“මිනී කපන වෙලාවට මම පුවක් කෑල්ලක් කටේ දාගන්නවා” වයස 18ක් වූ ස්නේහා කියන කතාව
“මම අනුභව කළේ අක්මාව සහ හදවත පමණයි. ඒක හරිම සරල දෙයක්. අපි විලෝ ගහේ අතුවලින් මස් පුච්චන්න පහසුවෙන්න ලී කූරු හදා ගත්තා. ඊටපස්සේ කපාගත්තු මස් කැබලි, දල්වා ගත් ගිනිමැල මඟින් පුළුස්සාගෙන කෑමට ගත්තා. මම තෝරාගත්තේ මරණය පෙනි පෙනී සිටිමින් ඉන්න දුර්වල මිනිසුන් පමණයි. ඔවුන් දින දෙක තුනක් ඇතුළත ජීවිතයෙන් සමුගන්නා බව පැහැදිලියි. තවත් දින කිහිපයක් දුක් විඳ විඳ ඉන්නවාට වඩා ඔවුන්ට ඒක පහසුවක්.”
ඒ කාලේ සෝවියට් සමූහාණ්ඩුවේ ජෝසප් ස්ටාලින්ගේ පාලනයට විරුද්ධ වුණු පිරිස් සිරකරුවන් විදියට ඉතාම අමානුෂික ලෙස ‘නසිනෝ’ කියලා දූපතක රඳවලා තිබුණා. නසිනෝ දූපතේ සිරකරුවන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙද්දී, අධික ශීතල, බඩගින්න දරාගන්න බැරිව මිනිස්සු අමු අමුවේම අනිත් දුර්වල මිනිස්සුන්ව මරාගෙන කන්න පටන්ගත්තා. මේ වැඩේ අනාවරණය වුණාට පස්සේ එවැනි එක සිරකරුවෙක් කරපු පාපොච්චාරණයක් තමයි අපි ඔය ඉහතින් සඳහන් කළේ.
ඒ විදියට මිනී මස් කන එක මොනතරම් ජුගුප්සාජනක වැඩක් වෙන්න ඇතිද කියලා මට හිතුණේ මළසිරුරක් එම්බාම් කරන විදිය මේ ඇස් දෙකෙන්ම බලාගත්තට පස්සේ. අධිසංවේදී පුද්ගලයෙකුට මෘතශරීරයක් එම්බාම් කරන ආකාරය බලා ඉන්න එක ඇත්තටම කිව්වොත් ටිකක් අමාරු වැඩක්. හැබැයි අපිට ඒක බලා ඉන්න එකත් අභියෝගයක් වුණාට මේ කියන්න යන්නේ ඒ වගේ මෘතදේහ එම්බාම් කරන පුංචි ගෑනු ළමයෙක් ගැන කතාවක්. ඇගේ නම තමයි ස්නේහා උද්‍යානි නේත්‍රාකුමාරි. දංකොටුවේ පදිංචි ඇගේ වයස අවුරුදු 18යි.
“මගේ තාත්තාත් මුල ඉඳන්ම මල්ශාලා වැඩ තමයි කරන්නේ. ඒ කියන්නේ මෘතදේහ එම්බාම් කරන එකේ ඉඳන් අනික් හැමදේම. අවුරුදු හත අටේ ඉඳන්ම මං ඒ දේවල් දැක්කා. ඉතින් දැකලම මටත් තාත්තා වගේ ඒ දේවල්වලට ආසාවක් ඇතිවුණා. ඒ නිසා පාසල් ගිහිල්ලා ඉවර වුණාට පස්සේ තාත්තා එක්කම මල්ශාලාවේ වැඩ කරන්න පටන්ගත්තා.”
ස්නේහා මුලින්ම මෘතදේහයක් තනිවම එම්බාම් කළේ ඇයට වයස අවුරුදු 15දිලු. ඒ අපවත් වුණු ස්වාමීන්වහන්සේ නමකගේ. ඒ අත්දැකීම ඇය අපිත් එක්ක විස්තර කළේ මේ විදියට.
“මෘතදේහයක් ලැබුණම මුලින්ම ඒක පිරිසිදු කරලා බේත් ගල්වනවා. බේත් ගල්වලා පැයක් තියන්න ඕනේ. පැයක් යද්දි සිරුර ගල්වෙනවා. ඊටපස්සේ අපි සිරුර කපලා ඇතුළේ කොටස් එළියට අරගෙන ඉවත් කරනවා. මැරිලා ඉන්න කෙනාගේ උගුරු දණ්ඩ කැපුවම ඇඟ ඇතුළේ තියෙන හැම කොටසක්ම අපට එළියට ගන්න පුළුවන්. ඊටපස්සේ රැවුල් කොණ්ඩ කපලා සිරුර පිළිවෙලට හදලා ඇඳුම් අන්දලා පෙට්ටියෙන් තියනවා. මං පළවැනි එම්බාම් එක කරද්දි නම් බය හිතුණා. ඒ හාමුදුරුවන්ගේ එම්බාම් එක කළේ පාන්දර තුනට විතර. ගෙදර ඇවිත් කෑවෙත් නෑ.”
මෘතදේහයක් එම්බාම් කරන එක අප්‍රසන්න වැඩක්නේ. ඒ නිසා බොහෝ මල්ශාලාවල ඒ කටයුත්ත සිදුකරන්නන් ඒ වැඩේ කරන්නේ මත්වතුර ටිකක් එහෙම බීලා. හේතුව විදියට ඔවුන් කියන්නේ එවැනි අප්‍රසන්න කටයුත්තක් හොඳ සිහියෙන් ඉඳගෙන කරන්න බෑ කියලයි. එතකොට ගෑනු ළමයෙක් වෙච්ච ස්නේහා?
“මෘතදේහයක් එම්බාම් කරන එක හරි අප්‍රසන්න වැඩක් තමයි. සිරුරේ තියෙන කොටස් එළියට ගනිද්දි පුදුම අප්‍රසන්න ගතියක් දැනෙන්නේ. ඒකයි ඔය එම්බාම් කරන අය මත්පැන් බොන්නේ. ඒ වුණාට මං නම් එහෙම දේවල් කරන්නේ නෑ. මං එම්බාම් එකක් කරද්දි එක්කෝ පුවක් කෑල්ලක් හපනවා. නැත්නම් බුලත් විටක් කනවා.”
මේ වෙද්දි ස්නේහා මෘතදේහ 50කට ආසන්න ප්‍රමාණයක් එම්බාම් කරලා තියෙනවලු. වෙනත් රැකියාවක් කරන්න පුළුවන්කම තිබුණත් ඇයට මේ රැකියාව දාලා යන්න කිසිම කැමත්තත් නෑ කියලයි ස්නේහා ‘ධරණී’ට කිව්වේ.
“දැන් මට ඉස්සර වගේ බයක් අප්‍රසන්න බවක් නෑ. හරි ආසාවෙන් මල්ශාලාවේ වැඩ කරන්නේ. මැරුණු මිනිස්සු එක්කලා ගැවසිලා ගැවසිලාම දැන් මමත් තේරුම් අරගෙන ඉන්නේ ජීවත්වෙලා ඉන්නකල් කොච්චර විච්චූරණ දැම්මත් අන්තිමේට කාටත් උරුම මෙතැන කියලා. ඒ අනිත්‍ය තේරුම් අරන් ඉන්න හින්දා වැඩ කරන්න ලේසියි.”
මෘතදේහ එක්ක ගනුදෙනු කරන එක කාගෙ වුණත් හිත ටිකක් ගැස්සිලා යන වැඩක්නේ. ඒ වුණාට තනිපංගලමේ කොයිතරම් මෘතදේහ අතපත ගෑවත් මේ වෙනකල්ම ස්නේහාගේ නම් එහෙම හිත ගැස්සිලා නැතිලු.
“මෙච්චර කාලෙකට නම් හිත ගැස්සිලා නෑ. මං රෑ දොළහටත් තනියම මෘතදේහ එම්බාම් කරලා තියෙනවා. බයෙන් බයෙන් වැඩ කළොත් විකාර පේන්න ගන්නවා. ඒ හින්දා මං කවදාවත් බයෙන් කරන්නේ නෑ. හැබැයි පොඩි බබාලගේ මෘතදේහ වගේ දැක්කම නම් දුක හිතෙනවා.”
කතාබහ අතරේ ස්නේහාට තියෙන තව සුවිශේෂී හැකියාවක් ගැනත් අපිට දැනගන්න ලැබුණා. ඇයට පුළුවන්ලු මෘතදේහයක මුහුණ, මියගිය පුද්ගලයා ජීවත්ව හිටපු කාලයේ පෙනුමට සමාන පෙනුමින් නිර්මාණය කරන්න. ඒ ඇගේම ක්‍රමයකට.
“සමහරු මෘතදේහයක් අපිට බාරදෙද්දි එහි මුහුණ ජීවත්ව ඉන්නකොට තිබුණා වගේ හදලා දෙන්න කියනවා. ගොඩාක් අයට ඒක කරන්න බෑ. ඒත් මට ඒ වැඩේ පුළුවන්. මගේ ගාව ඒකටම වෙන්කරපු මේකප් බඩු සෙට් එකකුයි මං හදාගත්ත පොටි විශේෂයකුයි තියෙනවා. මට ඕනේ එයාගේ ෆොටෝ එකක් විතරයි. අනතුරු වෙලා මුහුණට හානියක් වෙලා තිබුණත් මට පුළුවන් ෆොටෝ එකේ විදියට මෘතදේහයේ මුහුණ හදලා දෙන්න. තාත්තා ඒ කාලේ ඉඳන්ම මේ රස්සාව කළත් එයාට වුණත් ඒක කරන්න බෑ. ඒ නිසා තාත්තට මල්ශාලාවෙන් එම්බාම් එකක් කරන්න කතා කළාම දුවත් අනිවාර්යයෙන්ම එක්ක එන්න කියලා කියනවාලු.”
ස්නේහලාට ඔවුන්ගෙම කියා මල්ශාලාවක් නෑ. ඇයත් පියාත් දෙදෙනාම සේවය කරන්නේ වෙන පුද්ගලයින්ගේ මල්ශාලාවල. ඒ මල්ශාලාවලට මෘතදේහයක් ගෙනාවම ස්නේහාට හරි ඇගේ පියාට හරි ඒක එම්බාම් කරන්න එන්න කියලා පණිවිඩයක් එනවලු. ඒත් දැන් ස්නේහාගේ ලොකුම බලාපොරොත්තුව ‘ස්නේහා මල් ශාලාව’ කියලා ඇගේම මල්ශාලාවක් පටන්ගන්න එකලු.
“මට වෙන රැකියාවක් කරන්න ආසාවක් නෑ. තාත්තත් එක්ක දිගටම මේ රස්සාව කරන්නයි හිතාගෙන ඉන්නේ. ඒත් ගෑනු ළමයෙක් විදියට මං මල්ශාලාවක වැඩ කරන එකට තාත්තට දොස් කියපු අයත් හිටියා. හැබැයි මේක මගේ ආසාව. ඒක නිසා කවුරු මොනවා කිව්වත් මං මේ රස්සාව අත්හරින්නේ නෑ.”
අම්මාත් තාත්තාත් හැරුණුකොට ස්නේහාට ඉන්නේ මල්ලි කෙනෙක්. මේ වැඩේදි ඒ අයගේ හයියත් ඇයට නිතරම වගේ ලැබෙනවා කියලයි ස්නේහා අපිත් එක්ක කිව්වේ. ඉතින් කතාබහ අවසන් කරමින් එච්චර වෙලා ඇගෙන් අහන්න බලාගෙන හිටපු ප්‍රශ්නයක් මං ඇගෙන් ඇහුවා. ඒ ඇය කරන රැකියාව ඇයගේ අනාගතයට ගැටලුවක් වෙන්නේ නැද්ද කියලා. ඒක එච්චර බැරෑරුම්ව ගණන් නොගත්ත ස්නේහා මට දුන්නු උත්තරේ තමයි මේ.
“ඔය අහන්නේ විවාහයක් ගැන වෙන්න ඇතිනේ. තාම එහෙම සම්බන්ධයක් මට නෑ. මටත් තාම වයස 18යි හින්දා ඒ ගැන හිතලත් නෑ. හැබැයි අහපු දේට උත්තරයක් දෙන්න පුළුවන්. සැබෑ ආදරේ ළඟ ඔය රැකියාවල් වගේ බාහිර දේවල් අදාළ නෑ. හොඳම උදාහරණය තමයි අපේ තාත්තා. එයා කසාද බඳින්න කලින් ඉඳන් කරලා තියෙන්නේ මේ රස්සාව. ඒත් අපේ අම්මා එයාට කැමති වෙලානේ. ඉතින් ඒ වගේ මට කැමති කෙනෙකුත් කවදා හරි මුණගැහෙයි.”
රුවන් එස්.සෙනවිරත්න