විශේෂාංග

කසාද ලිහාගන්න අය කසාද නොබැඳ ඉන්න අයට වඩා ඉස්තරම්ද?

මගේ ලොකු අක්කා සාරංගා. ලොකු අක්කා විවාහ වෙලා දරුවො දෙන්නෙක් ලැබුණටත් පස්සේ ඇගේ සැමියා ඇයව අතැරලා ගියා. ඇය ගැන අපේ හිත්වල කවදත් තිබුණේ ලොකු දුකක්, කම්පාවක්.

අසරණ වුණු ලොකු අක්කාට තාත්තා නිතරම මුදල් දුන්නා. අම්මා ගෙවත්තේ පොල්, මයියොක්කාවලින් වැඩි කොටසක් ඇයට දුන්නා.

මගේ පොඩි අක්කා දිව්‍යා. පොඩි අක්කා තරමක් දුරට හිතුවක්කාර චරිතයක්. ඇය විවාහය එකහෙලාම ප්‍රතික්ෂේප කරපු තැනැත්තියක්. තාත්තා හොයලා දීපු රස්සාවට ගියේ අවුරුදු 3ක් විතරයි. හිතුවක්කාර විදිහට රස්සාවෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන්ගත්තේ තාත්තයි අම්මයි දෙන්නම විරුද්ධ වෙද්දි. හදිසියේ ආපු ගංවතුරක් නිසා අවුරුදු දෙකක් යන්නත් කලින් පොඩි අක්කගේ බිස්නස් එක කඩාගෙන වැටුණා.

මම ශ්‍රීලාල්. රැකියාවක් කරන අතරේ අන්තර්ජාලයේ ෆ්‍රීලාන්ස් වැඩ කරලා එකතු කරගත්තු ලොකු මුදලක් මම එකතු කරගෙන හිටියා.

පොඩි එකියේ, උඹ මොනවා හිතාගෙනද දන්නේ නැහැ ඉඩම බෙදලා ලියලා දෙන්න කියන්නේ? මහා ගෝරනාඩුවක් ඇහෙද්දි මම ඇඳෙන් බැස්සා නෙවෙයි පැන්නා.

මේවා ඒකි විහින් කරගත්තු දේවල්. ඒකිට හොඳ රස්සාවක් තිබ්බා. අපි හොයලා දුන්නු කසාදේ හරි කරගත්තා නම් රැජිණක් වගේ ඉන්න තිබ්බා. දැන් මෙතන දේපළ ඉල්ලනවා ඇවිත්. තාත්තා පොඩි අක්කට බැන බැන හිටියා.

එහෙම නෙවේ තාත්තේ. තාත්තා දන්නවනේ මට ආදායම් එන්න පටන්ගත්තා විතරයි. ඒත් එදා ගංවතුරට මගේ ස්ටොක් ඔක්කොම විනාස වුණා. තාත්තේ මට උදව් කරන්න. මට ඕනෙ මගේ කෑල්ලෙන් කොටසක් විකුණලා, ඉතුරු කොටසේ පොඩි මඩුවක් ගහලා ආයේ මුල ඉඳන් වැඩේ පටන්ගන්න. පොඩි අක්කා කිව්වේ පරාජිත හඬින්.

මම ඉඩම් බෙදලා දෙන්නේ මට ඕනෙ වෙලාවට. උඹ එක්කෝ ආයේ රස්සාවක් හොයාගනින්, නැත්තම් කසාදයක් බැඳගනින්. මම ආයේ නොකිව්වා කියන්න එපා. හිතුවක්කාර වෙලා රස්සාවෙන් අයින්වෙලා බිස්නස් කොරන්න ගියා නම් දැන් විඳවපන්. තාත්තා තරහින් කිව්වා.

අක්කේ බිස්නස් එක ආයේ පටන්ගන්න කීයක්ද ඕනේ? මම අහද්දි තාත්තා මම දිහා බැලුවේ රවලා.

ලක්ෂ හයක් තිබ්බොත් ඇති මල්ලි. මට පුළුවන් සේවකයෝ නැතුව වුණත් තනියම ගේම ගහගන්න. අක්කගේ කතා විලාසයට මට හිනා ගියත් තාත්තගේ මුහුණ තවත් තරහින් රතු වුණා.

හරි මම දෙන්නම්. මට කියන්න ලැබුණේ එච්චරයි.

උඹේ මොළේ විකාර වෙලාද? උඹට සල්ලි වැඩි නම් දීපන් අර අසරණ වෙලා ඉන්න ලොකු අක්කට. අම්මා තරහින් කිව්වා.

දික්කසාදය කියන්නේ අසරණවීමක් තමයි. හැබැයි අම්මේ දැන් ලොකු අක්කා දික්කසාද වෙලා අවුරුදු 4ක්. මෙච්චර කාලෙකට ලොකු අක්කා මල් පැළයක් හදලාවත්, පාන් තිරයක් අඹරලාවත් විකුණන්න ට්‍රයි කළේ නැහැ. මේ මුළු කාලෙම ලොකු අක්කා කෑවේ බිව්වේ අම්මගේ තාත්තගේ සල්ලියෙන්. ඒත් පොඩි අක්කා හැමවෙලාවෙම ට්‍රයි කරන්නේ එයාගෙම දෙයක් පටන්ගන්න. ස්වාධීන වෙන්න. එයාත් දැන් අසරණ වෙලා නේද ඉන්නේ? ඒත් ඔයාලා අනුකම්පා කරන්නේ පවුල කැඩිලා අසරණ වෙලා, නැගිටින්න උත්සාහ නොකර හැමදාම ඔයාලගෙන් යැපෙන කෙනාට විතරයිනේ. හැබැයි මම නම් දකින්නේ ඇත්තටම අපි අනුකම්පා කරන්න ඕනෙ, උදව් කරන්න ඕනෙ හිතේ හයියට ජීවිතේ ගොඩයන්න හදන පොඩි අක්කට. මම කියද්දි අම්මයි තාත්තයි දෙන්නම මම දිහා බලන් හිටියේ බයවෙලා වගේයි.

අපේ රටේ මිනිස්සු හරි පුදුමයි. අනේ පව් කියලා කියන්නේ ජීවිතේ වැරදිලා නැගිටින්න උවමනාවක් නැතුව අඬ අඬ ඉන්න මිනිස්සුන්ට. ඉන්න තැනින් කෙනෙක් නැගිටින්න හැදුවොත්, ස්වාධීන වෙන්න හැදුවොත් පුළුවන් තරම් කකුලෙන් අදිනවා. ඒ මනුස්සයට වැරදුණොත් හිනාත් වෙනවා. අත පාලා ජීවත්වෙන මිනිස්සුන්ට නෙවෙයි අනුකම්පා කරන්න ඕනෙ, හිතේ හයියෙන් මොනවහරි කරන්න යද්දී වැරදුණු මිනිස්සුන්ට. මම කියද්දි පොඩි අක්කා රහසින් කඳුළක් පිහදානවා මම දැක්කා.

 

සමාධි ඩයස්