විශේෂාංග

නොනගතේ කියලා එකක් නෑ පුතේ

‘සුනක්චක්කං සුමංගලං

සුප්පභාගං සුවුට්යතං

සුචණේ සුමුහුත්තෝච

සුයිධේං බ්‍රහ්මචාරිසු’

 

මේ කියන්නේ බුද්ධ දේශනාවට අනුව වැඩක් පටන්ගන්න විශේෂ නැකතක්වත්, වැඩ අතහරින්නට නොනගතය කියා වේලාවක්වත් නැහැයි කියන එක. කොටින්ම කියනවා නම් නැකත්වලට අනුව පින්කම් සහ සුබ මංගල්‍යයන් පැවැත්විය යුතු නැති බවත්, මංගල්‍යයක් සහ සුබ කටයුත්තක් පවත්වනු ලබන වෙලාව නැකත් විදියට සැලකිය යුතු බවක්.

ඒ කාලේ අලුත් සහල් මංගල්‍යය පවත්වනකොට ඔය කියන කරුණු අනුගමනය කළා කියලා වංශකතාවල සඳහන් වෙනවා. ඔය අලුත් සහල් මංගල්‍ය පවත්වන්නේ බක්මහට නෙළන අස්වැන්නේ මුල්ම කොටහ ජයසිරිමහ බෝධීන්වහන්සේට පූජා කරන්නනේ. මුලින්ම කරන්නේ ගමේ උදවිය තම තමන්ගේ කොටහා අරගෙන ගිහිල්ලා ගමේ රාලගේ මහමඩුවේ තැන්පත් කරන එකලු. ඊටපස්සේ ප්‍රාදේශීය කෝරාලවරු ඇවිල්ලා ඒවා හේවිසි, හොරණෑ, බෙර ගහලා ගැල් පෙරහරකින් තමයි ජයසිරිමහ බෝධීන්වහන්සේ වැඩ සිටින උඩමලුවට අරගෙන යනවා කියන්නේ. ඊටපස්සේ සඳුන් දරවලින් ලිප් මොලවලා කිරි උතුරවලා පරිත්‍රාණ ධර්ම දේශනාවක් එහෙම පවත්වලා ඊටත් පස්සේ තමයි රජතුමා මහා සංඝයා එක්ක එකතුවෙලා මහා පත්තරේට අලුත් සහල් පුරවන කටයුත්ත ඉටු කරලා තියෙන්නේ.

මුලින්ම දුරුතු මංගල්‍යයක් විදියට සමරලා තියෙන මේ අලුත් සහල් මංගල්‍යය පස්සේ කාලෙකදි බක්මහට පවත්වන්න පටන් අරන්. ඒ නිසා ඒ උදවිය මේ උත්සවය අලුත් අවුරුදු දවසට පවා සමරලා තියෙනවා. ඒත් වංශ කතාවල සඳහන් වෙන විදියට නම් ඔය කියන එකක්වත් අලුත් අවුරුදු නැකත් පත්තරේට අනුව කරලා නෑ. එතකොට නොනගතයේදීත් මේ දේවල් කරන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්.

ඒකෙන් පැහැදිලි වෙන්නේ එදා රජගොල්ලො වගේම මග සඟරුවනත් නොනගතය කියන්නේ වැඩ අත්හැරිය යුතු වෙලාවක් විදියට පිළි අරගෙන නැහැයි කියන එක. ඒ වගේම නොනගතයේදී වැඩ කිරීමත්, යමක් පිළිගන්වන එකත් අසුබ නිමිත්තක් විදියට සලකලා නැහැ.

 

‘අනගත අගත මතුදිශ ශශ්‍ය දිනෙ’

 

ඔය තියෙන්නෙ ඒ කාලේ රජගොල්ලො මහා සංඝයාට ආරාම පිළියෙල කළාට පස්සේ සෙල්ලිපිවල සඳහන් කරන අනිවාර්යය පාලි පාඨයක්. ඔතැනදි ‘අනගත’ කියලා අදහස් කරලා තියෙන්නේ ‘නැකත් ඇති හෝ නැති වෙලාව’ කියන එකලු. ඊළඟට ‘අගත’ කියලා අදහස් වෙන්නේ ‘පැමිණි’ කියන එකලු. ‘ශශ්‍ය’ කියලා අඳුන්වලා තියෙන්නේ ‘මහා සංඝයා’ව. ‘දිනේ’ කියන එකෙන් අර්ථ දක්වලා තියෙන්නේ ‘පූජා කරමි’ කියන එක.

එතකොට මේ පාලි පාඨයේ තේරුම වෙන්නේ නැකතක් ඇතිව හෝ නැතුව තුන්කාලයේ වඩින ඕනෑම සංඝයා වහන්සේ නමකට ඒ සංඝාවාස කැපයි කියන එක.

ඒකෙනුත් පැහැදිලි වෙනවා එදා උදවිය වැඩ පටන්ගන්නවත් වැඩ අත්හරින්නවත් සුබ අසුබ විදියට නැකත් බලලා නැහැයි කියලා.

හැබැයි ඔය නොනගතය කියන්නේ මොකක්ද කියන එක අදටත් ගොඩක් උදවියට ප්‍රශ්නාර්ථයක්. බහුතරයක් නැකත්කරුවෝ කියන දෙයක් තමයි නොනගතයේදී සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන නිසා ඔය වෙලාවට නැකත් නැහැ කියලා. තවත් සමහරු කියනවා නොනගත වෙලාවෙදි සූර්යයාගෙන් සුබ කිරණ නිකුත් වෙන්නේ නැති නිසා ඒ වෙලාවට නැත්තේ සුබ නැකතක් විතරයි කියලා.

නොනගතයේදී සියලුම වැඩ රාජකාරිවලින් බැහැර වෙලා පින්දහම් කිරීම යහපත් කියලයි තවත් සමහරු කියන්නේ.

ඔය හේතු කාරණා නිසා නොනගතය ගැන ටිකක් කතා කරන්න අපිට හිතුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා ඒ ගැන කිව්වේ මේ විදියේ කතාවක්.

මෙහෙමයි. නොනගතය කියන්නේ අනිවාර්යයෙන්ම නොකා නොබී ඉන්න ඕන වෙලාවක්වත්, වැඩ නොකර ඉන්න ඕන වෙලාවක්වත් නෙවෙයි. නොනගතයේදී කෑවට අපායේ යන්නෙ නෑ. කිසිම පවක් පිරෙන්නෙත් නෑ. මොකද සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සම්පූර්ණයෙන්ම කෘෂි කාර්මික උත්සවයක්. ඒකේ ප්‍රධාන තැනක් ගන්නේ ගොයම් ටික කපලා අස්වැන්න ගෙට අරගෙන අලුත් සහල් මංගල්‍යය පවත්වන එක. එතැනින් පස්සේ අපේ පැරණි උදවිය කළේ ගමේ පන්සලට ගිහිල්ලා නොයිඳුල් සහල් ටික පූජා කරන එක. ඕකට අපි ගොයම් සංස්කෘතිය කියලත් කිව්වා.

එදා ඇත්තෝ ඕකට සූර්ය මංගල්‍යය කියලා කිව්වෙත් ඉර මුදුන් වෙන බක්මහට කරපු නිසා. ඊටපස්සේ සුර්යයාගේ සංක්‍රාන්ති කාලයට නොනගතය කියලා අලුත් නැකතකුත් හදාගත්තා. එහෙම කළේ මුළු අවුරුද්ද පුරාවටම වෙහෙස මහන්සි වෙන ඒ අයට විවේකයක් අවශ්‍ය නිසා මිසක් වෙන කාරණාවක් නිසා නෙවෙයි. ඒකනෙ අවුරුදු කාලෙට අවුරුදු උත්සව එහෙම පවත්වලා ටිකක් ලෞකිකව විනෝද වෙන්නේ. ඒ ඇරුණම මේක කොහෙත්ම ආගමික උත්සවයක් නෙවෙයි. අපි බෞද්ධ රටක් නිසයි නොනගතයෙදි එහෙමත් නැත්නම් පුණ්‍ය කාලයෙදි පින්දහම් කටයුතු කරන්නේ.

ඒ නිසා මේ දේවල් අපිට ලැබුණු විදිය ගැන කවුරුත් වාද කරගැනීම අනවශ්‍යයි. මොකද තවත් අවුරුදු සීයක් විතර යනකොට ඔය අවුරුදු නැකත් චාරිත්‍ර නැත්තටම නැතිවෙලා ගිහිල්ලා අවුරුදු කෑම මේසේ විතරක් ඉතුරුවෙයි. දැනටත් ඔය අලුත් අවුරුද්දට නව සඳ බැලීම, පරණ අවුරුද්දට ස්නානය කිරීම වැනි පැරණි චාරිත්‍ර නූතන සමාජයේ උදවිය අනුගමනය කරන්නේ නැති තරම්.

ඕකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ළඟකදි අපේ පළාතෙ මම දන්න කියන ඉලන්දාරියෙක් අලුත් මෝටර් රථයක් අරගෙන තිබුණා. ඉතින් දවසක්දා මේකා ජැන්ඩි පහට ඇඳලා ඕකේ යනකොට කඩුගන්නාව හරියෙදි මට මුණගැහුනා. ඒ වෙලාවේ මම දැක්කා මේ කොල්ලා අර කාර් එක ඉස්සරහ දෙහි ගෙඩි තුනකුයි, මිරිස් කරල් දෙකකුයි එල්ලගෙන ඉන්නවා.

පස්සේ මම ඒ ගැන ඇහුවම කොල්ලා කිව්වේ එහෙම කළේ ඇස්වහ කටවහ දෝෂ දුරුවෙන්නය කියලා. එතකොට මම කොල්ලට පොඩි විහිළුවක් කරන්නත් හිතාගෙන කිව්වා “ඇයි පුතා අහල නැද්ද ඕකත් එක්ක තව පොල්බෑයකුත් එල්ලුවා නම් ගොඩක් සුබයි කියලා?” ඒ කිව්වත් හරි මේකා එකපාරටම මගේ පැත්තට හැරිලා “ඒක ඇත්තද සර්?” කියලා පුදුමයෙන් වගේ ඇහුවා.

ඉතින් බලන්න දැන් මම ඒකාට ඔව් කිව්වා නම් ඌ පහුවදාට කාර් එක ඉස්සරහා පොල්බෑයකුත් එල්ලගෙන පාරේ යයි. එතකොට ඕක දකින තවත් උන් තම තමන්ගේ වාහනවල පොල්බෑයවල් ගහගෙන යන්න පටන්ගනී. අන්තිමේදී ඒක හැදුන හැටි ගැන ඔය කවුරුවත් දන්නෙ නෑ. අනික ඔය දෙහි ගෙඩියටයි මිරිස් කරලටයි ඔච්චර හරියක් කරන්න පුළුවන් නම් ජපනට ඔය වාහන එහෙන් මෙහෙට එවනකොටම ඒකත් කරලම එවන්න තිබුණානේ.

හැබයි ඉතින් දෙහි මිරිස් එල්ලුවාය කියලා කාටවත් හානියක් වෙන්නෙත් නෑ. ඒ නිසා අපි ඒ අයව විවේචනය කරන්න අවශ්‍යත් නෑ. ඉතින් ඔය කියන නොනගතය කියන්නෙත් අන්න ඒ වගේ දෙයක්.

කැමති කෙනෙකුට මේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නත්, අකමැති කෙනෙකුට ඒවා නොකර ඉන්නත් නිදහස තියෙනවා. එහෙමයි කියලා ඒවා නොකරන උදවියගේ පවුල්වලට දෝෂ ඇතිවෙන්නෙවත්, අසුබ පෙරනිමිති පහලවෙන්නෙවත්, ගෙවල් මූසල වෙලා යනවා කියලා එකක්වත් නෑ.

මොකද බුද්ධ දේශනාවට අනුව සුබ කටයුත්තක් කරන වෙලාව නැකතක් විදියට සලකනවා ඇරෙන්න නැකත්වලට අනුව සුබ කටයුතු කරපු බවක් නොතැනකවත් සඳහන් වෙලා නෑ.

 

ලිහිණි මධුෂිකා