විශේෂාංග

පියයුරු ලස්සනට තියාගන්න කැමති කාන්තා ඔබට

ඉන්දියාවත් ලංකාව වගේම කාලයක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ යටත්විජිතයක් බවට පත්වෙලා තිබුණා. මේ ඒ කාලේ වෙච්චි කතාවක්.

මේකයි කතාව. සුද්දගේ කාලෙත් දැන් වගේමලු. බදු ගැහිල්ලේ අඩුවක් තිබුණේම නැහැලු. ලුණු බද්ද, ඇඟ බද්ද, බලු බද්ද ඔය හැම බද්දක්ම ලංකාවේ වගේම ඉන්දියාවෙත් තිබිලා තියෙනවා. ඔන්න ඔය අතරේ තවත් සුවිශේෂී බද්දක් තිබුණලු. ඒ තමයි පියයුරු බද්ද. මේ බද්දට අනුව වංශාධිපති කාන්තාවන්ට ඇරෙන්න අනිත් සියලුම කාන්තාවන්ට උඩුකයේ විලි වසාගැනීම තහනම්! උඩුකය වසාගන්නවා නම් ඒකට බද්දක් ගෙවන්න වෙනවා. ඉතින් ලැජ්ජා බය දෙකම පැත්තකට දාලා තමන්ගේ පියයුරු නිරාවරණය කරගෙන ජීවත්වෙන්න ඔය කාලේ ඉන්දියාවේ ගෑනුන්ට සිද්ධ වුණා.

හැබැයි සුද්දන්ගේ කතා තඹ දොයිතුවකට මායිම් නොකළ එක බවලතියක් හිටියා. ඇය නංගේලි. කවුරු මොනා කිව්වත් ඇය නම් තමන්ගේ උඩුකය ආවරණය කළා. ඔන්න මේක ආරංචි වුණු හැටියේ සුදු ඇත්තොලා ඉංග්‍රීසි සේනාව එක්ක ඇවිල්ලා නංගේලි ඇඳන් හිටිය උඩුඇඳුම ඉරලා විසි කරලා දැම්මාලු. මේකෙන් තමන්ගේ ආත්ම අභිමානයට අගෞරව වෙච්චි නිසා නංගේලි එවෙලේම ඇගේ පියයුරු කපාගෙන මැරිලා වැටුණලු. මේ සිද්ධිය ඉතින් සුද්දගේ හිතටත් තදේටම දැනුණා. කොච්චර තදට දැනුණද කිව්වොත් අර පියයුරුවලට ගහන බද්ද එතැනින්ම අකුලගත්තලු.

පියයුරු කියන්නේ කාන්තාවන්ගේ අභිමානය. ස්ත්‍රීත්වයේ සංකේතය. ඉතින් ඔය පියයුරු වෙනුවෙන් සටන් කළ එක කාන්තාවක් විතරයි. මේ වගේ කාන්තාවන් තව ඕනතරම් ඉතිහාස කතාවල ඉන්නවා.

ඒ කාලේ අය පියයුරුවල අයිතීන්වලට ජීවිත පූජා කරලා සටන් කළත් දැන් කාලේ ගොඩක්දෙනාගෙන් පියයුරුවලට ලැබෙන්නේ කුඩම්මගේ සැළකිලි. පියයුරු යුග්මය රැකගන්නේ කොහොමද කියලා ටිකක් කතා කරන්න හිතුවේ ඒකයි.

ඔන්න ඉතින් පියයුරු කිව්ව හැටියේම සමහරුන්ගේ හිතට එන්නේ ටිකක් වෙනස් විදියේ සිතුවිලි. අම්මා කෙනෙක් දරුවෙක්ට කිරි දෙන්නේ පියයුරුවලින්. ඉතින් පියයුරු කියන්නේ ඉතාම පාරිශුද්ධ දෙයක් කියන එක තමයි විද්වතුන්ගේ අදහස. ඒ නිසා පියයුරු කිව්වම හිතට අපවිත්‍ර සිතුවිල්ලක් එනවා නම් ඒක ඒ කෙනාගේ ප්‍රශ්නයක්.

ගැහැනුන් උඩුකය නොවැසූ යුගයකුත් අපි පහු කළානේ. සීගිරිය, ඉසුරුමුණි විහාරය වගේ පෞරාණික ස්ථානවල තියෙන සිතුවම්, කැටයම් වගේ දේවලින් ඒ කාලේ ලලනාවන්ගේ පයෝධර සොඳුරුවට දිස්වෙනවා.

ඒ විතරක් නෙවේ ඒ කාලේ හිටි සාහිත්‍යකරුවන් කාන්තාවන්ගේ පයෝධර ගැන හරියට කවි වර්ණනා කරලා තියෙනවා.

සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින

නිසි පුළුලුකුළ රියසක යුරු තිසර තන’

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ස්ත්‍රී පයෝධර සමාන කරලා තියෙන්නේ කරත්ත රෝදවලට. කාන්තා පියයුරු හංසයින්ට සමාන කරලා ලියැවුණු කවිත් සියයකට අධික ප්‍රමාණයක් සාහිත්‍ය කවිවල තියෙනවලු.

සැරද හස රද සඳ පුන් සඳ පහන් පිරිසිදු

පියකරු පිය පියන් පිරි පියොවුරු ලෙසින් හොබනා’

හංස සංදේශයේ හංසයින්ව ස්ත්‍රී පයෝධරවලට සමාන කරලා තියෙන්නේ ඔහොම. හංසයාට දියෙන් කිරි වෙන් කරගන්න පුළුවන් වගේ දෙතනට රුධිරයෙන් කිරි වෙන් කරගන්න පුළුවන් නිසා පියයුරු හංසයින්ට උපමා කරලා තියෙනවා කියලයි කියැවෙන්නේ.

කාන්තාවකගේ පියයුරුවල නිවැරදි පිහිටීමෙන් රූපයේ ලස්සනට ලොකු පිටිවහලක් ලැබෙන බව හැබෑව. ඕක තේරුම්ගත්තු නිසාමදෝ පියයුරු නිරාවරණය කරගෙන හිටි කාලේ හෙළ ස්ත්‍රීන් මේ පෙදෙසට විවිධ තෙල් සම්බාහන සහ ආයුර්වේද ඖෂධ භාවිතා කළ බවට සාක්ෂි තියෙනවා. ඒ වගේම ඊජිප්තුවේ ප්‍රකට රැජිනිය ක්ලියෝපැට්‍රා තමන්ගේ පියයුරු තිරිහන් කරගන්න ඉතාම රහසිගත වට්ටා්රු භාවිතා කළ බවත් සඳහන්.

මිනිසා ශිෂ්ඨාචාරගත වෙච්චි කාලේ ඉඳලා ලස්සන එක එක විදියට අර්ථකතනය කරලා තියෙනවා. සමහරු සුදු අය ලස්සනයි කියනවා. එතකොට තව ඈයෝ උස අය ලස්සනයි කියනවා. පියයුරු විශාල කාන්තාවන් සුන්දරයි කියන මතයත් ඔහොම ඇතිවුණ එකක්ලු.

20 වැනි සියවසේ මුලබාගේ වෙනකොට පියයුරු කුඩා කාන්තාවන් සමාජයේ සමච්චලයට ලක්වෙන තැනටම ඔය උන්මාදය දික්ගැස්සිලා. ඊටපස්සේ තමයි කාන්තාවන් පියයුරු හැඩ කරගන්න, විශාල කරගන්න සැත්කම්වලට ​යොමුවෙලා තියෙන්නේ. ඒ සැත්කම් නම් දැනුත් සමහරු කරනවා. හැබැයි නිවැරදි ජීවන රටාවක් පටන්ගන්න පුළුවන් නම් ළමැද ලස්සන කරගන්න සැත්කම් කරගන්න අවශ්‍යම නැහැ. ඒ කොහොමද කියලා දැන් කතා කරමු.

කාන්තාවගේ පියයුරුවල හැඩය වෙනස් වෙන්න බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එයින් මූලිකම එකක් තමයි නිවැරදි ඉරියව් පවත්වා නොගැනීම. සමහරු නිතරම ඉන්නේ උරහිස වකුටු කරගෙන. කාලයක් යද්දි ඉතින් ඕක පුරුද්දක් බවට පත්වෙනවා. මේ වැරදි පුරුද්ද පියයුරුවල පිහිටීම වෙනස් වෙන්න බලපානවා. මුනින් අතට හැරිලා නිදාගන්න එක ඊළඟ වරද. මේ විදියට නිදාගන්නකොට පපු ප්‍රදේශය යම් තෙරපීමකට ලක්වෙනවා. ඊටපස්සේ ඉතින් පයෝධර වයසටත් කලින් එල්ලා වැටෙන එක ගැන අහන්න දෙයක් නැහැ. ඒ නිසා නිතරම නිවැරදි ඉරියව් පවත්වාගන්න බලන්න. අනිත් වැදගත්ම දේ තමයි උසට සරිලන බරක් පවත්වගන්න එක.

පියයුරු කියන්නේ ඉක්මනින් මේදය තැම්පත් වෙන ස්ථානයක්. ඉතින් අනවශ්‍ය විදියට මේදය තැම්පත් වුණොත් පියයුරු එල්ලා වැටෙන්න ඉඩ තිබෙනවා.

ඊළඟ කාරණාව පයෝධර යුගළට තක්කෙටම හරියන තිසරපටයක් හොයාගන්න එක. ඒකනම් ටිකක් අමාරු වැඩක්. තිසරපටයක් තෝරාගනිද්දී සමහරු බලන්නේ ඒකේ ලස්සන විතරයි. ඉතින් මේවා තෝරද්දි තොරොම්බල් ගතියට වඩා ඇඟට සුවපහසුද කියන එක බලන්න. බ්‍රා මිලදී ගන්නකොට පියයුරුවල ප්‍රමාණයට වඩා විශාලත් නැති කුඩාත් නැති පියයුරුවලට සමාන බ්‍රා කප් එකක් තෝරගන්න එක වැදගත්.

ඒ වගේම ව්‍යායාම කරනකොට ඒ වෙනුවෙන්ම සකස් කරලා තියෙන ස්පෝර්ට්ස් බ්‍රා එකක් වගේ දෙයක් භාවිතා කරන්න. මොකද ව්‍යායාම කරද්දි පියයුරු ලිහිල්වට තිබුණොත් ව්‍යායාම ඉරියව් එක්ක පියයුරු එල්ලා වැටීමකට ලක්වෙන්න පුළුවන්. අනික එකම බ්‍රා එක දවස් ගාණක් අඳින්න යන්නත් එපා. ඒකෙන් පපු ප්‍රදේශයේ අළුහම්, දද වගේ ආසාදන ඇතිවෙන්න පුළුවන්.

ස්ත්‍රී පයෝධරවල ලාලිත්‍ය පවත්වාගන්නේ කාන්තා හෝර්මෝන වෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. ඉතින් මේවා වැඩි කරගන්න නම් නිතරම සෝයා, පිස්ටාචියෝ, ආමන්ඩ්, රටකජු වගේ ඇට වර්ග සහ එළවලු, පලතුරු වගේ දේවල් කන්න ඕනේ.

ගර්භිණී බව නිසා වගේම දරුවන්ට කිරි ලබාදුන් පසුවත් පියයුරුවල හැඩය වෙනස් වෙනවා. කාන්තාවකට පියයුරු ලැබිලා තියෙන්නේ දරුවෙක්ට කිරි ලබාදෙන්න බව අපි මුලිනුත් කිව්වනේ. ඒ නිසා අම්මා කෙනෙක් ඒ ගැන වැඩිය හිතන්න යන්නේ නැහැ. ඒත් අම්මා කෙනෙක්ට වුණත් සම්බාහන සහ ව්‍යායාම මගින් කාලයත් එක්ක පියයුරු නැවත යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන්.

ළමැදේ පැහැපත්බව සහ පිරිපුන් බව වැඩි කරගන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැනත් බලමු.

ඉරඑළියට නිරාවරණය වෙනවා නම් වතකමලට විතරක් නෙමේ ඇදුමක් ඇන්දම නිරාවරණය වෙන පපු කොටසටත් (Cleavage) සන් ක්‍රීම් ටිකක් ආලේප කරන්න.

ජොජොබා තෙල්, ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් මේ එකක්වත් නැත්නම් පිරිසිදු පොල්තෙල් ටිකක්වත් හදලා සති දෙකකට සැරයක්වත් පියයුරු සම්බාහනය කරන්න. ඔහොම පියයුරු සම්බාහනය කරනකොට ඒ ප්‍රදේශයේ රුධිර සැපයුම වැඩිවෙන නිසා ලස්සන පුන් පියයුරු යුගළක් ලබාගන්න අපහසු වෙන්නේ නැහැ.

ඒ පෙදෙසට කරන සත්කාරයක් විදියට කඩල පිටි මේස හැඳි 3කට මී පැණි මේස හැන්දක් සහ මී කිරි මේස හැන්දක් මිශ්‍ර කරලා ආලේප කරන්න. විනාඩි 20ක් විතර තියලා සෝදලා ඇරලා ළමැදට විටමින් E අඩංගු ක්‍රීම් එකක් ආලේප කරන්න.

ඒ වගේම මී කිරි මේස හැඳි දෙකකට ලෙමන් තේ හැන්දක් දාලා අලේප කරන්නත් පුළුවන්.

කොලැජන් හරි ග්ලයිකොලික් ඇසිඩ් හරි අඩංගු සීරම් එකක් හරි බොඩි ලෝෂන් එකක් හරි මේ ප්‍රදේශයට ආලේප කරන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම නිසි උපදෙස් මත යෝගා ආසන, Pull-up, Push-up වගේ ව්‍යායාම කරන්නත් පුළුවන්. ඒවායිනුත් පියයුරු හැඩය වැඩිදියුණු වෙනවා.

අවසාන වශයෙන් කියන්න තව දෙයක් තියෙනවා. අපි මේ මොනා කළත් තදට තියෙන ළමැද වියපත් බවත් එක්ක මෙළෙක් වෙනවා. ඒක ලෝක සොබාවය. ඉතින් මොන රූපලාවණ්‍ය සත්කාර කළත් ඒක ඔලුවේ තියාගන්න පුළුවන් නම් ගෑනු අපිට වෙන ඇඟපතේ වෙනස්කම් මැදිහත් සිතින් කළමනාකරණය කරගන්න එක ලේසි!

ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශක

මාලිංග ප්‍රනාන්දු

Personal Grooming

Fernando.malinga

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි