අනුන්ගේ හෙළුව බලන වෙලේ තමන්ගේ සළුව හදාගත්තොත් නරකද?
වත්සලා සිය දියණියගේ අතට තද පහරක් දුන්නේ ඇයගේ අතේ තිබුණු නිදි පෙති අහුර විසි වී යන ලෙසය.
“ඇයි උඹ අපේ මූණේ දැලි ගෑවේ?” අසා පහර දෙන්නට දැනෙන උවමනාව යටපත් කරගෙන වත්සලා දියණියව තදින් තුරුළු කර ගත්තාය.
“මමයි, තාත්තයි ඉන්නවනේ මගේ දූට. අපි මේ ගැන පස්සේ කතා කරමු. මෝඩ වැඩ කරන්න එපා. අපිට ඉන්නේ ඔයා විතරයි රත්තරනේ.” වත්සලා කීවේ දියණිය සඳලේඛා ඉකි බිඳීද්දීය.
“උඹ තමා මේකිව හුරතල් කරලා මේ විනාසේ වෙන තැනට වැඩ කළේ.” කියා කෑ ගසන්නට සිත් දුන්නද, සඳලේඛාගේ පියා වූ මහේන්ද්‍ර බිම තිබෙන නිදි පෙති අහුරා දැක කරබාගෙන යන්නට හැරුණාය.
“තාත්තා මාව මරයි අම්මේ.” සඳලේඛා ඉකිබිඳිමින් කියනවා ඇසෙද්දී මහේන්ද්‍ර ආයෙමත් හැරී දියණියගේ කාමරය වෙත ආවේය.
“එහෙම දෙයක් නැහැ පුතේ. ඔයා අපේ දරුවා. මොන දේ වුණත් ඒක වෙනස් වෙන්නේ නැහැ.” මහේන්ද්‍ර කීවේ සිතට එකඟව නොවේ.
“අක්කේ, සිද්ධ වුණු කිසි දෙයක් අහලා කෙල්ලගේ හිත තලන්න එපා. පොඩ්ඩක් කෙල්ල එක්ක ඉන්න එයාව තනි නොකර. අද උදේ තව පොඩ්ඩෙන්…” කී වත්සලා ඉකි බින්දේ සිය අක්කණ්ඩිය ඉදිරියේය.
සිය දියණියව ලොකු අම්මා සමඟ කාමරයේ තනි කළ වත්සලා සහ මහේන්ද්‍ර පහල මහලට බැස්සේ නිදහසේ අදහස් බෙදා ගන්නටය.
“මොකද්ද මහේන්ද්‍ර මේ කෙල්ල කරගත්තු විනාසේ? අපි දන්නෙවත් නැහැනේ මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා කියලාවත්.” වත්සලා කීවේ ඉකිබිඳිමිනි.
මහේන්ද්‍ර නිහඬව බලා සිටියේය.
“අපි දැන් මොකද කරන්නේ?” වත්සලා විමසුවාය.
“වෙන්න පුළුවන් නරකම දේ අපේ දුව අපිට නැති වෙන එක. ඒ දේ උදේ වෙන්න ගිහින් නැවතුණා. අපිට ඒ ඇති නේද?” මහේන්ද්‍ර විමසුවේ මඳ වෙලාවකට පසුවය.
වත්සලාගේ නෙතුවල පුදුමයක් ඇඳී ගියේ ක්ෂණිකවය.
“අපිත් සාම්ප්‍රදායික මිනිස්සු නිසාද කොහෙද මටත් මුලින් ඕනේ වුණේ ගේ දෙක වෙන්න කෑ ගහන්න. ඒත් ඒත්… මට මතක් වුණේ අපි දෙන්නත් සම්බන්ධකමක් හදාගත්තේ ඔය වයසේදී නේද කියලා. මටත් ඒ කාලේ හවස ගෙදර ගියාම ඔයාව පිස්සුවෙන් වගේ මතක් වෙනවා. ඒත් අපිට ඒ කාලේ ෆෝන් තිබ්බේ නැහැනේ ෆොටෝ හුවමාරු කරගන්න. තිබුණා නම් අපිත් ෆොටෝ හුවමාරු කරගනියි නේද?” මහේන්ද්‍ර විමසුවේ අසරණ හඬකිනි.
“අනේ මහේන්ද්‍ර..”
“ආදරේ ඉස්සරහ මොළේ කල්පනා කරලා වැඩ කරන්නේ නැහැනේ තරුණ අය. මතකනේ මම ඔයාලගේ අප්පච්චිලා නිදා ගන්නකම් ඉඳලා තාප්පෙන් පැනලා ඔයාගේ ජනේලේ ගාවට ආවා. අහුවුණා නම් ගුටි කාලා මැරිලා මේ වෙද්දී. ඒ වෙනුවට දැන් කාලේ කෙල්ලෝ කොල්ලා වීඩියෝ කෝල් ගන්නවා. එක එක ජාතියේ ෆොටෝ හුවමාරු කර ගන්නවා. අන්තිමට උන්ම දන්නේ නැහැ ඒවා රට වටේ යනවා.” එවර මහේන්ද්‍ර කීවේ කඳුළු පිසිමිනි.
“දූ කියන්නේ, ඒ කොල්ලා හිතලා ෆොටෝ පිට කරලා නැහැ කියලා. කොල්ලා ෆෝන් එක කැඩිලා හදන්න දුන්නම ඒ හදන්න දුන්නු තැනින්ලු අපේ දූගේ ෆොටෝ ටික අරන් තියෙන්නේ. ඒ ළමයා මෙහෙ එන්න ඕනේ කිව්වලු අපිව මුණ ගැහෙන්න. ඒත් අපි ගහයි බනියි කියලා බයේ ඉන්නවලු. ඒත්.. දැන් ඒ ළමයා ඇවිත් අපෙන් සමාව ඉල්ලුවත් අපේ දුවගේ චරිතයට වුණු හානිය මකන්න බැහැනේ.” වසන්තා කියාගෙන ආවත් අවසන් හරියේදී ඇයගේ කටහඬ බිඳිණි.
“ඒ ළමයට එන්න කියමු වසන්තා. මේ වගේ වෙලාවක අපි එකට එකතු වෙන එකෙන් වෙන්නේ ප්රශ්නයේ සැර අඩුවෙන එක. අනිත් එක අපිට පුළුවන් මේ ළමයි දෙන්නා එක්ක ගිහින් පැමිණිල්ල දාන්න. ඒ ළමයා හොඳ සාක්ෂියක් වෙයි. මොකද ෆෝන් එක දුන්නේ කාගේ අතටද කියලා දන්නේ ඒ ළමයනේ.”
“ඔයා හදන්නේ පොලිසි යන්නද? මේකෙන් වෙන්නේ කෙල්ලගේ නම තවත් කැත වෙන එක නේද?” වසන්තා ඇසුවේ කලබලයෙනි.
“මොනවා වුණත් අපේ ළමයාගේ වයස අවුරුදු 21යි. ඒ ළමයි දෙන්නා වැඩිහිටියෝ. දෙන්නා තාම කසාද බැඳලා නැහැ තමයි. හැබැයි ඒ දෙන්නට තිබිලා තියෙනවා ඒ දෙන්නටම වෙන්වුණු පෞද්ගලික ජිවිතයක්. අකමැත්තෙන් වුණත් අපි ඒක පිළිගන්න ඕනේ. නීතියට අනුව වැඩිහිටියෝ දෙන්නෙක් පෞද්ගලික ජීවිතයක් පවත්වාගෙන යන එක අපරාධයක් නෙවෙයි. හැබැයි අනුන්ගේ පෞද්ගලිකත්වයට එබිකම් කරන එක, ඒවා සමාජ මාධ්‍යයට මුදා හරින එක අපරාධයක්. අපේ දරුවා වෙනුවෙන් අපි පෙනී ඉමු වසන්තා.” මහේන්ද්‍ර කීවේ ඉවසීමෙනි.
“ඔයා හරි මහේන්ද්‍ර. ඇත්තටම ලැජ්ජාවෙන් හැංගෙන්න ඕනේ අපේ දරුවෝ නෙවෙයි. අනුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහපු මිනිස්සු. අපි හැමෝම එකතු වෙලා කොහොම හරි උන්ව නීතිය ඉස්සරහට ගේමු.” වසන්තා කිව්වේ පෙරට වඩා ශක්තිමත් හඬකින්.
සමාධි ඩයස්