විශේෂාංග

මූණට ක්‍රීම් ගානවට වඩා සීරම් ගාන එක හොඳයි

කාලයත් එක්ක ලෝකේ මිනිස්සු අලුත් අලුත් දේවල් හොයාගන්නවා. ඔය සොයාගැනීම් එක්කම නව ප්‍රවණතා ඇතිවෙන එක සාමාන්‍යයි. අනිත් හැම ක්ෂේත්‍රයකම වගේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙත් ඔය වගේ විවිධ ප්‍රවණතා මතුවෙනවා. ෆේස් සීරම් කියන්නෙත් ලස්සනට ඉන්න කැමති ලලනාවන් අතර මේ දවස්වල ප්‍රචලිත දෙයක්.

දැන් ගොඩදෙනා මූණට සීරම් එකක් භාවිතා කරනවා. හැබැයි ඒක තමන්ට ගැලපෙන එකක්ද නැද්ද කියලා හිතේ දෙගිඩියාවෙන්. ඒ වගේම තක්කෙටම ගැලපෙන සීරම් එකක් තෝරගන්නේ කොහොමද කියලා හිත හිතා ලතැවෙන අයත් ඉන්නවා. අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ ලිපිය ලියන්නේ. ගෙදරදිම ෆේස් සීරම් හදාගන්නේ කොහොමද කියලත් අද අපි කියලා දෙනවා.

ෆේස් සීරම් එකක් කියන්නේ මොකද්ද කියන කාරණාව ගැනයි මුලින්ම දැනුවත් වෙන්න ඕනේ. මේක ක්‍රියාකාරී ද්‍රව්‍ය කිහිපයක් එකට සංයෝජනය කරලා හදාපු ද්‍රවමය ආලේපනයක්. සාමාන්‍යයෙන් අපි සම පැහැපත් කරන්න භාවිතා කරන්නේ ක්‍රීම් ආලේපනනේ. ක්‍රීම් ආලේපනවල රසායනික අංශුවලට වඩා සීරම් එකක තියෙන අංශු ප්‍රමාණයෙන් කුඩායි. ඒ නිසා ක්‍රීම් ආලේපනයට වඩා පහසුවෙන් සීරම් එකක් සම මත පැතිරිලා යනවා. ඒ වගේම එවා ඉක්මනින්ම සමට උරාගන්නවා. ෆේස් සීරම් එකක ක්‍රියාකාරීබව ක්‍රීම් ආලේපනයකට වඩා 70%  ගුණයකින් වැඩිබව අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාල සිසුන් කළ පරීක්ෂණයකින් තහවුරු වෙලා තියෙනවා.

අනික ක්‍රීම් ආලේපනයක් භාවිතා කළහම සමට අපහසුබවක් දැනෙනවනේ. ඉක්මනින් සමට දහඩිය ස්වභාවයක් එහෙමත් තියෙනවා. හැබැයි ෆේස් සීරම් එකකින් ඔවැනි ගැටලු මතුවෙන්නෙත් නැහැ. හැබැයි සීරම් එකක් ගෑව හැටියේ ගහෙන් ගෙඩි එන්නා වගේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා සීරම් එකක් ගාලා බ්ලීච්න් ක්‍රීම් එහෙක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා.

වෙළඳපොළේ ජලය මත පදනම් වූ ෆේස් සීරම් වර්ග වගේම තෙල් මත පදනම් වූ සීරම් වර්ගත් තියෙනවා. සමේ තෙල් ස්වාභාවය වැඩි කෙනෙක්ට නම් තෙල් මත පදනම් වුණු සීරම් වර්ග යෝග්‍ය නැහැ. ඒ අයට වැඩිය හොඳ ජලය මත පදනම් සීරම්. වියළි, සාමාන්‍ය නැතිනම් සංවේදී සමක් තියෙන අයට නම් ඔය වර්ග දෙකම භාවිතා කරන්න පුළුවන්.

ඊළඟ කාරණය විවිධ රූපලාවණ්‍ය ගැටලු වෙනුවෙන් නිපදවූ සීරම් වර්ග තියෙනවා. ඉතින් ෆේස් සීරම් එකක් තෝරගන්නකොට අවශ්‍යතාවයට අනුව ඒවා තෝරගන්න එක වැදගත්.

ලෝකයේ බොහෝ කාන්තාවන් ෆේස් සීරම් භාවිතා කරන්නේ වයස්ගතවීම පාලනය කරන්න. මොකද සමේ කොලැජන් තන්තු හොඳින් උත්තේජනය කරලා සිහින් රේඛා, රැළි ඇතිවීම පාලනය කරන්න සීරම් එකකට පුළුවන්. කෙනෙක් වයස්ගතවීම පාලනය කරගන්න සීරම් එකක් භාවිත කරනවා නම් හයලුරොනික් ඇසිඩ්, රෙටිනෝල්, නියාසිනමයිඩ්, රෙස්වෙරට්‍රෝල්, විටමින් C, E කියන මේවායින් එකක් හෝ කීපයක් අඩංගු සීරම් එකකුයි තෝරගන්න ඕනේ.

සමේ ළප කැළැල් ඉවත් කරන්න හිතාගෙන සීරම් එකක් භාවිතා කරනවා නම් රෝස්හිප් තෙල්, ෆෙරුලික් අම්ලය, විටමින් C, E, හයලුරොනික් ඇසිඩ්, නියාසිනමයිඩ් කියන සංයෝග එකක් හෝ කීපයක් තියෙනවද කියලා බලන්න. එතකොට සමේ තෙතමනයට හයලුරොනික් ඇසිඩ්, විටමින් B5 අඩංගු සීරම් වර්ග වඩා හොඳයි.

කුරුළෑ සහ ළප කැළැල් ඉවත් කරගන්න ඇස්ටැක්සැතින්, සැලිසිලික් අම්ලය, නියාසිනමයිඩ්, විටමින් B3, C අඩංගු ආලේපනයක් තෝරගන්න මතක තියාගන්න. අරමුණ සම පැහැපත් කරන්න එකනම් විටමින් C, E, ග්ලයිකොලික් අම්ලය, කොජික් අම්ලය, ෆෙරුලික් හෝ ලැක්ටික් වගේ දේවල් අඩංගුයිද බලන්න.

මේ වගේ ගැටලු අවම වෙනවට අමතරව සාමාන්‍ය ඕනම සීරම් එකකින් හිරුඑළියෙන් සමට වුණු හානිය අවම කරගන්නත් පුළුවන්. ෆේස් සීරම් එකක් තවත් ක්‍රීම් ආලේපනයක් එක්ක මිශ්‍ර කරලා ආලේප කරන එක හොඳයි කියලා ඇතැම්මු කියනවා. නමුත් සීරම් එකක් ඍජුව සමට ආලේප කරන තරමට ප්‍රතිඵල වැඩියි කියලයි ලෝකයේ ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පීන් කියන්නේ.

සීරම් එකක් හරි විදිහට පාවිචිචි කරන්නේ කොහොමද කියලත් බලමු. රාත්‍රී භාවිතයට යෝග්‍ය සීරම් වර්ග වගේම දවසේ ඕනම වෙලාවක ආලේප කරන්න පුළුවන් සීරම් වර්ගත් තියෙනවා. හොඳ ප්‍රතිඵල ගන්න නම් සීරම් එකක් දවසට දෙපාරක්වත් පාවිචිචි කරන්න ඕනේ. සීරම් ආලේප කරන්න කලින් ක්ලෙන්සර් නැත්තම් ෆේෂ්වොෂ් භාවිත කරලා සම හොඳින් පිරිසුදු කරලා තෙතමාත්තු කරගන්න. ඊටපස්සේ මුහුණට සීරම් බිංදු හතරක් විතර ආලේප කරලා මෘදුව කවාකාරව පිරිමදින්න.

හරි, ගෙදරදිම ෆේස් සීරම් කිහිපයක් හදාගන්න හැටි දැන් කතා කරමු. කෝමාරිකා යුෂ තේ හැඳි එකක්, විටමින් E තෙල් තේ හැඳි බාගයක්, ආමන්ඩ් තෙල් බිංදු දෙකක්, ග්ලිසරින් තේ හැඳි බාගයක් එක්ක රෝස වතුර බිංදු තුන හතරක් පිරිසුදු භාජනයකට දාලා හොඳින් මිශ්‍ර කරන්න. පැය හයක් විතර ශීතකරණයේ තියලා සීරම් එකක් විදිහට ආලේප කරන්න. මේ සීරම් එක ශීතකරණයේ තියලා සති දෙකක් වුණත් පාවිචිචි කරන්න පුළුවන්. මේක ඕනම සමකට භාවිත කරන්න පුළුවන්. සම පැහැපත් කරන්න වගේම සමේ තෙතමනය වැඩි කරන්නත් මේක කදිමයි.

වතුර භාජනයක් ලිපේ තියලා වතුර උතුරනකොට ඒකට හණ ඇට මේස හැඳි දෙකක් එකතු කරන්න. විනාඩි දහයක් විතර ගියාට පස්සේ මේක ලිපෙන් බාගන්න. කොට්න් රෙදි කෑල්ලකට මිශ්‍රණය දාලා හොඳින් යුෂය පෙරාගන්න. ඊටපස්සේ මේ යුෂයට ආමන්ඩ් තෙල් නැත්තම් විටමින් E ස්වල්පයක් මිශ්‍ර කරලා ආලේප කරන්න. මේක සමේ තරුණ බව වැඩි කරන සීරම් එකක්. හැබැයි මේක කල්තියාගන්න පුළුවන් නම් දවස් දෙකයි.

මූණ පැහැපත් කරන කදිම සීරම් එකක් ඊළඟට හදමු. දොඩම් ගෙඩියක ලෙලි, රෝස වතුර තේ හැඳි බාගයක්, කෝමාරිකා යුෂ, ග්ලිසරින් සහ විටමින් E කරල් දෙකක් අරගෙන බ්ලෙන්ඩර් කරන්න. පස්සේ එහි යුෂ පෙරාගෙන පැය හයක් විතර තියලා ශීතකරණයේ තියලා පාවිචිචි කරන්න. මේ සීරම් එක කාමර උෂ්ණත්වයේ වුණත් සති දෙකක් තියාගන්න පුළුවන්.

ආගන් තෙල් 10ml, කැරට් තෙල් 10ml වලට විටමින් E තෙල් මිශ්‍ර කරලා හිස් සීරම් බෝතලයකට දාගෙන පාවිචිචි කරන්න. වියළි සමක් තියෙන කෙනෙක්ට මේක වඩා හොඳයි. ඒ වගේම සමේ ළප කැළැල් ඉවත් කරන්නත් මේ සීරම් එකට පුළුවන්. මේක මාස කිහිපයක් වුණත් කල්තියාගන්න පුළුවන්.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි