ජිහාඩි මනාලිය හෙවත් ෂමීමා බෙගම්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කෙරේ
වයස අවුරුදු 15 දී අයි.එස් එක්වීම සඳහා බ්‍රිතාන්‍යයෙන් පලාගිය ෂමීමා බෙගම්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන අභියාචනාධිකරණ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණයත් තීන්දු කර ඇත්තේ, ඇයගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීමටයි.
මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන ෂමීමා බෙගම්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කිරීමත් සමග ඇයට නැවත එක්සත් රාජධානියට පැමිණීම තහනම් කර ඇත්තේ ඇය තවමත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම හේතුවෙන්.
ජිහාඩි මනාලිය ලෙසින් අන්තර්ජාලය පුරා පුවත් මැවූ ෂමීමා බෙගම් අයි.එස් සංවිධානයට බැඳීමට සිරියාවට බ්‍රිතාන්‍යයෙන් පලා ගොස් තිබුණේ 2015 පෙබරවාරි මාසයේ දී යි.
ඇයත් සමග නැගෙනහිර ලන්ඩනයේ තවත් පාසල් සිසුවියන් දෙදෙනෙකු මෙලෙස පලා ගොස්ව තිබෙනවා.
2019 පෙබරවාරි මාසයේදී සිරියානු සරණාගත කඳවුරක මාස නවයක ගැබිනියක් ව සිටිය දී ෂමීමා බෙගම් සොයා ගැනීමෙන් ටික කලකට පසු එවකට බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම් සජිඩ් ජාවිඩ් විසින් ඇයගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ජාතික ආරක්ෂක හේතුන් මත අවලංගු කරනු ලැබුවා.
කෙසේවෙතත් ඇය ළමා ජාවාරමේ ගොදුරක් බවට පවසමින් මෙම තීරණය සම්බන්ධයෙන් ස්වදේශ කාර්යාලයට අභියෝග කරමින් විශේෂ ආගමන අභියාචනා කොමිෂන් සභාවේ (SIAC) පැමිණිල්ලක් ගොනු කල ෂමීමා බෙගම්ගේ නිතිඥයින්, එතැන් සිට රජය සමග නීතිමය සටනකට එළැඹුණා.
එහෙත් ෂමීමා බෙගම් ‘ලිංගික සූරාකෑම’ සඳහා සිරියාවට ජාවාරම් කර ඇති බවට ‘විශ්වාසනීය සැකයක්’ පවතින නමුත් අභියාචනය සාර්ථක වීමට තරම් එය ප්‍රමාණවත් නොවන බවට තීන්දු කරමින් අභියාචනාධිකරණය ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම ඇය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ ද යන්න තීරණය කළ යුත්තේ දේශපාලකයන් මිස අධිකරණය නොවන බව ද අභියාචනාධිකරණ විනිසුරු ජේ වැඩිදුරටත් පැවසුවා.
කෙසේවෙතත් ෂමීමා බෙගම්ගේ නීතිඥයන් අභියාචනාධිකරණයේ මෙම තීන්දුව අභියෝගයට ලක් කිරීමට බලාපොරොත්තු වන බවටයි වාර්තා වන්නේ.
මේ අතර ෂමීමා බෙගම්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පළමු වරට ඉවත් කරන විට ස්වදේශ කටයුතු ලේකම් ලෙස කටයුතු කළ සජිඩ් ජාවිඩ් අද තීන්දුව සම්බන්ධයෙන් ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ,
“ජාතික ආරක්ෂක හේතූන් මත පුද්ගලයෙකුගේ පුරවැසිභාවය ඉවත් කිරීමට මා ගත් තීරණය යළිත් තහවුරු කර ඇති අද අධිකරණ තීන්දුව මම සාදරයෙන් පිළිගනිමි. මෙය සංකීර්ණ නඩුවක් නමුත් රටට තර්ජනයක් යැයි තක්සේරු කරන ඕනෑම අයෙකු අපේ රටට ඇතුළු වීම වැළැක්වීමට ස්වදේශ
ලේකම්වරුන්ට බලය තිබිය යුතුය.” යනුවෙන්.