විශේෂාංග

අම්මා ගහන පදේට නටන්න බලාගෙන නම් ගෑනු ගන්න එපා මයේ පුතේ

සාරංගයි, නිමාලියි මුණගැහුණේ යෝජනාවකින්. පවුල් දෙකේම අය එකඟතාවයකට ආවත් නිමාලිට ඕනෙ වුණේ තවත් ටික කාලයක් සාරංගව ඇසුරු කරලම තීරණයක් ගන්න. මොකද අහම්බෙන් වගේ සාරංගගේ නැන්දා කෙනෙක් කියපු කතාවක් නිමාලිගේ කනට වැටිලා තිබුණා.

‘‘ඇති යන්තම් අර කෙල්ලගෙන් අපේ දරුවා ගැලවුණා.’’

ඒ කතාවෙ තේරුම දැන ගන්න ලොකු උවමනාවක් තිබුණ නිසා නිමාලි ඉවසිල්ලේ බලන් ඉන්න තීරණය කළා.

සාරංගගේ කඩවසම්කමට යටින් හැමවෙලාවෙම වගේ මොකද්දෝ දුකක් හැංගිලා තියෙනවා කියලා නිමාලිට හිතිලා තිබුණා.

‘‘අපි දවසක විනූ පාර්ක් එකට ගිහින් කතා කරමුද?’’ නිමාලි සාරංගගෙන් ඇහුවේ දුරකතන ඇමතුමක් ලබාදීලා.

එවේලේ කැමති වුණත් පසුව සාරංග ඇමතුමක් ලබාදුන්නේ තීරණය වෙනස් කළ බව පවසමින්.

‘‘නිමාලි අපි විනූ පාර්ක් එකට නොයා දළදා මාලිගාවට යමුද?’’ සාරංග ඇහුවා.

‘‘ඇයි ඒ?’’

‘‘අම්මා කිව්වා දළදා මාලිගාවට යන්න කියලා. පාර්ක් ගානේ යනවට වඩා ඒක හොඳයිලු.’’ සාරංග කියද්දී නිමාලිගේ මුහුණේ ඇඳුනේ හිනාවක්. සාරංගගේ ප්‍රශ්නය මොකද්ද කියලා යන්තමට වගේ නිමාලිට තේරුණා.

දළදා මාලිගාවට ගිහින් දවල්ට කන්න අවන්හලකට ගොඩ වැදෙනකම් නිමාලි ඉවසීමෙන් බලාගෙන හිටියා.

‘‘ඔයාට කලින් අෆෙයාර් එකක් තිබ්බද?’’ නිමාලි එහෙම අහද්දි සාරංගගේ මුහුණ තවත් දුක්බර අතට හැරුණා.

‘‘ඔව්, ඒ ගැන දැන් කතා කරලා තේරුමක් නැහැ.’’ සාරංග කිව්වේ සුසුමකුත් හෙලන ගමන්.

‘‘අම්මද අකමැති වුණේ?’’ නිමාලිත් පරාජය භාරගන්න ලෑස්ති වුණේ නැහැ. හාරවුස්සලා ඒ ගැන ඇහුවේ ඒ නිසයි. සාරංගගේ දෙනෙත් නිමාලි දිහාට යා වුණා.

‘‘ඔව් නිමාලි. එයා අමන්දා. එයාගේ තාත්තා දැන් පොල් මුදලාලි කෙනෙක්. ඒත් මුල් කාලෙදි අමන්දාගේ තාත්තා පොල් කඩපු කෙනෙක්. අපේ පොල් වතුවල පොල් කඩන්නත් ඒ අන්කල් ඇවිත් තියෙනවලු. මම ඕවා නොදැන අමන්දා එක්ක යාළු වුණේ කම්පියුටර් ක්ලාස් එකේදි.’’

‘‘ඉතින්?’’

‘‘අමන්දා ගැන ගෙදරට කිව්වම අපි අමන්දලාගේ ගෙදරට ගියානේ. එතකොට තමා අපේ අම්මයි තාත්තයි අමන්දාගේ තාත්තව අඳුනගත්තේ. අපේ තාත්තා නම් කිව්වේ මිනිහෙක් හිටිය තැන නෙවෙයි, දැන් ඉන්න තැන තමයි වැදගත් කියලා. ඒත් අම්මා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.’’ සාරංග කිව්වේ දුක්බර හඬකින්.

‘‘ඔයාලා අවුරුදු කීයක් යාළුවෙලා හිටියාද?’’ නිමාලි ආයෙමත් ඇහුවා.

‘‘අවුරුදු 5යි මාස 4යි. අමන්දා හරිම හොඳයි. අම්මා නිසයි මෙහෙම වුණේ.’’

‘‘සාරංග මෙතන තියෙන්නේ අමන්දාගේ තාත්තා සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගේ අම්මගෙයි, ඔයාගෙයි ප්‍රශ්නයක්. මට නම් ඔයාලගේ පවුලට සම්බන්ධ වෙන්න ඇත්තටම බයයි. ඔයාගෙ අම්මා නිසා අපේ පවුල් ජීවිතෙත් අවුල් වෙයි.’’ නිමාලි කියද්දි සාරංග කලබල වුණා.

‘‘එහෙම කියන්න එපා. අපේ අම්මා ඔයාට කැමතියි.’’ සාරංග කියද්දි නිමාලි මුවේ ඇඳගත්තේ හිනාවක්.

‘‘අම්මා නෙවේනේ සාරංග මම වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ ඔයා. ඔයාට බැරි වුණා නම් අවුරුදු 5ක් ආදරේ කළ කෙල්ල වෙනුවෙන් පෙනී ඉන්න, යෝජනාවකින් අඳුනගත්තු මම වෙනුවෙන් පෙනී හිටීවිද? තමන්ට ඕනෙ විදිහටම දරුවෝ හැමදේම කරන්න ඕනෙ කියලා දෙමාපියෝ හිතන එක එච්චර හොඳ නැහැ. වැඩිහිටියෙක් වුණු ඔයාගේ තීරණ පාලනය කරන එක ඔයාලගේ අම්මගේ පුරුද්දක්. අම්මා කිව්ව ගමන් තමන්ගේ තීරණ අකුල ගන්න එක ඔයාගේ පුරුද්දක්. අදත් අපි කතා වුණේ පාර්ක් එකට යන්න. අම්මා කියපු ගමන් ඔයාගේ තීරණය වෙනස් වුණා. ඒක පොඩි සිද්ධියක් තමයි සාරංග. ඒත් ඒක මට අනගාතේ ගැන පෙන්වන සංඥාවක්.’’ නිමාලි කිව්වම සාරංග කල්පනාවට වැටුණා.

‘‘ඔයා කියන්නේ ඇත්ත නිමාලි. මම ඔයාට කැමැත්ත දුන්නේ අම්මගේ බල කිරීමට. ඇත්තටම මගේ හිතේ ඉන්නේ අමන්දා. අමන්දායි, මායි එක වගේම විඳවනවා. ඔයා හිතන්නේ මම අම්මට විරුද්ධ වුණාට පව් නැද්ද?’’ ආයෙමත් සාරංග ඇහුවා.

‘‘කැමති දෙයක් කරන්න කලින් බලන්න ඒක ආගමට ධර්මයට අනුව පවක්ද කියලා. ඊටපස්සෙ බලන්න ඒක නීතිවිරෝධීද කියලා. ඒක පවක් නෙවෙයි නම්, නීතිවිරෝධී දේකුත් නෙවෙයි නම් කවුරු එපා කිව්වත් බය වෙන්නේ මොකටද? පොල් කඩන රස්සාව නීතිවිරෝධී රස්සාවක්වත්, පවක්වත් නෙවෙයි. අනිත් එක ඒ මනුස්සයා ටික ටික දියුණු වෙලා. වගේම ඔයා බඳින්නේ ඒ මනුස්සයව නෙවේ. ඒ මනුස්සයගේ දුවව. තාත්තා අවුරුදු ගාණකට කලින් කරපු රස්සාව ගැන කියලා කිසිම වරදක් නොකරපු අහිංසක කෙල්ලෙක්ව අත් අරින එක නේද ඇත්තටම වැරදි?’’ නිමාලි අහද්දි සාරංගගේ මුහුණේ හිනාවක් මැවුණා.

‘‘ඔයා හරියටම හරි නිමාලි. මට හැමෝම කිව්වේ අම්මගේ හිත රිද්දන්න එපා කියලා. ඒත් ඒ කවුරුවත් දැක්කේ නැහැ ඇත්තටම රිදෙන්නේ මගේ හිත කියලා. ඇත්ත. අමන්දා කියන්නේ කිසිම වරදක් නැති අහිංසක ගෑනු ළමයෙක්. මම එයාව බඳිනවා.’’ අවන්හලෙන් පිටතට එද්දි සාරංග කිව්වේ හරිම සතුටින්.

ගෙදරට ආපු නිමාලිත් හිටියේ හිතේ සතුටින්. දවස් තුනක් යද්දිම නිමාලිට ලැබුණේ සාරංග හදිසියේම හිතුවක්කාර විදිහට විවාහ වුණා කියන ආරංචිය. ඇත්ත විස්තරේ නොදැන නිමාලිගේ අම්මයි, තාත්තයි සාරංගට බණිනවා ඇහුණත් නිමාලි නම් කැඩෙන්න ගිය කුරුළු කූඩුවක් එකතු කරන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වුණා.

සමාධි ඩයස්