ නෙවෙයි ඒ වෙන හානිය මොන දේ කරලවත් හදන්න බැහැනේ. අනික තරුණ කාලේ හැඟීම්වලට යටවෙලා අතපය කපාගත්තු එක ගැන කාලයක් ගියාම ඕනම කෙනෙක්ට පසුතැවීමක් ඇතිවෙනවා. බැරි වෙලාවත් ඒ කැළැල් හිටියොත් ඒවා අනාගතයේදී රැකියාවකට යනකොට වුණත් ගැටලුකාරී වෙන්න පුළුවන්. මොකද අතපයේ කැළැල් තියෙද්දි මේ කෙනා ආවේගශීලී කෙනෙක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ.
මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එකයි වැදගත්ම කාරණාව. විශාදය, පෞරුෂ ආබාධ ලක්ෂණ, මත්ද්රව්ය භාවිතය නැත්නම් වෙනත් මනෝව්යාධියක් නිසා තමන්ට හානි කරගන්න හිතෙන අයට තනියම ඒ තත්ත්වයෙන් ගොඩ එන්න අමාරුයි. ඒ නිසා දන්න කෙනෙක්ගේ අතපයවල කැළැල් තියෙනවා නම් වහාම මනෝ වෛද්යවරයෙක්ට නැත්නම් මනෝ උපදේශකවරයෙක්ට යොමු කරන්න. සෙල්ෆ් හාමින්ග් සම්බන්ධයෙන් ඒ අයට බනින්න යන්න එපා. ඒක විශේෂයි. මොකද ඒකෙන් ඒ කෙනා තවත් අනතුරක් කරගන්න පෙළඹෙන්න ඉඩයි.
ආවේගෙට, ආතතියට හානි කරගන්න හිතන අයට නම් තනියම හිතලා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් ප්රවණතාවයක් තියෙනවා. ඒ වගේ සිතුවිල්ලක් ආපුවම කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි හුස්ම ගන්න එක. හුස්ම ගැනීම ක්රමවත් කරන්න උගන්වන යූටියුබ් වීඩියෝ තියෙනවා. පලපුරුද්ද තියෙන උපදේශකවරයෙක් කරන වීඩියෝ එකක් තෝරගෙන ඒ ව්යායාම පුහුණු වෙන්න. ඒ කියන්නේ තමන්ට මෙහෙම ප්රශ්නයක් තියෙනවා කියලා දන්නවා නම් කලින් ඉඳලම ඒවා ප්රගුණ කරලා තියාගන්න. මේ ව්යායාමවලින් මොළයට හොඳට ඔක්සිජන් ලැබෙනවා. මොළේට ඔක්සිජන් වැටිච්චි ගමන් මොළයේ රසානික සංයුතිය වෙනස් වෙලා සිතුවිලි වෙනස් වෙනවා.
ඊට අමතරව එහෙම සිතුවිල්ලක් ආවහම ටිකක් කල්පනා කරන්න. මේක කළාම ලැබෙන ප්රතිඵලය මොකක්ද, මේකෙන් විඳවන්නේ කවුද කියන කාරණාව දිගින් දිගටම හිතන්න. මෙහෙම දේවල්වලින්වත් තමන්ට තමන්ව පාලනය කරගන්න බැරිනම් කියන්න තියෙන්නේ අර කලින් උපදේසෙම තමයි. වහාම මනෝ​ වෛද්යවරයෙක් හරි මනෝ උපදේශකවරයෙක් හරි මුණගැහෙන්න