විශේෂාංග

මට ඕන කෝටු පරාණයක් වගේ කෙට්ටු වෙන්න

‘‘දැනටමත් මේ හුළඟට ගහගෙන යන තරම් කෙට්ටුයි. එත් මේ ළමයා කියනවා ‘මට ඕන කෝටු පරාණයක් වගේ කෙට්ටු වෙන්න’ කියලා. මොකක්ද මහත්තයෝ අපිට නොතේරෙන මේ කරුමේ?’’

මේ මෑතකදී අම්මා කෙනෙක් ඇඬූ කඳුළින් මගෙන් අහපු ප්‍රශ්නයකි.

රූපලාවණ්‍යාගාරවලට ගොස් හැඩවීම දැන් ගම්බදව පවා දකින්ට ලැබෙන ප්‍රවණතාවයකි. ඒ ආකාරයටම තමන්ගේ රූ සපුව ඉහළ මට්ටමක තබා ගැනීමටත්, වැඩිපුර තරබාරු නොවීමටත් බොහෝ තරුණ තරුණියන් වගබලා ගනිති. මෙය සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් අද මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කෙට්ටු වීම එසේත් නැතිනම් බර අඩු කරගැනීම, මානසික ව්‍යාධියක් (රෝගයක්) බවට පත්වූ තත්ත්වයක් ගැනයි. එනම් මා මුලින් කියූ ලෙස ‘දැනටමත් හුළඟට ගහගෙන යන තරමේ කෙට්ටු අයෙක් කෝටු පරාණයක් මෙන් කෙට්ටු වීමට උත්සාහ ගන්නා මනෝභාවය ගැනයි.

මානසික රෝගවලදී දක්නට ලැබෙන සියලුම රෝග ලක්ෂණ, සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් තුළ ඇති සිතුවිලි හෝ චර්යාවන්, ප්‍රමාණයෙන් හෝ ගුණාත්මකව වැඩි වී තමන්ට හෝ වෙනත් කෙනෙකුගේ ජීවිතයට කරදරයක් බවට පත්වන තත්ත්වයක පවතින බව මා මීට පෙරද සඳහන්කොට ඇත.

මේ ව්‍යාධිජනක කෙට්ටුවීම හෙවත් Anorexia Nervosa නමින් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන (මේ සදහා සිංහල නමක් නොමැත) රෝගී තත්ත්වය කල්තබා හඳුනාගැනීම අතිශයින් වැදගත්ය. උසට සරිලන බරින් 15% වඩා අඩුවෙන් පැවතීම මෙම රෝගී තත්ත්වය වේ. වෛද්‍යවරුන් නිශ්චිතවම මේ තත්ත්වය තීරණය කිරීමට ශරීර ස්කන්ධ දර්ශකය (හෙවත් Body Mass Index) භාවිත කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සකස් කළ වගුවක් භාවිත කරයි. එහිදී කෙනෙකුගේ බර රාත්තල්වලින් ගෙන උස අඟල්වලට හරවා එය වර්ගකර ලැබෙන අගයෙන් බෙදනු ලබයි. එවිට ලැබෙන අගය 17.5ට අඩුනම් Anorexia Nervosa ඇතැයි තීරණය කරයි. එහෙත් ඔබ මේ සමීකරණය ගැන ඔබ වැඩිපුර කලබල විය යුතු නැත.

මේ බර අඩුවීම සිදුවන්නේ හුදු කායික රෝගයක් නිසා නොවේ. මේ රෝගයේ සුවිශේෂ ලක්ෂණ වන්නේ තමාගේ බර පිළිබඳ ඇති කරගන්නා අනවරත සිතුවිලි සමුදාය හරහා බර අඩු කරගැනීම සඳහා අනර්ථකාරී ලෙස සක්‍රියව කටයුතු කිරීමයි. මෙවන් තත්ත්වයක් තුළ කෙට්ටු වීමට දරනු ලබන උත්සාහයන්, ඒ සඳහා අනුගමනය කරනු ලබන චර්යාවන් වගේම තමන්ගේ ශරීරය පිළිබඳව දරන සිතුවිලි සහ ඒ ආශ්‍රිත හැඟීම් අනවශ්‍ය ප්‍රමාණයට වඩා ගුණයෙන් හා ප්‍රමාණයෙන් වැඩි වී, තමන්ටත් තම පවුලේ උදවියටත් කරදරයක් වන තත්ත්වයට පත්වේ. මේ නිසා මෙම රෝගය පිළිබඳව වඩාත්ම තේරුම්ගත යුතු වන්නේ දෙමාපියන්ය. එයට හේතුව අනවශ්‍ය ලෙස බර අඩු කරගැනීම සඳහා කරනු ලබන දේවල් වැරදි බව ඔවුනට නොසිතීමයි.

ඉංග්‍රීසි ජාතික කායික රෝග විශේෂඥයෙක් වන විලියම් ගල් (1868 දී) මෙම රෝගී තත්ත්වය මුලින්ම හඳුන්වා දුන්නේය.

මෙහි මානසික රෝග ලක්ෂණ මෙන්ම කායික රෝග ලක්ෂණද ඇත. මානසික රෝග ලක්ෂණ අතර ප්‍රධාන වන්නේ තමාගේ බර සහ ශරීර හැඩය පිළිබඳව අතිශය අනර්ථකාරී ලෙස සිතීමත් ඒ නිසාම බර අඩු කරගැනීම සඳහා කරනු ලබන ක්‍රියාවනුත්ය. සමහර විටදී මොවුහු හිතාමතා වමනය කිරීම, ආහාර වේලක් ගැනීමෙන් පසු හිතාමතා ඇඟිලි උගුරට දමා වමනය කිරීම හෝ ආහාර ගන්නා ප්‍රමාණය හිතාමතා අඩු කිරීම, ආහාරවල ඇති කැලරි ප්‍රමාණය ගැන පමණට වඩා අවධානය යොමු කරනු ලබයි. මෙවන් දරුවෙකු විශ්වාස කරන්නේ තමා අතිශය ස්ථුලබවයි. ඔවුන් බොහෝවිට ආහාර ගැනීමේදී දිනකට කැලරි 600 ඉක්ම නොවීමට කටයුතු කරයි. බර අඩු කරගැනීම සඳහා අනර්ථකාරී ලෙස ව්‍යායාමවල යෙදෙයි. තවත් සමහරු බර අඩු කරගැනීම සඳහා බඩ විරේක කිරීමට පාවිච්චි කරන පෙති කරල් බෙහෙත් වර්ග පාවිච්චි කරයි. මෙහි අනෙක් සරදම නම් තමාගේ කෑම වේල අඩු කරගැනීමට දැඩි ලෙස උත්සාහයක යෙදෙන මොවුන් අන් අයට කෑම උයා පිහාදීමට ඇලුම් කිරීමයි. ඒ ආකාරයටම අදහාගත නොහැකි අනිත් ප්‍රතිවිරෝධය නම් මොවුහු 10-20% අතර ප්‍රමාණයක් කෑම වර්ග සොරාගනියි. උදාහරණයක් වශයෙන් සුපර්මාකට්වලින් කෑම සොරා ගැනීමට උත්සුක වේ. මේ සමහරක් 50% පමණ බොහෝ අවස්ථාවලදී වරින් වර පමණට වඩා ආහාර ගෙන ඊටපස්සේ වමනය කිරීම ව්‍යායාම කිරීම ආදියද සිදුකරයි. මෙලෙස වැඩිපුර ආහාර ගන්නා තත්ත්වය Bulimia Nervosa වශයෙන් හඳුන්වන අතර සමහර අයට මෙයින් එක් රෝගයක් පමණක් හෝ මේ දෙකම එකවර පැවතිය හැක. වැඩිපුර ආහාර ගන්නා බොහෝ අය කෑම ගැනීමෙන් පසු වරදක් කළ කෙනෙකුගේ මානසිකත්වය ඇති කරගන්නා අතර ඊට පසු වමනය කිරීම හෝ පාචනය ඇති කරගැනීම සඳහා කටයුතු කරයි. කෘෂ අයට ආහාර ගැනීමට වෙන අය බලකර සිටියහොත් ඔවුන් ඒ අය සමඟ වෛර බැඳ ගැනීමට පවා ඉඩ ඇත. මෙම තරුණ දරුවන්ගේ මාසික ශුද්ධිය නැතිනම් ඔසප් වීම සිදු නොවීමද මෙම රෝගී තත්ත්වයේ ලක්ෂණයකි. මීට අමතරව මෙවන් අයට විශාදිය රෝග ලක්ෂණ දක්නට ලැබේ. තවද සමාජයෙන් ඈත් වී සිටීමත් සිදුවේ. එසේම ලිංගික කටයුතු පිළිබද ආශාවක් හෝ ආකර්ෂණය ද අඩුවේ.

සාමාන්‍යයෙන් මෙම රෝගී තත්ත්වය බටහිර රටවල ජනගහනය ලක්ෂයකට සියයට දෙකක් තුනක් පමණ වේ. එහෙත් ලංකාව තුළ එය ඊට වැඩිය. එනම් ලක්ෂයකින් 20 දෙනෙකුට පමණ මෙම තත්ත්වය ඇති බව මගේ නායකත්වය යටතේ සෞඛ්‍ය හා සමාජීය පර්යේෂණ හා සංවර්ධන අයතනය මගින් 2007 දී කරන ලද දීප ව්‍යාප්ත මානසික සෞඛ්‍ය සමීක්ෂණයේදී හෙළි විය.

බොහෝවිට මෙම රෝගී තත්ත්වය දකින්නට ලැබෙන්නේ ඉහළ හා මැද පන්තියේ සමාජ ස්ථරයේ වුවද, එය පහල සමාජ ස්ථරයන්හි ද දක්නට ලැබේ. මින් අති බහුතරයක් කාන්තාවන්ය. 10% පමණ පිරිමින්ට ද මේ තත්ත්වය ඇති විය හැක. සාමාන්‍යයෙන් මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ වයස දහසයේ දී පමණ වන අතර වයස තිහෙන් පසුව මෙම රෝගී තත්ත්වය අලුතෙන් ඇතිවීම සිදුවන්නේ අඩුවෙනි. නර්තනය සඳහා යොමුවන විශේෂයෙන් බැලේ නර්තනයට යොමුවන අයට මෙම රෝගී තත්ත්වය වැඩියෙන් ඇතිවන බවට පර්යේෂණ සාක්ෂි ඇත. සමහර විටෙක මෙය ඔවුන්ගේ වෘත්තියට අදාළව ගනු ලබන ක්‍රියාමාර්ග හරහා එම අන්තයකට ඇදී යාම විය හැක.

මෙම රෝගී තත්ත්වය ඇති වීමට බලපාන සාධක කීපයක් ඇත. එක පවුලක දරුවන්ට මෙම රෝගී තත්ත්වය ඇතිවීමට තිබෙන ප්‍රවණතාව වැඩිවන අතර එය ජාන පදනම නිසා හෝ පවුල් පසුබිම නිසා සිදුවිය හැක. තවද මොළයේ ඇති හයිපොතැලමස ග්‍රන්ථියට අදාළව ඇතිවන යම් යම් ව්‍යුහමය වෙනස්කම් මත මෙම තත්ත්වය ඇතිවිය හැක. සමාජීය සහ හුදු පුද්ගල සාධක සලකා බැලීමේදී, පුද්ගල අනන්‍යතාව පිළිබඳව ඇති මානසික ගැටළු ආදියද මෙයට බලපෑ හැකි අතර, පවුල් ඒකක තුළ සුවිශේෂ හේතුද බලපෑ හැක. දරුවන් අවශ්‍ය ප්‍රමාණයට වඩා ආරක්ෂා කිරීමට දෙමව්පියන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග තුළ නම්‍යශීලීභාවය නැති තත්ත්වය තුළ ඇතිවන පවුල් අර්බුධ තුළද මෙම තත්ත්වයට බලපෑ හැක.

මෙම තත්ත්වය කල්තබා හඳුනාගැනීම මගින් ඔවුන් වෙත යම් උපකාරයක් ලබාදිය හැක. ඒ සඳහා දෙමව්පියන්ගෙන් දරුවන්ගේත් අන්තර් සම්බන්ධතාවය වැඩිදියුණු කරගත යුතුව ඇත. නැවත ඔවුන්ගේ ශරීරයේ බර, උසට සහ වයසට ගැළපෙන ආකාරයට ගෙන ඒමද වැදගත්ය. මේ සියල්ල සඳහා මානසික රෝග පිළිබඳ විශේෂඥ හෝ මනෝ වෛද්‍ය විශේෂඥයකුගේ ආධාර පැතීම වඩා යහපත්ය.