විශේෂාංග

ෂරියා නීතිය එච්චර ලොකුද?

ඒ හරියටම පසුගිය අගොස්තු 15 වනදාය. කාබුල් නගරයේ රූපලාවන්‍ය ආයතනයක සේවය කළ තරුණියක වූ අෆ්සූන් (ඇත්තෙන්ම එය ඇගේ සැබෑ නම නොවේ) හට උදේ 10ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ ඇගේ මිතුරියකි.

අද වැඩට එන්න එපා. ඒ සේරම ඉවරයි.

මේ හදිසි ඇමතුමෙන් ඇය වික්ෂිප්ත වුවාය. එය විය හැකි දෙයක්ද? කාන්තාවන් අතර ඉහළ ඉල්ලුමක් පැවතුණ රූපලාවන්‍යාගාරයක් එසේ වසා දමන්නේ කෙලෙසද? නමුත් ඇගේ දුරකතනයට වැල නොකැඩී ගලා ආ කෙටි පණිවිඩ ඊට හේතුව පැහැදිලි කළේය.

කාබුල් නගරය තලේබාන් සටන්කාමීන් විසින් අල්ලාගෙන තිබිණි. එහි ජනාධිපති නිල නිවස තුළ ඔවුන් නිදහසේ සැරි සරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ඇතැම් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පැවතුණි.

තලේබාන්වරුන් ගැන සියලුදෙනාම දැන සිටියේ දැඩි මතධාරී මුස්ලීම් සංවිධානයක් ලෙසිනි. ඔවුන්ගේ අරමුණ වූයේ ෂරියා නීතිය ස්ථාපිත කර එමගින් ඇෆ්ගනිස්ථානය පාලනය කිරීමයි. ඒ තුළ කාන්තාවන්ට තැනක් තිබුණේ නැත. ඔවුන්ට රැකියා කිරීම, අධ්‍යාපනය ලැබීම තහනම් විය. නිවසින් පිටතට යාමට නම් වැඩිහිටි පිරිමියෙකු සමඟ යාම අනිවාර්යය විය.

මට මතක් වුණා ඔවුන් මීට පෙර බලයේ සිටි කාලය. ඒ දැනට අවුරුදු විස්සකට පමණ ඉස්සර මගේ බාල කාලයේදී. රටේ සියලුම රූපලාවන්‍ය මධ්‍යස්ථාන වසා දමා තිබුණේ. ඒ කාලය ආයෙත් ඇවිත්.

2001 දී තලේබාන් සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ හමුදා සිදුකළ මෙහෙයුම් හේතුවෙන් ඔවුන්ගේ පාලනය ඇෆ්ගනිස්ථානයෙන් ගිලිහී ගියේය.

අෆ්සූන්ගේ වයස දැන් අවුරුදු විසි ගණනකි. 2001න් පසු ඇය හැදී වැඩුනේ රූපලාවන්‍ය හා විලාසිතාවන් ජීවිතයේ සාමාන්‍ය අංගයක් ලෙස සැලකුණු පරිසරයක් තුළය. ඊට එරෙහි වන්නට තවදුරටත් මූලධර්මවාදී පාලයක් රට තුළ නොවීය. කාබුල් නගරයේ පමණක් විවිධ රූපලාවන්‍ය මධ්‍යස්ථාන 200ක් පමණ විවෘත කර තිබිණි.

ළාබාල තරුණියක ලෙස සිටියදී නිතරම මගේ අතේ ගැවසුණේ විලාසිතා සරා. මගේ සහෝදරියන් හා මිතුරියන් සම රූපලාවන්‍ය ආයතනවලට යාමට මා පුරුදු වී සිටියා. ඒවා තුළ තිබුණු චර්මාලේපන, ශීර්ෂාලේපන, තොල් හා නිය ආලේපනවල සුව සමයි මා ජීවත් වූයේ.

අෆ්සූන් පවසයි.

ඒ අනුව ඇය රැකියාව ලෙස තෝරාගත්තේද රූපලාවන්‍ය ආයතනයක සේවය කිරීමයි. අන් සියලුම විලාසිතාගාරවල මෙන් එහිද බිත්ති පුරවා තිබුණේ විවිධ විලාසිතා සහිත හිසකේ රටා, නිය හැඩගැන්වීම් හා රූමත්වීමේ උපක්‍රම සහිත ඡායාරූපවලිනි.

නමුත් දැන් එම ඡායාරූප විකෘති කර තිබේ. රූමත් කාන්තා මුහුණු වැසෙන සේ පර්දාවන් සලකුණු කර ඇත. එහි අදහස පැහැදිලිය. යළිත් කාන්තාවන් මුහුණු වසාගෙන නිවසට කොටුවී සිටීමේ යුගය එළැඹී තිබේ.

දැන් ඇය සිය නිවසින් පලාගොස් ආරක්ෂාකරී ස්ථානයක සැඟවී සිටින්නීය. ඒ ඇය වැනි කාන්තාවන් තලේබාන්වරුන්ගේ ප්‍රමුඛ ඉලක්කයක් බැවිනි. ඇගේ රූපලාවන්‍යාගාරයේ ඡායාරූපවල මුහුණුද සායම් ගා විකෘති කර ඇත. ඒ කාන්තාවන් සිය මුහුණ හා සිරුර ආවරණය කරගෙන සිටිය යුතු බව තලේබාන්වරුන් තදින් විශ්වාස කරන හෙයිනි.

‘D’ ලෙස තමන්ව හඳුන්වාදුන් කාන්තාවද ඒ අතරින් කෙනෙකි. සිය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෑග දෙකක අසුරාගත් ඇය දස හැවිරිදි සිය පුත්‍රයාද සමඟ කාබුල් ගුවන්තොටුපොළ වෙත පයින්ම ගමන් කළාය. ඒ වනවිට නගරයට අඳුර ගලා එමින් තිබිණි. හදිසියේම, ඔවුන් වෙත කඩාවැදුනු පුද්ගලයින් කිහිපදෙනෙකු ඔවුන්ගේ බෑගයන් උදුරාගෙන පලා ගියෝය.

මගේ දෑස් ඉදිරිපිටම ඔවුන් සියල්ල පැහැරගත්තා.”

ඇය පවසන්නේ දෑස් කඳුළින් පුරවාගෙනය.

දශක දෙකකට කිට්ටු කාලයක් තුළ ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් සුරැකීමේ ආයතනයකට සම්බන්ධව කටයුතු කළ ඇය ඒ අතරේ ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබාදීමද කරගෙන ගියාය. ඒ අතර තලේබාන් සංවිධානය විසින් නිකරුණේ සිරගත කර සිටි බොහෝදෙනෙකු නිදහස් කරැගනීමටද ඇය සමත් වූවාය.

මට හොඳින්ම විශ්වාසයි ඔවුන් මා සොයමින් සිටින බවට. මේ අවස්ථාවේ රටින් පලා නොගියොත් ඔවුන් මා අල්ලා ගනීවි.”

‘D’ගේ කටයුතු නතර නොකළහොත් ඇගේ දරුවන් සිරගත කරන බවට මීට පෙර කිහිපවතාවක්ම තලේබාන්වරුන් තර්ජනය කර තිබුණි. ඒ අනුව වැඩිමල් පුතු කලින්ම නිවසින් පිටකර තැබීමට ඇය කටයුතු කළාය. සති ගණනාවක දීර්ඝ ගමනකින් පසු ඔහු කාබුල් ගුවන්තොටුපොළේ දහස් ගණනක සෙනඟ අතරට එක්වී සිටියේය. ඒ සිය ගමනාන්තය කුමක්දැයි දැනගෙන නොවේ.

ඇලිස් බෝමේජ්ගේ කතාව මීට වඩා වෙනස් එකකි. බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ හිටපු නිලධාරිනියක වන ඇය දිගු ගමනකින් පසු විඩාව නිවාගැනීම සඳහා නිවසට ගොඩවූවා පමණි. ඇයගේ නෙත ගැටුණේ සිය ජංගම දුරකතනයට ලැබී තිබූ වට්ස්ඇප් පණිවිඩයකි.

මාව මෙහෙ හිරවෙලා එළියට එන්න උදව් කරන්න.’

පණිවිඩය ලැබී තිබුණේ කාලයක පටන් ඇය දන්නා ඇෆ්ගන් ජාතිකයෙකුගෙනි. ඇය මේජර්වරියක ලෙස ඇෆ්ගනිස්ථානයේ සේවය කරද්දී ඔහු හා ඔහුගේ පවුල ළඟින්ම ඇසුරු කර තිබුණාය.

වට්ස්ඇප් පණිවිඩ ගණනාවක් දෙදෙනා අතර හුවමාරු වූ අතර එමගින් ඔහු ප්‍රකාශ කළේ තමන් දැඩිව අසරණ වී ඇති බවයි. ගිණුමේ මුදල් ඇතත් බැංකු වසා දමා ඇති බැවින් දරුවන්ට කිරිපිටි ගැනීමටවත් නොහැකිව සිටින බවයි.

බ්‍රිතාන්‍යයේ රාජකීය ආරක්ෂක විද්‍යාලයෙන් පුහුණුව ලැබූ ඇය අනුයුක්තව සිටියේ සැන්ඩ්හර්ට්ස් සිස්ටර්හුඩ් නම් සංඥා නාමයෙන් හඳුන්වනු ලැබූ කාන්තා බළකායටය. එහි සාමාජිකාවන් 2500ක් පමණ සිටි අතර, ඇලිස් එහි මේජර්වරියක ලෙස කටයුතු කළාය.

ඇෆ්ගනිස්ථානයෙන් පලායාමට උත්සාහ දරමින් සිටි සිය මිතුරා ඇතුළු පිරිසට සහාය වීමට ඇය ඔවුන් සම්බන්ධ කරගත්තාය.

දිවා රාත්‍රී වෙනසක් නැතිව මට කෙටි පණිවිඩ ගලා එන්නට පටන් ගත්තා. මේ මගේ බිරිඳ, මේ දරුවෝ, මගේ පාස්පෝට්, වීසා ආදී විවිධ විස්තර සඳහන් කරමින්. ඒ අවසන් වූයේ තමන්ට රටින් පිටවීමට උදව් කරන ලෙස කළ ඉල්ලීම්වලින්.”

මේ උදව් ඉල්ලූ අයගෙන් බොහෝදෙනෙක් සිටියේ සැඟවීය. ඔවුන්ගේ එකම ආපේක්ෂාව වූයේ රැකවරණය සොයා පලායාමයි. අවසානයේදී සැන්ඩ්හර්ස්ට් සිස්ටර්වුඩ් සෙබළියන්ගේ සහෝදරත්වය ඔවුන්ගේ පිහිටට පැමිණියේය.

ඉන්දීය කාන්තාවක වූ නවුෂීන්ගේ සැමියා ඇෆ්ගන් ජාතිකයෙකි. ඔවුන් ඉන්දියාවට යාම සඳහා ගුවන්යානයක් බලාපොරොත්තුවෙන් සිටියේ 19 වනදාය. නමුත් තලේබාන්වරුන් විසින් කාබුල් නුවර යටත් කරගත් බැවින් සියලුම ගුවන් ගමන් නවතා තිබිණි.

දුෂ්කරතාවන් ගණනාවකට පසු ඔවුන්ගේ අවස්ථාව උදාවූයේ 20 වනදා මැදියමත් ආසන්න වූ පසුවය. එහෙත් එයද සාර්ථක නොවූයේ දහස් ගණනක පිරිසක් රටින් පලායාමට බලා සිටි බැවිනි.

අන්තිමට මට සිදුවූයේ මගේ සැමියා හා දරුවන් නොමැතිව ඉන්දියාවට පලා ඒමටයි. ඒ අගෝස්තු 24 වැනිදා. මගේ පවුලේ අය තවමත් ඇෆ්ගනිස්ථානයේ.”

මේ වර්තමාන ඇෆ්ගනිස්ථාන කාන්තාවන් මුහුණ දී සිටින ගැටළු අතරින් උදාහරණ කිහිපයක් පමණකි. සරල සැහැල්ලු ඇඳුමකින් සැරසී නිදහසේ සාප්පු සවාරියේ යෙදුණු, රැකියාවන් කළ, උසස් අධ්‍යාපනය ලැබූ කාන්තාවන් වෙනුවට පර්දාවෙන් හා බුර්කාවෙන් සිරුර වසාගෙන, ගේ මුල්ලේ සැඟවෙන්නට ඔවුනට සිදුවේද?

ඒ පිළිබඳ ඉඟියක් බලය අල්ලාගත් වහාම තලේබාන් සංවිධානය ලබාදුන්නේය. ඒ කාන්තාවන්ට ගෞරව කිරීමට සිය සාමාජිකයින්ට පුහුණුවක් ලබාදී නොමැති බැවින් රැකියා කරන කාන්තාවන් නිවෙස්වල රැඳී සිටිය යුතු බවයි.

ඉතිහාසය කියාදී ඇති පාඩම් අනුව නම් ඇෆ්ගනිස්ථානය තවදුරටත් කාන්තාවන්ට සුරක්ෂිත දේශයක් නොවේ. ඉන් පලා යන්නට නොහැකි වූ කාන්තාවන්ට ඇති එකම සහනය තමන් හෙලන කඳුළු හා සුසුම් බුර්කාවෙන් සැඟවී තිබීම පමණකි.

වසන්ත විජේරත්න