අරලියගහ මන්දිරේ දානෙකට ගිහින් ආපහු එද්දී මැතිනි මුලින්ම ඇහුවේ පොලොස් හට්ටිය ගැනලු
නොබැඳි ජාතීන්ගේ සමුළුව එක්දහස් නවසිය හැත්තෑ හයේදී කොළඹදී පැවැත්වූයේ මැතිනිගේ සභාපතිත්වයෙන්. එම සමුළුවට ලිබියාවේ ගඩාෆිත් ආවා. ඔහු බලසම්පන්න අප්‍රිකානු නායකයෙක්. ඉතින් පුර්ව පරීක්ෂාවකට ගඩාෆි ඔහුගේ ආරක්ෂකයින් ගුවන්යානයකින් කොළඹට එව්වලු. එවෙලේ අගමැතිනි සිරිමාවෝ ඉඳල තියෙන්නෙ හෝටලයක අමුත්තන් පිරිසක් සමග ආහාර ගනිමින්. ලේකම්වරයෙක් ඇවිත් අගමැතිනිගෙ කනට කරලා කිව්වලු ‘‘ගඩාෆිගෙ ආරක්ෂකයන් ප්ලේන් එකකින් ඇවිත්. ඔවුන්ට රටට ඇතුළු වෙන්න ඉඩ දෙනවද?’’ කියලා. සිරිමාවෝ කිව්වලු ‘‘වහාම ඔවුන්ට පැමිණි යානයෙන්ම සියරට යන්න කියන්න’’ කියලා. සිරිමාවෝ කියන්නේ එහෙම නායිකාවක්.
ඇයට හැම රටකින්ම ලැබුණේ ගෞරවයක්. ආදරයක්. ඒ ගෞරවය කොච්චරක්ද කියනවා නම් ඉන්දු – චීන යුද්ධය නතර කිරීමට සාම දූතිකාව ලෙස මැදිහත් වුණෙත් ඇය. ඉස්සර ලංකාව ලෝකේ ප්‍රසිද්ධ රටක් නෙවෙයි. ශ්‍රී ලංකා කියනවාට වඩා අපේ රට ප්‍රසිද්ධ වුණේ බණ්ඩාරනායක නමටයි. පිටරට ගියාම ලංකාවේ කීවාම එරට වැසියන් කීවේ බණ්ඩාරනායක කියලා. මැතිනිය මේ සියල්ල කළේ උපාධි තියාගෙන නෙවයි. ඇය දේශපාලනයට එන්නට පෙර ගෘහණියක් පමණයි. ඇය අගමැතිනිය වුවත් බොහෝ සකසුරැවම් විදියට ගෙදර දොරේ වැඩ කටයුතු සොයා බැලුවා. වරක් අරලියගහ මන්දිරයේ පැවැති දානයකට ඇය හොරගොල්ල වලව්වේ සිට පොළොස් වෑංජනයක් හදන් ගියා. අරලියගහ මන්දිරයේ සිට ගෙදර යන්න වාහනයට ගොඩවෙන ගමන් ඇය ආරක්ෂක නිලධාරීන්ගෙන් ඇහුවලු පොළොස් ගෙනා හට්ටිය ගත්තද කියලා. මේ කතාව ඇත්තේ මැතිනියගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලියපු පොතක.
වතාවක් රුසියාවේ සංචාරයක නිරත වුණු වෙලාවේ එරට නියෝජිතයන් අගමැතිනි සිරිමාවෝ පිළිගත්තේ ආසියාවේ දෙවැනි දියුණුම රටේ රාජ්‍ය නායිකාව පැමිණි බව කියමින්.
සිරිමාවෝ කියන්නේ යකඩ ගැහැනියක්. හැමෝම ඇයව හැඳින්වුවේ මැතිනි කියලා. මැතිනිලා කොච්චර හිටියත් අපිට ඒ වචනය ඇහුණු ගමන් මතකයට එන්නේ සිරිමාවෝ මැතිනිය. සිරිමාවෝ යනුවෙන් කීවාට ඇගේ උප්පැන්නේ එහෙම නමක් නෑ. ඇගේ නම සිරිමා. ඒ නමට වෝ එකතු කළේ රටේ ජනතාව. ඒ ඈට තියෙන ආදරයට. ඇය දේශපාලනයට ආවේ සිය අගමැති සැමියා ඝාතනය වුණාට පස්සේ පක්ෂ සාමාජිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම මත. එහෙම ඇවිත් ලෝකෙ පළමුවැනි අගමැතිනිය ලෙස පත් වෙන්න ඇය සමත්වුණා. ඇය ඍජු තීරණ ගත්ත නායිකාවක්. 1962 රජය පෙරලීමේ හමුදා කුමන්ත්‍රණයට වගේම 1971 ජවිපෙ සන්නද්ධ අරගලයටත් මුහුණ දෙන්න සිරිමාවෝට සිදුවුණා. ඒ අවස්ථා දෙකේදීම කැබිනෙට්ටුවේ හිටපු එකම පිරිමියා මැතිනිය කියල තමයි හැඳින්වුණේ. මොකද පිරිමින් අභිබවා තීරණ ගැනීමට තරම් ශක්තියක් ඇයට තිබුණා.
සිරිමාවෝට පවුල් පසුබිමින් ලැබුණු ඉඩම් අක්කර එක්දහස් ගණනක් තිබුණා. ඒත් ඇය පාර්ලිමේන්තුවට ඉඩම් පනතක් ගෙනත් පුද්ගලයකුට උපරිම හිමිකම තබාගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර පනහකට සීමා කළා. ඒ වගේම 1972 ජනරජ ව්‍යස්ථාව ගෙනත් ශ්‍රී ලංකාව පූර්ණ නිදහස් ස්වෛරී රාජ්‍යයක් ලෙස ස්ථාපිත කළා. ඇය නිතරම හිටියේ දේශීය කර්මාන්තවලට ප්‍රමුඛත්වය දෙන්න ඕන කියන ප්‍රතිපත්තියේ. ඇය නිතර විශ්වාස කළ දෙයක් තමයි දේශීය නිෂ්පාදන කර්මාන්ත මුල් කරගත් ආර්ථිකයක් මත ඉදිරියට යා යුතුයි කියන එක. ඇය 70 දශකයේදී ආනයන සීමා පනවමින් දේශීයත්වය මුල් කරගත් ආර්ථික ක්‍රමයකට ගියේ ඒ නිසා. කොණ්ඩ කට්ටෙ පටන් රෙදිපිළි, වතුර බෝතල්, ක්‍රීඩා භාණ්ඩ, විදුලි උපකරණ, ගුවන් විදුලි යන්ත්‍ර, නිදන කාමර භාණ්ඩ, මුළුතැන්ගෙයි මෙවලම්, වානේ උපකරණ ආදී භාණ්ඩ රැසක් මේ කාලයේ මෙරටම නිෂ්පාදනය කෙරුණු අතර දේශීය කර්මාන්ත දිරිගන්වන සංස්ථා, මණ්ඩල හා දෙපාර්තමේන්තු රැසක් සක්‍රීයව පැවතුණා.
සිරිමාවෝගෙ අභිප්‍රාය වුණේ දේශීය නිෂ්පාදන, දේශීය කර්මාන්තවලට මුල්තැන දීලා ඒ ව්‍යාපාර පුළුල් කරන්න. ආනයන සීමා කරමින් අපනයන දිරිගන්වන්න. නමුත් මේ ප්‍රතිපත්ති නිසා ඒ කාලේ හාල් පොල්, මිරිස් පොලු වගේ දේවල් වගේම බොහෝ දෑ මිල දී ගන්න පෝලිම්වල ජනතාවට ඉන්න වෙන වාතාවරණයක් නිර්මාණය වුණා. ඒ තත්ත්වය ජනතාව අතර අසහනය වැඩි කරන්න ඉවහල් වුණා.
ඒ වගේම සිරිමා ආණ්ඩුවේ මුදල් ඇමතිකම දැරූ ඇයගේ ඥාතීයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ ඒකාධිපති ක්‍රියාකලාපය මෙන්ම රජයේ විවිධ ඉහළ තනතුරු දැරූ බණ්ඩාරනායක පවුලට සම්බන්ධවූවන් නිසා ‘පවුල් ගස’ පිළිබඳ කතාව නිර්මාණය වුණා. එයත් සිරිමාවෝ මැතිනිය ගැන අපහැදීමක් ඇති කරන්න හේතුවුණා. මේ සියල්ලේ වාසිය ගත් ජේ.ආර්. 1977 දී සිරිමා මැතිනිය පරාජය කළේ 5/6 ක බලයක් දිනාගනිමින්.
පසුව බලයට ආ ජේ.ආර්. සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පියවර ගත්තේ තම කැබිනට් මණ්ඩලයේම කිහිපදෙනකුගේ විරෝධය මැදයි. කෙසේ වෙතත් 1994 දී එ.ජා.ප ආණ්ඩුව පෙරළමින් බලයට පත් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අගමැති ධුරයට ඇය පත්වූයේ තෙවන වරටයි. ඇය අගමැති ධුරය භාර ගත්තේ ජනපති දූගෙන්. එය අපූර්ව සිද්ධියක්. ඇය මැරෙන තුරා දේශපාලනය අතහැරියේ නෑ. 2000.10.10 ඇය මිය ගියේ මහ මැතිවරණයේ ඇගේ ඡන්දය පාවිච්චි කර ගෙදර යන ගමන්.
මැතිනිගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ බොහෝමයක් තියෙනවා. ඇය රට පාලනය කළේ ඍජු තීරණ ගත් හැබෑම යකඩ ගැහැනියක් විදිහට. ඒත් ගොඩක් මිනිස්සුන්ටනම් අදටත් මතක මැතිනිගේ කාලේ තිබ්බ පෝලිම් ටික විතරයි.
දර්ශන එරංග