බඳින්න කලින් අම්මගෙ පදේට නටන පුතාලා බැන්දට පස්සේ අලුත් පදේකට නටයිද?
“ආදරේට ජාති, ආගම්, කුල, මල කිසිම දෙයක් බලපාන්නෙ නැහැ. පිටස්තර මිනිස්සුන්ගෙ අදහස් බලපාන්නෙ නැහැ. දෙන්නට දෙන්නා ආදරෙයි නම් බාහිර බලවේග ඕනම දෙයක් පරාජය කරන්න පුළුවන්.” ඒ දවස්වල නිතරම වගේ ඔය වචන ටික මගේ කටින් පිටවුණා.
පහන්ගෙ ගෙදරින් මට එකහෙලාම අකමැති වෙද්දි අම්මගේ හිත රිදවන්න බෑ කියලා පහන් මාව ටික ටික මඟ හරිද්දි, පිස්සුවෙන් වගේ ඔය වචන කියපු හැටි මට මතකයි.
“ඒ මිනිසුන්ගේ අකමැත්තෙන් ඔයා කොහොමද එහෙ ගිහින් ඉන්නේ?” මගේ අම්මයි, තාත්තයි මගෙන් අහද්දී මම එදා එයාලට දුන්නෙත් ඔය උත්තරේම තමයි.
මාව කසාද බැන්දොත් මැරෙනවා කියලා පහන්ගෙ අම්මා තර්ජනය කරද්දී, මම පහන්ට තර්ජනය කළා මාව විවාහ කරගත්තේ නැත්තම් මම මැරෙනවා කියලා. පහන් මට කවදාවත් වෙන්වෙන්න ඕනේ කියලා ඍජුව කිව්වේ නැහැ.
හැබැයි, “අම්මලගෙ සිත් රිදවන එක පව්, අපිට කවදාහරි විඳවන්න වෙයි” වගේ අමුතු අමුතු කතා නොකියා හිටියෙත් නැහැ.
හැබැයි මට ඔය කිසිදේකින් වැඩක් වුණේ නැහැ. මට ඕන වුණේ මගේ ආදරේ දිනන්න. මාව ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඉස්සරහ පහන්ගෙම වෙලා මගේ ආදරය දිනුම් කියලා එයාලට පෙන්නන්න.
අන්තිමේදී මම ප්‍රාර්ථනා කරපු විදිහටම මගේ ආදරේ දිනුවා. කරන්න දෙයක් නැතිම තැන පහන්ගෙ අම්මා අපේ සම්බන්ධයට අවසර දුන්නා.
මම හිටියේ ගොඩක් සතුටින්.
ඒත් විවාහ උත්සවයේදී පහන්ගේ අම්මා මහ පුදුම දෙයක් කළා. එතැනදී නැන්දම්මා මගේ නෙත් මානයට ආවේ නැහැ.
ඔවුන් මාව හැමෝම ඉදිරියේ 100%ක් පිළිනොගන්නා බව ඒ විදිහට ඇඟෙව්වා.
මම වෙනම නිවසක පදිංචියට යමු කියලා පහන්ගෙන් ඉල්ලුවත් පහන් එයට කැමති වුණේ නැහැ.
ඒ නිවස ඇතුළේ මම හැරුණත් වැරදි වෙද්දි පහන් දිගටම මට කිව්වේ ඉවසන්න කියලා විතරයි.
ඒ නිවස ඇතුළේ මට හිමිවුණේ ආගන්තුකයෙක්ට හිමිවන තැනක්. අම්මලා දුවලා සතුටින් හිනාවෙවී කතා කර කර ඉන්න අතරේ මම එනවා දකිද්දිම ඔවුන්ගේ කතාබහ නැවතෙනවා. ඒ හැමදේම මගේ හිතට ගෙනාවේ වේදනාවක්.
මම කෑමක් හැදුවම පහන් ඇරෙන්න කවුරුත්ම රස බලන්නවත් ඒවා කාලා බැලුවේ නැහැ.
මම අතුගෑවට පස්සේ ආයෙමත් අතුගාන එක පහන්ගේ නංගිගේ පුරුද්දක් වෙලා තිබුණා. ඒ ඔවුන් මාව ප්‍රතික්ෂේප කරපු විදිහයි.
“මට අම්මලාට විරුද්ධව මුකුත් කියන්න බැහැනේ. ඔයා මට ආදරේ නම් අම්මලා මොනවා කිව්වත් ඇහෙන්නෙ නැහැ වගේ ඉන්න.” පහන් නිතරම වගේ කිව්වා.
ආදරය කියන්නේ හිමිකරගැනීම කියලා හිතපු මට දැන් තේරෙනවා ආදරය පමණක් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ කියලා. මොකද මට ආදරේ වෙනුවෙන් අනිත් අය කරන වෙනස්කම් ඉවසගෙන ඉන්න තරම් ශක්තියක් නැහැ.
විවාහයට කලින් වැදගත් වුණේ සහකාරයා විතරක් වුණාට, විවාහයෙන් පස්සෙ පවුල් දෙකේ බලපෑම නිසාත් ජීවිතය ගෙවෙන විදිය වෙනස් වෙනවා කියලා මට තේරුණා.
වැදගත්ම දේ, ගෙදරින් ප්‍රශ්න එද්දී තමන් වෙනුවෙන් සටන් කරන කෙනෙක් විවාහ කරගැනීමේ අවදානම අඩුයි. ඒත් ප්‍රශ්න ඉදිරියේ වැනෙන කෙනෙක් විවාහ කරගන්න එක භයානකයි කියලා මට දැන් තේරෙනවා. මොකද ඒ කෙනා වැනෙන්නේ හැමදාටමයි.
ආදරය කියන වචනය ගැන අහලා තියෙන නිර්වචන ප්‍රායෝගික නැහැ කියලා දැන් මම දන්නවා. ආදරේට බාහිර සාධකත් බලපානවා.
සමාධි ඩයස්