පෙරහරේ අලියෙක්ට ඇඳුමක් මහන්න ලැබෙන්න කියලා අපි බාරයකුත් වුණා
සිංහල ක්‍රමේට අනුව සතියේ හැම දවසකටම අදාළ ග්‍රහයෙක් ඉන්නවා. ඒ ඒ ග්‍රහයට අදාළ වර්ණ තමයි සිංහල අවුරුද්දේ වර්ණය විදියට තෝරගන්නේ. මේ පාර අවුරුද්ද යෙදිලා තියෙන්නේ සිකුරාදාට. සිකුරාදාට අයත් ග්‍රහයා සිකුරා. සුදු, සුදුනීල, විචිත්‍ර කියන වර්ණ තුනම සිකුරුගෙ වර්ණලු. ඉතින් මේ පාර සිංහල අවුරුද්දට විචිත්‍ර වර්ණ අඳින්න ඕන කියලයි නැකැත් කමිටුව තීරණේ කරලා තියෙන්නේ. විචිත්‍ර වර්ණ කිව්ව හැටියේ අපේ ඔලුවට එන්නේ බතික්. ඉතින් මේක බතික් අවුරුද්දක් කියලත් සමහරු කියනවා.
බතික් කිව්වහම මතක් වුණේ ලංකාවේ බතික් රජා විපුල ධර්මවර්ධන මහත්තයව. විපුල කියන්නේ පූජාපිටිය පිටිසර ගමේ සෙරප්පු නැතිව ඉස්කෝලේ ගියපු කොල්ලෙක්. හිච්චි කාලේ ඉඳලා චිත්‍ර කර්මෙට හපනෙක්. උසස් අධ්‍යාපනය නොකළ විපුලගේ මුල්ම රස්සාව වුණේ සමූපකාරේ ඉන්ස්පැක්ටරකමක්. ඔහු රස්සාවෙන් හම්බෙච්චි පඩිය වියදම් කළේ නොයෙක් කලා ක්‍රම ඉගෙනගන්න. ඔය අතරේ ලංකාවට බතික් ගෙනාපු සෝමා උඩබාගෙ මහත්මියගෙන් විපුල බතික් ඉගෙනගත්තා. ඔය අතරේ ඔහුට රස්සාව නැතිවුණාලු. විපුල බතික් හදන්න පටන් අරන් තියෙන්නේ ඊටපස්සේ. හදපු බතික් පිටේ කරේ තියාගෙන කෝච්චිවල විකුණුවලු. වැඩේ පංකාදු නිසා විපුලගේ බතික් ගැන රාවේ කටින් කට යන්න වැඩි කාලයක් ගතවෙලා නෑ. 1967 මහනුවර දළදා පෙරහරේ මඟුල් කරඬුව ගෙනියාපු ඇතාට බතික් ඇඳුමක් අන්දලයි අන්තිමේ උන්දා නතර වුණේ. මාලිගාවේ කරඬුව ගෙනියපු ඇතෙක්ට මුලින්ම බතික් ඇන්දවීමේ ගෞරවය හිමිවෙන්නේ ඔහුට. මේ සිද්ධිය කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවා නම් සිරිමාවෝ මැතිනි නොබැඳි ජාතීන්ගේ සමුළුවට අඳින්නත් විපුල ධර්මවර්ධනගෙන් බතික් සාරියක් මහගත්තලු. මැතිනි විපුලගේ සාරි ඒ කාලේ ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධිටත් තෑගි කරලා.
විපුල මහත්තයගෙන් පටන්ගත්තට මොකෝ මේ කතාව ඔහු ගැන නෙමෙයි. 1967 විපුලගෙන් පස්සේ පෙරහර ඇත්තුන්ට බතික් ඇන්දෙව්ව විශේෂ යුවලක් ගැන. මේ පාර අවුරුද්දේ පාට විචිත්‍ර වර්ණ ඇඳගෙන අද ‘ධරණී’ කවරය විචිත්‍රවත් කරන්නේ බාධක අභියෝග මැද පුංචිවට ව්‍යාපාරය පටන් අරන් අලි ඇතුන්ට බතික් අන්දවාපු ‘අපේ බතික්’ ව්‍යාපාරයේ නිර්මාතෘ යුවල ශලිනි රණසිංහ සහ චානක පන්නිලගේයි. මේ සුබ අවුරුදු කාලේ අනිත් අයට ආදර්ශ දෙන සුබ මිනිස්සු දකින එක කොහොමත් සුබයිනේ. මේ යුවලගේ සාර්ථකත්වයේ ගමන ගැන අපිත් එක්ක කතා කළේ ශලිනි.
“මගේ ගම ඇතුල්කෝට්ටේ. මම උසස් පෙළට භාෂා ඉගෙනගත්තා. ඉගෙනගෙන ඉවරවෙලා ජයිකා ජපන් ව්‍යාපෘතිවල වැඩ කළා. චානකත් සංචාරක මාර්ගෝපදේශකවරයෙක් විදියට වැඩ කළා. පාස්කු ප්‍රහාරයෙන් අපි දෙන්නට රස්සා නැතිවුණා. ඉතින් අපි දෙන්නටම ගෙවල්වලට වෙලා ඉන්න වුණා. එතකොට අපි විවාහ වෙලත් නැහැ. ”
ඒ වුණත් බතික් ව්‍යාපාරයක් පටන්ගන්නවාය කියලා මේ යුවලගේ හිතේ හාන්කවිසියකවත් අදහසක් තිබුණේ නැතිලු.
“මගේ අප්පච්චි සෑහෙන කාලෙක ඉඳලා විදේශගගතවෙලයි ඉන්නේ. බතික්වලට අප්පච්චි හරිම කැමතියි. ලංකාවට ආවොත් රට ඉන්න යාළුවන්ට අරන් යන්නෙම බතික්. ලංකාවට ආපු වෙලාවක අප්පච්චි චානක එක්කත් බතික් ගැන කතා කර කර හිටියා. චානකගේ ආච්චියි, නැන්දයි බතික් ඉගෙනගෙන තියෙනවා කියලා එතැනදි චානක අප්පච්චිට කිව්වා. එතකොට අපිට ජොබ්ස් තිබුණෙත් නැහැ. ඉතින් නිකන් ඉන්න එකේ අපි දෙන්නටම බතික් ඉගෙනගන්න පුළුවන්නේ කියලා එවෙලේ අප්පච්චි යෝජනා කළා. මට චිත්‍ර අඳින්න බැහැ හැබැයි වර්ණ සංකලනය ගැන සහජ හැකියාවක් වගේ දෙයක් තියෙනවා. ඉතින් අප්පච්චිගේ ඉල්ලීමට අපි බතික් ඉගෙනන්න පටන්ගත්තා. චානකගේ ආච්චියි, නැන්දයි තමයි අපේ මුල් ගුරුවරු.”
බතික් කියන්නේ අපේම කලාවක් නෙමෙයි. හැබැයි අපේ රටේ සංස්කෘතියට ආවේණික මෝස්තර සහ වර්ණ නිසා අපේ බතික් කලාව ලෝකය පුරා ප්‍රකටයි
“සාම්ප්‍රදායික ක්‍රම ඉගෙනගෙන ඒවා අපිටම ආව්ණික විදියට හදන්න ගත්තා. ඉගෙනගත්තට පස්සේ පොකට් මනි හොයාගන්න කියලා බතික් ඇඳුම් කිහිපයක් නිර්මාණය කළා. මුලින්ම ඇඳුම් විකුණුවේ නෑදෑයන්ට, අඳුරන අයට. ඒ අයගෙන් ඇඳුම්වලට හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ ඇතිවුණු ඉල්ලුම එක්ක මේක වෘත්තියක් විදියට පටන්ගන්න අපි තිරණය කළා. මුල් කාලේ මටයි චානකටයි බතික් හදන්න එයාලගේ අම්මා, ආච්චි, නැන්දා හැමෝම වගේ උදව් කළා. හැමෝම එකතුවෙලා කරන වැඩක් නිසා ‘අපේ බතික්’ කියලා නම දාමු කියලා යෝජනා කළේ මගේ අප්පච්චියි. පස්සේ ඒ නමින් අපි බිස්නස් එක රෙජිස්ටර් කළා.”
ඔය විදියට බතික් ව්‍යාපාරය පටන්ගත්තු ශලිනිලාට අලි ඇත්තුන්ට ඇඳුම් මහන්න අවස්ථාව ලැබුණු හැටි ඇය පැහැදිලි කළේ මෙහෙම.
“අපි දෙන්නා අලින්ට හරි කැමතියි. පෙරහර අලියෙක්ට අපෙ සල්ලිවලින් ඇඳුමක් මහන්න අවස්ථාවක් ලැබෙන්න කියලා 2020දී කෝට්ටේ පන්සලට බාරයක් ගැටගැහුවා. හිතුවත් වගේම 2021 ජනවාරි මාසෙදි නුවර තුන්වැනි කුඹල් පෙරහරේ මහ කරඬුව වඩම්මවන ඇත් රජාගෙයි, දෙපැත්තේ ඇත්තු දෙන්නගෙයි පෙරහර ඇඳුම් මහන්න අපිට අවස්ථාව ලැබුණා. අපිට ඒකට අවස්ථාව දුන්න ලහිරු අසංක අයියවත් මතක් කරන්න ඕනේ.”
ලෝකේ ලොකුම ඇඳුමක් නැත්නම් අලි ඇඳුමක් මහන එක ආවට ගියාට කරන්න පුළුවන් ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. ඒ අභියෝගය ජයගත්තු හැටිත් ශලිනි පැහැදිලි කළා.
“නුවර පෙරහර කියන්නේ ලෝකයක් දකින අපේ සංස්කෘතික අංගයක්. ඒක ලොකු වගකීමක්. වැඩේ පටන්ගන්න කලින් නුවර මාලිගාවේ ඇවිදලා ඒ චිත්‍රවල මෝස්තර අරගෙන ඒ ගැන හොඳ හැදෑරීමක් කළා. පස්සේ එව්වා එක්ක සංකලනය කරලා අපිටම ආවේණික වෙනස්ම බතික් රටා හැදුවා.
අනික අලි ඇඳුම් තුනක් හදන එක ලේසි නැහැ. වැඩේට අපිට මාස දෙකක් විතර ගියා. පාන්දර 4 වෙනකල් නිදි මරාගෙන වැඩ කළා. අපිත් අලුතින්නේ වැඩේ පටන්ගත්තේ. ඒ නිසා රෙදි, ඩයි එහෙම ටිකක් නාස්ති වුණා. මට මතකයි එක අලි ඇඳුමකට දාපු ඩයි ඇල්ලුවේ නැහැ. ඒ පාර ආයෙත් මුල ඉඳලාම ඒ වැඩේ කරන්න වුණා. අලි ඇඳුම් හදද්දි නන් අයුරින් අපිට උදව් කළ අයවත් මේ වෙලාවේ මතක් කරනවා.”
ඒ කොහොම වෙතත් අවසානෙදි හොඳ බතික් නිර්මාණ තුනක් පෙරහර ඇත්තුන්ට ලබාදෙන්න ඔවුන්ට පුළුවන් වුණාලු. දළදා මාලිගාවේ උදවියටත් ඒ බතික් ඇඳුම් ගැන හරියටවත් පැහැදුනු බව ඇය කිව්වා.
“ඇත් ඇඳුම් නිර්මාණය කළාට පස්සේ ‘අපේ බතික්’ නිර්මාණවලට හොඳ ඉල්ලුමක් හැදුනා. අපි 2022 කෝට්ටේ පෙරහර ඇතුන් වෙනුවෙනුත් බතික් ඇඳුම් හැදුවා. 2022 දී දළදා මාලිගාවේ පහත මාලයේ තිරය නිර්මාණ කළා. අද වෙනකොට අපිත් එක්ක පස්දෙනෙක් වැඩ කරනවා. අපි ගොඩක්ම බාරගන්නේ ඔන්ලයින් ඕඩර්ස්. ඒ වගේම ජපානය, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවලටත් බතික් ඇඳුම් අපනයනය කරනවා.”
ව්‍යාපාරයේ සාර්ථකත්වයට සහාය දීපු ඇගේ පවුලේ උදවිය, චානකගේ පවුලේ උදවියට වගේම ‘අපේ බතික්’ ටීම් එකත් ඇය ආදරෙන් මතක් කළා. ව්‍යාපාරය පටන්ගත්තු මුල් කාලෙදි ජාතික ශිල්ප සභාවෙන් ඔවුන්ට විශාල සහායක් දුන්නලු.
“අද කාලේ සම්බන්ධතා ඇතුළේ මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුයි. අපේ නම්වලින් ව්‍යාපාරය ලියාපදිංචි කරද්දි අපි විවාහ වෙලා හිටියෙත් නැහැ. හැබැයි මම තියපු ඒ විශ්වාසය ඔහු කිසිම වෙලාවක කඩකළේ නැහැ. ව්‍යාපාරයකින් නැත්නම් රස්සාවකින් උඩට යන්න අතහිත දෙන තමන්ට හයියක් වෙන සැමියෙක් තෝරගන්න කාන්තාවක් බුද්ධිමත් වෙන්න ඕනේ කියන එක තරුණියක් විදියට අනිත් තරුණියන්ට කියන්න කැමතියි.”
තමන්ගේ හිතට ආසාවක් ආවොත් මොන අභියෝග ආවත් ඒක නතර කරන්න එපා කියලත් ශලිනි කිව්වා. දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසයට ඕනම කෙනෙක්ව ඕනම දුරක් එක්කරගෙන යන්න පුළුවන් කියන එකයි ඔබ වෙනුවෙන් ඇය දීපු පණිවිඩය.
අභියෝග මැද සාර්ථක වෙච්චි මේ වගේ මිනිස්සුන්ගේ කතා ආදර්ශයට අරගෙන පරණ රිදුම් අතීතයේම වැළලෙන්න ඉඩදීලා සාර්ථක හෙටක් වෙනුවෙන් අද ඉඳලාම මහන්සි වෙන්න කියන එකයි මේ සිංහල අලුත් අවුරුද්දේ අපිත් ඔබට කියන්නේ. ඉතින් ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – දේවා ජයවර්ධන