විශේෂාංග

දරුවන් එගොඩ කරවන්නට තනිවම සිහින පාලම හැදූ බංග්ලාදේශයේ අම්මා

මං කොහොම හරි පද්ම ගංඟාවට උඩින් යන්න පාලමක් හදනවා. අනුන්ගෙන් යැපෙන්නේ නැතුව අපේම අරමුදල් සපයාගෙන මං ඒක කරනවා. මාව විශ්වාස කරන්න.

ඒ වරක් බංග්ලාදේශ අගමැතිනී ‘ෂීක් හසීනා’ (Sheikh Hasina) තම ජනතාවට දුන් පොරොන්දුවයි. ලෝක බලවතුන් පමණක් නොව බංගලාදේශයේ ආර්ථික විද්‍යාඥයන් පවා ඇගේ එම කතාව අසා පුදුම වූහ. ඒ එවැනි දැවැන්ත ව්‍යාපෘතියක් බහු පාර්ශවීය දායකත්වයක් නොමැතිව කිරීමට සිතන තරම් පහසු නැති බව දන්නා හෙයිනි.

නමුත් එදා ෂීක් හසීනාට එවැනි තීරණයක් ගැනීමට හේතු වූ ලොකු කතාවක් තිබුණි. ඒ දැවැන්ත දූෂණ චෝදනා කීපයක් මතුකරමින් ලෝක බැංකුව සහ අනෙකුත් ණය දෙන ආයතන ඇයට පිටුපෑමයි. වරක් අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් බංග්ලාදේශය ලෝක බැංකුව සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ණය මුදලක් සඳහා ගිවිසුමකට එළැඹියද ඉහත කී දූෂණ චෝදනා හමුවේ ඔවුන් එම ගිවිසුම අත්හැර දැමීය. පසුව ලෝක බැංකුව ගිය පාරේම යමින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) මෙන්ම ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) පවා ඔවුන්ට ණය දීම ප්‍රතික්ෂේප කළේය.

ෂීක් හසීනා කලක පටන් උත්සාහ කළේ බංග්ලාදේශයේ ප්‍රසිද්ධම ගංඟාවක් වන පද්ම ගංඟාව යා කරමින් ශරිඅත්පූර් සහ මදරිපූර් අතර පාලමක් ඉදිකිරීමටය. එය ඉදිකිරීමේ අරමුණ වූයේ එතෙක් ගංඟාව තරණය කරමින් එහා මෙහා ගිය බංග්ලාදේශයේ නිරිත දිග පිහිටි දිස්ත්‍රික්ක විසි එකක ජනතාවට ඩකා අගනුවර වෙත කෙටි වෙලාවක් ඇතුළත පහසුවෙන්ම ළඟාවීමේ හැකියාව උදාකරලීමයි. එහෙත් එවර ඒ වික්‍රමය කරන්නට ෂීක් හසීනාට ඉඩ නොලැබී ගියේ ලෝක බැංකුව සහ අනිකුත් ණය දෙන ජාත්‍යන්තර ආයතන කලින් කී අන්දමට ඇයට පිටුපෑම නිසාය. එයම ශක්තියක් කරගෙනයි අගමැතිනිය කිසිවෙකුගේ උදව් නොමැතිව පාලම ඉදිකරන බව ප්‍රසිද්ධියේම පවසා සිටියේ.

කවදත් දේශපාලනය තුළදී බොහෝ පාලකයින් දුන්නේ බොරු පොරොන්දුය. නමුත් එවන් පොරොන්දු දුන් මෙන්ම අදටත් දෙමින් සිටින පාලකයින්ට රිදෙන්නටම ටොක්කක් අනිමිනි ෂීක් හසීනා තම ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ දුන් පොරොන්දුව පසුගියදා ඉටුකළාය. ඒ බංග්ලාදේශයට දැවැන්ත අඩුපාඩුවක්ව පැවති පාලම ඇය කී ලෙසින්ම සාදා නිමකරමිනි. ඒ අනුව පද්ම ගංඟාව හරහා ඉදිකළ දැවැන්ත පාලම ෂීක් හසීනා අතින් පසුගිය ජූනි 25 වෙනිදා විවෘත විය. ස්වශක්තියෙන් තැනූ යෝධ ව්‍යාපෘතියක් ලෙස සැලකෙන එම පාලම නම් කර තිබුණේ ‘පද්ම පාලම’ (Padma Bridge) යනුවෙනි.

එක් දුම්රිය මාර්ගයකින් සහ වාහන ධාවන මංතීරු හතරකින් සමන්විත පද්ම පාලමෙහි සමස්ත දිග ප්‍රමාණය වන්නේ කිලෝමීටර් 6.15 කි. එනම් සැතපුම් 3.82 කි. ඊට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.87 ක් ලෙස සඳහන්ය. බංග්ලාදේශය විසින් සිදුකරනු ලැබූ විශාලතම බහුවිධ ව්‍යාපෘතිය වන්නේද මෙයයි. එපමණක් නොව බංග්ලාදේශ ඉතිහාසයේ වඩාත් අභියෝගාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිය ලෙස සැලකෙන පද්ම පාලම එරට දිගම පාලම මෙන්ම දකුණු ආසියාවේ විශාලතම පාලම් අතරින්ද එකකි.

සමහර අය හැමවිටම අනුන් මත යැපෙනවා. නමුත් බංග්ලාදේශයේ ජාතියේ පියා වෙන බංගබන්දු ෂීක් මුජිබර් රහමාන් අපට උගන්වා තිබෙන්නේ ස්වඅභිමානයේ වැදගත්කමයි. අපි ලෝකයටම පෙන්නුවා අපිට යමක් කරන්න පුළුවන් කියලා. අපි පද්ම පාලම හැදුවා. අපි අපේම මුදල්වලින් අපේම පාලමක් හැදුවා.

පද්ම පාලම ජනතා අයිතියට පත්කරමින් ඇය එසේ පැවසුවේ තරමක ආඩම්බර බවක්ද සිත තුළ හොවාගෙනය. ඇගේ නොපසුබට උත්සාහය නොවන්නට බංග්ලාදේශයට පද්ම පාලම අදටත් සැබෑ නොවනා සිහිනයක් වීමට ඉඩ තිබුණි. ඇය පවසා සිටියේ බංග්ලාදේශය ස්වශක්තියෙන්ම අරමුදල් සපයමින් මෙම සිහින පාලම නිමකළ නිසාවෙන් එය ‘ජාතික අභිමානයේ සංකේතය’ ලෙසින් සැලකිය යුතු බවයි.

මෙම යෝධ ව්‍යාපෘතිය සිදුකළ ෂීක් හසීනා කට පුරා සිනාසෙමින් අද එසේ කියද්දී ඇමෙරිකාව, චීනය වැනි ලෝක බලවතුන්ගේ පවා දෑස් යොමුවී ඇත්තේ හසීනා දෙසටය. සැබෑවටම ඇය සිදුකළ මෙම වික්‍රමය ඔවුන්ටත් සිතාගත නොහැකිය. ඇරත් කිසිවෙකුගේ උදව් නොමැතිව මෙවන් වික්‍රමයක් තනිවම කළේ ගැහැනියක් වීම ඔවුන් කාගේත් පුදුමයට හේතු වී ඇත.

මේ වනවිට ලෝකයේ වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ කාන්තාව ෂීක් හසීනාය. ඒ දහඅට වසරකට අධික කාලයකි. 1947 සැප්තැම්බර් 28 වෙනිදා උපත ලැබූ ඇය මේ ගෙවා දමමින් සිටින්නේ ජීවන ගමනේ 74 වෙනි නවාතැනය. බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන එරට ප්‍රථම ජනපති බංගබන්දු ෂීක් මුජිබර් රහමාන්ගේ දියණියක වන ෂීක් හසීනාව එරට ජනතාව හඳුන්වන්නේ ‘බංග්ලාදේශයේ අම්මා’ යනුවෙනි. ඒ තරමටම ඔවුන්ගේ බැඳීම ළෙන්ගතුය. ඉතින් ෂීක් හසීනා ලෝකයටම ආදර්ශමත් ගැහැනියක බව කියන්නට තවත් උපමා රූපක උවමනා නැත. අද පද්ම පාලමෙන් යන එන බොහෝදෙනා යන්නේ ඇයට පින් දී ගෙනය. දහසකුත් වැරදි කියා ලෝකයා හසීනාට එකදිගට ඇඟිලි දිගු කරද්දී තමන්ගේ දරුවන්ට තමන්ගේ අම්මා රත්තරන් කියන්නේ ඒකය.

රුවන් එස්.සෙනවිරත්න