හිත රිද්දන එක උන්ගෙ විදිය වුණාම ඉවසන එක අපේ විදිය වෙන්න ඕනැද?
කල්පනා මේසයට හිස ඔබාගෙන ඉකිබිඳිමින් සිටින්නීය. ඒ ඇයිද කියා මම හොඳින්ම දන්නෙමි. ඒ සරලා මැඩම්ගේ බැණුම් නිසාය. සරලා මැඩම්ව මට මෙන්ම කාර්යාලයේ කිසිවෙකුට පෙනෙන්නට බැරිය. ඇය ඉතා කුඩුකේඩු චරිතයකි. ඇය සිත නොරිදවූ පුද්ගලයකු කාර්යාලයේ නැතිතරම්ය. අනුන්ගේ අඩුපාඩු සොයන්නට, නැති වැරදි මවන්නට, අනුන් ගැන කේලම් අලුතෙන් නිර්මාණය කරමින් තැන තැන පවසන්නට සරලා මැඩම්ට ඇත්තේ අපූරු හැකියාවකි. තනතුරෙන් ඇය ඉහළ නිසා අප සැවොම ඒවා ඉවසාගෙන සිටින්නෙමු.
සරලා මැඩම්ගේ අලුත්ම ගොදුරු කල්පනාය. කුමක් හෝ හේතුවකට ඇයට කල්පනාව පෙනෙන්නට බැරිය. කල්පනාගේ වැරදි සෙවීම ඇයගේ විනෝදාංශය වැනිය. කල්පනා කුමන වැඩක් කළද එහි අඩුපාඩුවක් සොයාගෙන දරුණු ලෙස බැණ වදින්නට සරලා මැඩම් අමතක නොකරයි.
මම කල්පනා ගාවට කිට්ටු වූයෙමි.
“කල්පනා ඕවා ගණන් ගන්න එපා. ඔය ගෑනිගෙ හැටි ඔහොමනෙ. ඔයා ඒක දන්නවනේ.” මම සුපුරුදු සිත සැදීමේ වැකිය පැවසුවෙමි. වෙනදාට මා මෙය කියනවිට කල්පනා සිත හදාගන්නට උත්සාහ කරන්නීය.
අද කල්පනා කඳුළු පිරි දෑසින් හිස ඔසවා මා දෙස හෙළුවේ අසරණ බැල්මකි. එකවරම ඒ අසරණ බැල්ම කෝපවත් පෙනුමකට හැරුණි.
“ඔව් ඒ ගෑනිගේ හැටි එහෙම තමයි. ඉතින් මගේ හැටි මොකක්ද?” කල්පනා ඇසූ ප්‍රශ්නයේ අර්ථය තේරුම්ගත නොහැකිව මම උඩ බිම බැලුවෙමි.
“ඒ කිව්වේ මොකද්ද?” මම නැවත ඇසුවෙමි.
“සරලා කියන්නේ නපුරු අනිත් අයගේ හිත රිද්දන චරිතයක් කියලා අපි හැමෝම දන්නවා. ඒ එයාගේ හැටි කියලා අපි පිළිගන්නවා. ඉතින් මගේ හැටි මොකක්ද? මගේ හැටි වෙන්න ඕනේ හැමදාම ඒක ඉවසගෙන අඬාගෙන ඉන්න එකද? මම කරන්න ඕනේ අඬලා ඒවා ඉවසන එකද? කිසිම වරදක් නැතුව බැණුම් අහන එකද මගේ හැටි?” කල්පනා ඇසුවේ මාව නිරුත්තර කරමිනි.
ඇත්තටම මට ඇයට දෙන්නට පිළිතුරක් තිබුණේ නැත. පුද්ගලයෙකු නපුරු නම් දුෂ්ට නම් ඔහුට විරුද්ධ වන්නට බිය නිසා අපි ඒ ඔහුගේ හෝ ඇයගේ හැටි කියා හිත හදාගන්නට පුරුදු වී සිටින්නේ අපගේ බියගුලුකම නිසාය. මට කල්පනා ඇසූ ප්‍රශ්නය හොඳින්ම වැටහිණි. බැණුම් අසා හඬා වැටෙන කල්පනාට අප හැමදාමත් කීවේ එවැනි සිත රවටන අවවාදය.
සරලා මැඩම්ගේ තනතුරටත් නපුරුකමටත් අප බිය නිසා අප සැමදා සිතුවේ කල්පනා ඇතුළු වින්දිතයන් ඒ සරලාගේ හැටි කියා හිත හදාගත යුතු බවය.
“මට තේරෙනවා කල්පනා ඔයා කියන්න හදන දේ. ඉතින් අපි මොනවද කරන්නේ? අපිට මොනවද කරන්න පුළුවන්?” මම කල්පනාවෙන් ඇසුවෙමි.
“මම තවත් ඉවසන්නේ නැහැ. මම HR එකට complain කරනවා.” කල්පනා කියද්දී මා පුදුමයට පත්වූයෙමි. නමුත් එය සුදුසුම ක්‍රියාව බව මටද වැටහුණි.
“HR එක අපිව පිළිගනීද?” මම කල්පනාගෙන් ඇසුවෙමි.
“උත්සාහ කරලා බලනවා. සරලා මැඩම්ගේ තනතුරටයි, නපුරුකමටයි බයවෙලා හැමෝම ඉවසන නිසා අපි දන්නේ නැහැ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. අඩුම තරමේ උත්සාහ කරලවත් බලමු. HR එක මේ බව පිළිගන්නේ නැති නම් මම රස්සාවෙන් අයින් වෙලා අලුත් තැනකට යනවා.” කල්පනා කිව්වේ ස්ථිරසාර ලෙසය.
“අනේ කල්පනා” මට කියැවුණි.
“මානසික සහනය කියන දේ හැමදේටම වඩා මට වටිනවා. මෙතන හොඳ ආයතනයක්. හැබැයි සරලා මැඩම් මගේ මානසික සහනය නැත්තටම නැති කරනවා. මේ ප්‍රශ්නය මම විසඳගත්තේ නැත්නම් කවුරු මට විසඳලා දෙන්නද? ඒ නිසා මම පළවැනි පියවර තියනවා. ඒ තමයි HR එකට complain කරන එක. HR එක මගේ ප්‍රශ්නය විසඳලා දුන්නේ නැත්නම් මම දෙවැනි පියවර ගන්නවා. ඒ රැකියාව මාරුකරන එක.” ඇය කීවාය.
“ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න.”
මම අවසානයේදී කල්පනාට පැවසුවෙමි. කල්පනා HR එකට complain කළාය. ප්‍රතිඵලය නොසිතූ විරූ ලෙස යහපත් විය.
ඔවුන් පැරණි දිනවල සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂාකර තිබුණි. කිසිම සාධාරණ හේතුවක් නොමැතිව සරලා මැඩම් හැමෝගෙම සිත් රිදවන හැටි ඔවුන් ඒ මගින් දැකගෙන තිබුණි. සරලා මැඩම්ට අවවාද කර වෙනත් බ්‍රාන්ච් එකකට ඇය මාරු කර යවන්නට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.
සමාධි ඩයස්