ඉස්සර කොළඹ ආවාම තාත්තයි මමයි බස් හෝල්ට්වලත් නිදි මරලා තියෙනවා
තැන්පත් පෙනුමක්, භාවමය කටහඬක් එක්ක හොඳ අත්ගුණයක් තියෙන කාන්තාවකට ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා ඒ කාලේ ඍෂිවරු කියලා තියෙනවලු. භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ට ඔය හැම ගුණාංගයක්ම පිහිටා තිබුණලුනේ. ඇයට තිබුණු ජනතාකර්ෂණය නිසාම ඉන්දියාවේ කොච්චර ප්‍රකට යෞවන ගායිකාවන් හිටියත් මියයන තුරුම ඇයව හැඳින්වූයේ භාරතයේ ගීත කෝකිලාවිය විදිහටයි.
ප්‍රකට යෞවන ගායිකාවන් කොච්චර හිටියත් ඒ සියල්ලන් අභිබවා රසික ආදරය, ආකර්ෂණය නොඅඩුව ලබන ගීත කෝකිලාවියක් අපිටත් ඉන්නවා. තැන්පත් පෙනුමක් වගේම භාවමය කටහඬක් ඇයටත් හිමියි. හැබැයි අත්ගුණය ගැන නම් කියන්න අපි දන්නේ නැහැ. කතාව අතරමැදදී ඒ ගැනත් අපි අහලා බලමු.
ඇය තමයි සශිකා නිසංසලා. ඇගේ හඩට වශී නොවුණු කෙනෙක් අපේ රටේ ඇති කියලා හිතන්න අමාරුයි. පිට පිට හත්වැනි වතාවටත් ඇය SLIM-KANTAR සම්මාන උළෙලේ ජනතාවගේ ගායිකාව විදිහට සම්මාන දිනාගත්තෙත් ඒ නිසාම වෙන්න ඕන. ඒ විතරක් නෙමේ ඒ සම්මාන උළෙලේදී මෙවර තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානය දිනාගත්තෙත් ඇය. කටහඬ වගේම ඇගේ රූපයත් බොහොම සුන්දරයි. හදවතේ ලස්සන නිසදෝ අපි දන්න කියන කාලේ ඉඳලම ඇගේ ඒ සුන්දර රූපය වෙනස් වුණෙත් නෑ. ඉතින් අද ‘ධරණී’ කවරය සැරසෙන්නෙ ඇගේ ඒ සොඳුරු රුවින්.
*‘‘ඉතින් සශිකා කතාව පටන් ගන්න පුංචි කාලෙට යමුද?’’
‘‘මම ඉපදුණේ දැරණියගල, ඌඩාපොල කියන ගමේ. ඒක මගේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ගම. පවුලේ හිටියේ මායි මල්ලියි විතරයි. තාත්තා කළේ රජයේ රස්සාවක්. මහ ලොකුවට සල්ලි නැති වුණත් අඩුපාඩුවක් නොකර ඒ දෙන්නා අපිව බලාගත්තා.
තාත්තා සංගීතයට පුදුමාකාර විදිහට ලැදියි. තාත්තාගේ පවුලේ හැමෝටම සහජමය සංගීත හැකියාවක් තිබුණා. ඉතින් ඉස්සර තාත්තා අපිව ඔඩොක්කුවේ තියාගෙන සිංදු කියනවා, සර්පිනා ගහනවා. ඔය කාලේ අපේ ගෙදරට විදුලිය තිබුණෙත් නෑ. හැබැයි අපිට බැටරිවලින් වැඩ කරන පොඩි රේඩියෝ එකක් තිබුණා. ඉතින් තාත්තා ඕකට බැටරි දාලා අපිට සිංදු අහන්න දෙනවා. පුංචි කාලෙ ඉඳන් සිංදුම තමයි ජීවිතේ.’’
ඕනම කෙනෙක්ගේ මුල්ම ගුරුවරුන් වෙන්නේ දෙමව්පියන් කියලා කතාවක් තියෙනවනේ. ඇගේ මුල් ගුරුවරයා වගේම ජීවිතේ හරි මග පෙන්නූ දිශානතියත් පියා බවයි ඇය කිහිපවරක්ම කිව්වේ.
‘‘ඔන්න ඉතින් මට අවුරුදු නවයක් දහයක් වෙද්දි අපි අවිස්සාවේල්ලේ පදිංචියට ආවා. අපේ අධ්‍යාපනය ගැන හිතල තමයි තාත්තා ඒ තීරණය ගත්තෙත්. ඔය කාලේ මම විශාරද ආනන්ද රාජපක්ෂ ගුරුතුමාගෙන් ඉන්දියානු රාගධාරී සංගීතය හදාරන්න පටන්ගත්තා. ඊටපස්සෙ මම අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයත් පාස් කරලා ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලයට ඇතුල් වුණා. ඒකත් මගේ ජීවිතේ එක සන්ධිස්ථානයක්. පාසලේදි මට සංගීත තරඟවලට යන්න අවස්ථා ලැබුණා. සාමාන්‍ය පෙළ පංතිය වෙනකොට මම සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් ලබාගෙන අවසන්. උසස් පෙළ පංතියේදී විශාරද විභාගයත් අවසන් කළා.’’
නිසංසල සඳක් කියන ගීතයෙන් ජනප්‍රිය වුණාට ඇය එක රැයකින් පෑයූ සඳක් නොවන බව දැන් අපිට පැහැදිලියි. අත්දැකීම්, කැපවීම්, ජයග්‍රහණ මේ හැමදේකම සාරය එක්කාසුකොටගෙන ක්ෂේත්රයට පැමිණීම සමහරවිට ඇගේ ගමනේ සාර්ථකත්වයට හේතු වෙන්න ඇති.
‘‘ළමා ගායිකාවක් විදිහට මාව ක්ෂේත්රයට ගේන්න තාත්තා ගොඩක් හීන දැක්කා. මගේ කැසට් එකක් කරන්නත් ඒ කාලේ සල්ලි හෙව්වා. හැබැයි ඒ වැඩේ හරි ගියේ නෑ. පස්සේ ඔහු මාව ජාතික රූපවාහිනියට එක්කරගෙන ගියා. එතැනදි මට ‘උදාර’ ළමා ගීත වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතකොට මට අවුරුදු නවයක් දහයක් වගේ ඇති. පස්සේ මුතුහර, හඳමාමා වගේ වැඩසටහන්වලටත් එකතු වුණා. උසස් පෙළටත් සංගීතය තෝරගත්තා. මට ගුරුවරියක් විදියට දීපිකා මිස්ව මුනගැහුණෙත් ඔය කාලේ. පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සංගීත විශේෂවේදී උපාධියත් සම්පූර්ණ කළා. ඔය කාලෙදි අපේ රටේ සංගීත ශාස්ත්‍රපති උපාධිය තිබුණේ නෑ. ඒ නිසා නාට්‍ය හා රංගකලා විෂයෙන් ශාස්ත්‍රපති උපාධිය ගත්තා.’’
*‘‘එතකොට ගායිකාවක් විදිහට ක්ෂෙත්රයේ ප්‍රසිද්ධ වෙන්නේ කොයි කාලේද?’’
‘‘ඉස්සර දැන් වගේ හැම නාළිකාවකම රියැලිටි තරඟ තිබුණේ නැහැ. යූටුයුබ් තිබුණෙත් නැහැ. ඉතින් එහෙම කාලෙක ක්ෂෙත්රයේ නමක් හදාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒ කාලේ තිබුණු එකම තරඟය තමයි ජාතික රූපවාහිනියෙත් තරුණ සේවා සභාවේත් එකතුවෙන් කරපු ‘තුරුණු ශක්ති.’ ඒක ඒ කාලේ හැමෝම වගේ ආසාවෙන් නැරඹුව වැඩසටහනක්. උසස් පෙළ කරද්දි මම ඔය තරඟයේ දිස්ත්‍රික් තරඟයට සහභාගි වෙලා ජයග්‍රහණය කළා. එතැනදි රොබින්සන් අන්දරය කතාවේ තේමා ගීතය ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඔන්න ඉතින් ඒ ගීතය ඒ කාලේ පුංචි අය අතරේ හරියට ජනප්‍රිය වුණා. ඔය දවස්වල මට ඉස්කෝලේ ගිහින් කෑම කන්න, ඉගෙනගන්න එහෙම වෙලාවක් තිබුණේම නැහැ. මාව දැක්ක හැටියේ නංගිලා මල්ලිලා මාව වටකරන් මං ලවා ඒ සිංදුව කියව ගන්නවා. පස්සේ තරඟයේ පළාත් තරගයත්, අවසාන තරගයත් ජයග්‍රහණය කරන්න මට පුළුවන් වුණා. ඒත් එක්කම ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ නිර්මාණවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් ගොඩක් අය මාව අඳුනගත්තේ එතැනින්.’’
ඇගේ පළමු ගීත ඇල්බමය ‘පාරමිතා.’ මේ ඇල්බමයේ තිබුණු බොහෝ ගීත රසික ජනතාව බොහොම ආදරෙන් වැළඳගත් බව ඇය කිව්වේ සතුටින්. ඕනම ක්ෂේත්රයක නමක් හදාගන්න එකට වඩා හදාගත්තු නම එකම විදිහට පවත්වගන්න එක තමයි අමාරුම කර්තව්‍යය. හැබැයි ඇය ඒ අභියෝගයත් බොහොම සාර්ථක විදිහට ජයගත් ගායිකාවක්.
‘‘මම මේ ක්ෂෙත්රයට ඇවිල්ලා වසර විසිදෙකක් වෙනවා. එදා ඉදලා කළ හැම ගීතයක්ම රසිකයෝ ආදරෙන් වැළඳගත්තා. ඕනම ක්ෂේත්රයක පැවැත්මක් තියාගන්න යම් කැපවීමක් කරන්න ඕනේ. ගීතයක් තෝරාගන්නකොට ගීතයක පද රචනා, තනු නිර්මාණ මට දැනෙනවද කියන එකයි මම මුලින්ම බලන්නේ. අනිත් දේ තමයි කාලයත් එක්ක අපි යාවත්කාලීන වෙන්න ඕනේ. ඕනම ක්ෂේත්රයක් ජයගන්න මේ කාරණා පොදුයි.’’
*‘‘ක්ෂේත්රයේ පැවැත්ම වගේම එදා තිබුණු රසික ආදරෙත් ඒ විදිහටම තියෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?’’
‘‘මේ තරම් ආදරේ ලැබෙන්නේ නම් පෙර කළ කර්ම ශක්තියක් නිසා වෙන්න ඇති. පුංචිම දරුවගේ ඉඳලා වයස හැත්තෑවේ අසූවේ රසිකයොත් මට ඉන්නවා. දවසක් මම සංගීත ප්‍රසංගයක සිංදු කියනකොට අවුරුදු තුනක වගේ පුංචි බබෙක් අම්මගේ ඔඩොක්කුවෙන් බැහැලා මගේ ළඟට ඇවිත් සිංදු කියලා ඉවර වෙනකල්ම මගේ ළඟට වෙලා හිටියා. ඒ වගේ වෙලාවට ඉතින් මටත් පුදුමාකාර සතුටක් දැනෙනවා. ඉතින් ඔය ආදරේ එක්ක මට පිට පිට හත්වතාවක් ජනප්‍රියම ගායිකාව විදිහට ස්ලිම් ජනතා සම්මානය ලැබුණා. ඒවත් ඇතුළුව මේ වෙනකොට සම්මාන විසිදෙකක් ලැබිලා තියෙනවා. ඒ හැම එකක්ම මට වගේම මගේ ආදරණීය රසිකයන්ට, මගේ ගීතවල තනු රචකයින්ට, පද රචකයින්ට සහ ගීතවලට සංගීතය සැපයූ ප්‍රවීණ වාදන ශිල්පීන්ට රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතනවලටත් අයිතියි.’’
SLIM- KANTAR ජනතා සම්මාන උළෙලේ ජනප්‍රියම ගායිකාව විතරක් නෙමෙයි මෙවර තාරුණ්‍යයේ ගායිකාව ලෙස පිදුම් ලැබුවෙත් ඇය. ඇයත් එක්ක ඒ සම්මානයට නිර්දේශ වෙලා තිබුණේත් අපේ රටේ ප්‍රසිද්ධ යෞවන ගායිකාවන් දෙදෙනෙක් වෙන යොහානි සහ උමාරියා. ඉතින් ඔවුනුත් අභිබවා ඒ සම්මානය ගන්න ඇය සමත් වුණේ ඇය තාරුණ්‍යයේත් හිත් දිනාගෙන ඇති නිසයි.
ඇගේ සිංදුවලට විතරක්ම නෙමෙයි ඇය අඳින පළඳින විදිහට පවා අපේ රටේ බොහෝ දෙනා කැමතියිනේ. ඉතින් ඒ ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවා.
‘‘අපේ රට බෞද්ධ සංස්කෘතියක් එක්ක බැඳිච්ච රටක්නේ. ඉතින් ගුණධර්ම එක්ක ජීවත් වෙන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ. අනික මම අම්මා කෙනෙක්. ඉතින් ඇඳුමක් අඳිනකොට වුණත් ඒක මම යන තැනට ගැලපෙනවද කියලා හිතලා බලනවා. මට ක්ෂේත්රයේ කවදාවත් වැරදි ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. කාන්තාව තමයි මේ සමාජයේ ඉන්න ගෞරවනීයම කෙනා. ඉතින් ගෞරවය රැකගන්න අපිත් දැනගන්න ඕනේ. ගැහැනියෙක් විදිහට හැමදේමටම සීමා දාගන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒත් අම්මා කෙනෙක්, බිරිඳක් විදිහට ඒ ගෞරවය රැකගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ.’’
*‘‘සශිකා මේ ළඟදි ගෝල්ෆේස් පිටියේ තියෙන ජන අරගලයටත් සහභාගී වෙලා තිබුණා. එතැනට ගියේ රසිකයෝ තරහා වෙයි කියලා හිතලද?’’
‘‘අපෝ නැහැ. මම එතැනට ගියේ පෞද්ගලික වාසි බලාගෙන නෙමෙයි. අනික මම අරගලයට සහභාගී වුණේ කලාකාරියක් විදිහටත් නෙමෙයි. මම ගියේ සාමාන්‍ය වැසියෙක් විදිහට. දැන් අපේ ජනතාවට තියෙන ප්‍රශ්න සේරම අපිටත් තියෙනවා. ඉතින් මටත් ඒ පීඩාව දැනෙනවා. මේ වෙලාවේ එතැනට එකතු වෙන්නේ රටට ආදරේ කරන මිනිස්සු. අපේ දරුවන්ට රටක් හදන්නයි ඒ අය දතකන්නේ. ඉතින් ඒ අයට හයියක් වෙන්න අපිටත් යුතුකමක් තියෙනවා.’’
සශිකා පුංචි පුතාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් ඒ දරු පරපුරට සුවෙන් ඉන්න මේ රට ඉක්මනටම සුවපත් වේවා කියලා තමයි ඇය ප්‍රාර්ථනා කළේ.
‘‘කාර්යබහුල නිසා මට නිතරම පුතාලා එක්ක ඉන්න බෑනේ. ඉතින් එයාලා දෙන්නත් මම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. අම්මයි තාත්තයි තමයි ගොඩක් වෙලාවට ඒ දෙන්නව බලාගන්නේ. හැබැයි පුළුවන් හැමවෙලාවම මමත් ගෙදර වැඩපල කරනවා. මගේ සැමියා ගැනත් කියන්න ඕනේ. ඔහු තමයි දැන් මගේ සෙවණැල්ල. ඔහු නැත්තම් මට මේ දේවල් මෙච්චර සාර්ථක කරගන්න ලැබෙන එකක් නැහැ.’’
සශිකාට රසට උයන්න පුළුවන්ද කියලා අහන බව මුලින් කිව්ව නිසාම ඒ ගැනත් මම ඇයගෙන් අහලා බැලුවා
‘‘අපෝ ඔව්… මට රසට උයන්න පුළුවන්. මම හදන කෑම කන්න හැමකෙනෙක්ම වගේ ආසයි.’’ ඇය කිව්වේ හිනාවෙන ගමන්මයි.
මනුස්සයෙක් කන්දක් උඩට නැග්ගම ගොඩක් අයට පේන්නේ ඔහු එතැන හිටගෙන ඉන්න විදිහ විතරයි. හැබැයි එතැනට යන්න වුණු මහන්සිය දකින පිරිස අඩුයි. ඉතින් අවසාන වශයෙන් තරුණ පරපුර වෙනුවෙන් මේ විදිහේ පණිවිඩයක් දෙන්නත් ඇය අමතක කළේ නැහැ.
‘‘මේ ගමන මම එක රැයකින් ආව එකක් නෙමේ. අපිට ඉස්සර යානවාහන නැහැ. ගමට බස් තියෙන්නෙත් පාන්දරට විතරයි. ඉතින් ආධුනික ගායිකාවක් විදිහට සිංදු කියන්න කොළඹ ආවම ආපහු ගෙදර යනකල් තාත්තයි මමයි බස් හෝල්ට්වලනිදි මරලා තියෙනවා. ටිකක් දියුණු වේගෙන එනකොට කකුලෙන් ඇදපු අයත් නොහිටියම නෙමෙයි. මම ඒ දේවල් මගේ ජීවිතේට පන්නරයක් කරගත්තා මිසක බාධාවක් කරගත්තෙ නෑ. ඉතින් මම හැමවෙලෙම කියන්නේ උත්සාහය අතඅරින්න එපා කියලා. දැන් ඉන්න දරුවන් මේ දේවල් බොහොම ඉක්මනින් තේරුම් අරන් හැමදේම ඉගෙනගන්නවා. ඉතින් ඉදිරියට බිහිවෙන්නේ බුද්ධිමත් තරුණ පරම්පරාවක්. ඔවුන් මේ රට හදයි කියන විශ්වාසය මට තියෙනවා. ඒ අතින් මට මගේ රට ගැන බයක් නැහැ.’’
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප : ප්‍රදීප් දබරගේ