SIගේ ඉඩමේ පාළු ළිඳට අධි තාක්ෂණික කැමරාවක් යවයි
වේල්ල වීදියේ ගමන් බෑගයක් තුළ තිබී සොයාගත් කාන්තා මළ සිරුරේ හිස කොටස සොයා පොලීසිය ඊයේ(05) සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ ගෙවත්තේ ළිඳ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබුණි.
අදාළ තරුණිය ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ල තවමත් අතුරුදන්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනකරනු ලබයි.
කෙසේ වෙතත් මේ දක්වා මළ සිරුරේ හිස සොයාගැනීමට හැකි වී නොමැත.
පොලිස් නිලධාරියා කාන්තාවගේ හිස බෑගයේ සඟවාගෙනවිත් තම ගෙවත්තේ ඇති අත්හැර දැමු ළිඳ තුළට දමා ඇත්දැයි පොලිසිය සැක පළකර තිබුණි.
ඒ අනුව අධිතාක්ෂණික කැමරා ළිඳ තුළට යොමුකර එහි හිස ඇත්දැයි සෙවීමේ මෙහෙයුමක් ඊයේ ආරම්භ කළේය.
එහිදී කානු ඉදිකිරීම සඳහා භාවිතා කරන කොන්ක්රීට් ගල් කැබලි කිහිපයක් ළිඳ තුළ තිබී සොයා ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ ඒවා එතරම් පැරණි නොවන කොන්ක්රීට් ගල් බවය.
පසුව පොලීසිය සැලසුම් කළ පරිදි ළිඳ ඉසීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.
නමුත් එම සෝදිසි මෙහෙයුමේදී ද කාන්තාවගේ හිස හමු නොවූ බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම පුළුස්සන ලද කමිසයක් ද නිවස අසල තිබී සොයා ගැනුණි.
පොලිස් විමර්ශන කණ්ඩායම් පවසන්නේ සැකකරු කොළඹ සිට මොනරාගල බලා පැමිණෙන අවස්ථාවේ ඇඳ සිටි කමිසය මෙලෙස පුළුස්සා ඇතැයි සැක කෙරෙන බවය.