මියගිය සොයුරාට පණ දෙන්න මළසිරුර මාස දෙකක් නිවසේ තබාගෙන යාඥා කරලා
බඩල්ගම පොලිස් වසමට අයත් ආඬිමුල්ල ප්‍රදේශයේ දස හැවිරිදි පිරිමි දරුවෙකු පසුගිය පෙබරවාරි 07දා තම නිවස තුළම මියගොස් තිබූ අතර, පසුගිය 10 වනදා බඩල්ගම පොලිසියේ නිලධාරීන් එම නිවෙසට යද්දී දරුවාගේ මව, පියා සහ මිත්තණිය නරක් වී දුර්ගන්ධය හමමින් තිබූ දරුවාගේ මළසිරුර සමීපයේ යාඥා කරමින් සිට තිබේ. ප්‍රදේශය පුරා පැතිර යමින් තිබූ දුර්ගන්ධයක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදුව තිබූ අතර, එම දරුවාගේ මව, පියා සහ මිත්තණිය පොලිස් අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී අනාවරණය වූ පරිදි පසුගිය කාලයේ සිට එම දරුවාට වැළඳී තිබූ සෙම් රෝගයකට ප්‍රතිකාර ලබාදුන් වැඩිහිටියෝ පසුව දරුවා ප්‍රතිකාරවලින් ඉවත්කොට රෝගය සුවවීම පිණිස යාඥා කිරීම අරඹා තිබේ. එහිදී රෝග තත්ත්වය උත්සන්න වීමෙන් පසුගිය 07 වනදා දරුවා මියගොස් තිබූ අතර, පසුව එම මළසිරුර නිවස තුළම තබාගත් මව, පියා සහ මිත්තණිය සිදුකොට ඇත්තේ නරක් වී දුර්ගන්ධය හමන තෙක් මළසිරුර අභියස සිට යාඥා කිරීමය.
ආගම් යනු චිත්ත දමනය මුල්කොට තමන්ටත් අන්‍යයන්ටත් යහපතක් සලසාගත හැකි සදාචාර මාර්ගයක් පමණි. මෙලොව යහපත උදා කරගැනීම පිළිබඳව ලෞකික විෂය ක්ෂේත්‍රයන් මගින් ඉගැන්වෙන අතර ආගම ඉන් වෙනස් වනුයේ මරණයෙන් මතුවද යහපතක් උදා කරගන්නා ක්‍රමවේද ඉන් ඉගැන්වෙන බැවිනි.
එහෙත් ආගමික විශ්වාස මගින් දෘශ්‍යාබාධිත බව, ශ්‍රවණාබාධිත බව, අංගවිකලතා ආදිය දුරුකරගත හැකිය යන අතිපෞරාණික මිථ්‍යා විශ්වාසය අදත් ඇතැම් ආගම්වල මූලධර්මවාදීන් තුළ පවතින අතර, ආගම් මගින් මළවුන්ට පණදීම දක්වාම ඔවුන්ගේ එම අන්ධ මිථ්‍යා විශ්වාස ඔඩුදුවා ඇති බව සනාථ කෙරෙන සිදුවීම් ඉතා කලාතුරකින් වුව ලොව නන්දෙසින් වාර්තා වෙයි. එහෙත්, මා දන්නා පරිදි යාඥාව මගින් මළවුන්ට පණදීම පිළිබඳ උත්සාහයක් අප රටින් වාර්තා වූ මුල්ම අවස්ථාව මෙයයි.
2007 වසරේ අප්‍රේල් 06 වනදා සියදිවි නසාගත් ඉන්දියාවේ කොයිම්බතුර්හි සෙල්වකුමාර් නමැත්තෙකුගේ මළසිරුරත් මාස දෙකක් මුළුල්ලේ තම නිවස තුළ තබාගෙන යාඥාව මගින් ඊට පණදීම පිණිස මාස දෙකක් තිස්සේ තම බිරිඳ හා දරුවන් සිව්දෙනා සමඟ යාඥා කරමින් සිටි හතළිස් පස් වියැති චාල්ස් නම් පාස්ටර් හෙවත් දේවගැතිවරයෙකු එම වසරේ ජූනි 07 වනදා තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ එම කාර්යය සඳහා ඔහුට උදව් කළ බව පැවසෙන ඔහුගේ සහායකයන් දෙදෙනෙකුද සමඟිනි.
අප බොහෝදෙනෙකු සිතනුයේ මෙබඳු අස්වාභාවික උමතු ක්‍රියා සිදුකරනුයේ අන්ත නොදියුණු නූගත් මෝඩ පුද්ගලයන් බවය. එහෙත්, එම සිද්ධියට සම්බන්ධ චාල්ස් වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයෙකි. පසුව ඊට අවුරුදු තුනකට පෙර තම වෘත්තියෙන් ඉල්ලා අස්වූ ඔහු දේවගැතියෙකු හෙවත් පාස්ටර්වරයෙකු ලෙස කටයුතු කිරීමට පටන්ගෙන තිබේ.
‘‘මම මගේ සහෝදරයාගේ ආත්මය සමඟ කතා කරමිනුයි සිටියේ. ඔහුගේ ශරීරයේ යම් යම් සෙලවීම්ද මම දැක්කා. මගේ බලාපොරොත්තුව වුණේ දවස් අනූවකින් මගේ සහෝදරයාට නැවත පණ ලබාදෙන්න. ඒත් පොලිසිය ඇවිත් මගේ ඒ කටයුත්තට බාධා කළා.’’
පොලිස් අත්අඩංගුවට පත්වූ චාල්ස්, UCA (Union of Catholic Asian News) ප්‍රාදේශීය මාධ්‍යවේදී අමුදන් සමඟ එසේ කියා තිබේ. එහෙත්, ඒ වනවිට සෙල්වකුමාර් මියගොස් මාස දෙකක් ඉක්ම තිබීම මත ඔහුගේ මළසිරුරින් දැඩි දුර්ගන්ධයක් වහණය වූ බවත්, මළසිරුරේ සේම ඒ අවටද පණුවන්ගෙන් පිරී තිබූ බවත් අමුදන් වාර්තාකොට තිබේ.
එම ප්‍රවෘත්තියට අනුව දිවි නසාගත් සෙල්වකුමාර් මානසික අවපීඩනයෙන් පසුවූවෙකි. පසුගිය අප්‍රේල් 06 දා සිට ඔහු ආගිය අතක් නොමැති බව අමුදන්ගේ බිරිඳ දේවගැති චාල්ස් වෙත පැමිණිලි කිරීමේදී ඔහු කියා ඇත්තේ ‘‘එයා දෙවියන්ගේ සේවයට ගියා. ඒත් ළඟදීම මම එයාව ආයෙමත් ගෙන්නනවා’’ යනුවෙනි. එමෙන්ම දෘශ්‍යාබාධිතයන්ට පෙනීමත්, ශ්‍රවණාබාධිතයන්ට ඇසීමත්, අංගවිකල වූවන්ට ඇවිදීමටත් අවස්ථාව යාඥාව මගින් ලබාදිය හැකි තමන්ට මියගිය අයෙකුට යළි පණ ලබාදීමට නොහැක්කේ මන්ද? යනුවෙන් චාල්ස් පොලිසියෙන් අසා අති බවද මාධ්‍යවේදී අමුදන් සඳහන්කොට තිබේ. එහෙත්, තම සැමියාගේ වැඩිමල් සොයුරාගේ එම ප්‍රකාශයේ යම් අස්වාභාවික බවක් ඇති බව වටහාගත් සෙල්වකුමාර්ගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් තමිල්නාඩු පොලිසියට පැමිණිලිකොට තිබූ අතර, දේවගැති චාල්ස් ඔහුගේ බිරිඳ සහ දරු සිව්දෙනා මියගොස් මාස දෙකක් ගතව තිබූ මළසිරුරක් ඉදිරියේ දණින් වැටී යාඥා කරනු පොලිසිය දැක ඇත්තේ ඒ සම්බන්ධ මූලික විමර්ශන සඳහා දේවගැති චාල්ස්ගේ නිවසට ගිය අවස්ථාවේය. ගතවූ කාලය තුළ ඔවුන් දිනපතා එසේ යාඥාකොට තිබූ බව තමිල්නාඩු පොලිසිය කියයි.
කිසියම් ආකාරයක බඩල්ගම සිදුවීම හා සබැඳියාවක් පවතින ඉන්දියාවේ කොයිම්බතූර් සිදුවීමේදී යම් යම් පුද්ගලයන්ගේ උමතු ක්‍රියා ලෙස සැළකිය නොහැක්කේ ඒවාට පවුල්මය දායකත්වයක් ලැබී තිබූ බැවිනි. සැබැවින්ම තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා යොදාගත හැකි සදාචාර මාර්ගයක් වන ආගම මෙවැනි අවභාවිතාවන් සඳහා යොදාගැනීම උමතු ක්‍රියාවක්මය. නමුදු කිසියම් අන්ධ විශ්වාසයක් පදනම් කරගෙන යම් පවුලක ප්‍රබලතමයකු අස්වාභාවික කටයුතුවල යෙදෙයි නම් ඊට වඩා පෞරුෂයෙන් අඩු පිරිස්ද ඒ අන්ධ විශ්වාස කෙරෙහි නිරන්තරයෙන් නතුවෙති. මෙය හැඳින්වෙනුයේ Shared Delusion යනුවෙනි.
‘‘යාඥාවෙන් ප්‍රතිඵල ගැනීම වෙනම දෙයක්. ඒත් මේක මුළු කිතුණුවන්වම අවමානයට පත්කරන පිස්සු වැඩක්.’’ කොයිම්බතුර් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ තමිල්නාඩු රදගුරු සමුළු ප්‍රකාශක විනිස්ටර් චින්නදුරෙයි පියතුමා එසේ පවසා තිබේ.
‘‘මගේ කොල්ලනේ, දෙවියන් ගැන විශ්වාසය තියාගනිල්ලා, හැබැයි වෙඩිබේත් නම් තෙමාගන්න එපා. (Put you trust in God; but keep your gun powder dry)’’ දහසය වන සියවසේ විසූ ඉංග්‍රීසි රාජ්‍ය නායකයෙකු හා යුද සේනාධිපතියෙකු වූ ඔලිවර් ක්‍රොමිලින් තම සේනාංකවලට දුන් උපදෙස අනුව අපට කිව හැක්කේ අන්ධ විශ්වාස මුල්කොට තම පුතුගේ ජීවිතය අකාලයේ මරුමුවට පත්කළ ඒ බඩල්ගම මව, පියා සහ මිත්තණිය වෙඩි බෙහෙත් වියළිව තබා නොගත්තා පමණක් නොව ඒවා දියකළ වතුරෙන් ස්නානය කොටද ඇති බවකි.
තිලක් සේනාසිංහ