විශේෂාංග

මට එයාව ගොඩක් මතක් වෙනවා. දැන් හදවතේ පැත්තක් නෑ වගේ -වැදූ පියා දරුවා රැගෙන යද්දී හැදූ පියා හැපී වැළපෙයි

ගෙවෙමින් තිබුණේ අගොස්තුවේ අන්තිම දින කිහිපයයි. බියෙන් ඇළලීගිය මුහුණින් යුතු ඇෆ්ගන් වැසියෝ, කාබුල් ගුවන්තොටට පැමිණියේ එක් බලාපොරොත්තුවකිනි. ඒ තලේබාන් සංවිධානයේ අණසකට යටත් වනවාට වඩා සරණාගතයින් ලෙස හෝ ජීවත්විය හැකි රටකට පලායාමේ අදිටනිනි. ජීවිත කාලය තුළ උපයාගත් ගේ දොර ඇතුළු සියල්ල අතහැර දරු පවුල් පිටින් ආ පිරිස් අතරේ මිර්සා අලි අහමදි නම් පස්දරු පියාද සිටියේය. ඔහු අතට අසුවූ යමක් බෑගයක දමාගෙන කාබුල් ගුවන්තොටට ආවේ ඇමෙරිකාවට පලායාමේ අදිටනනි. ඒ ඔහු සේවය කළ කාබුල් පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරී රැකියාවටද ආයුබෝවන් කියමිනි.

මිර්සා, බිරිඳ සුරායා හා තම දරු පස්දෙනා සමඟ කාබුල් ගුවන්තොටට එද්දී එහි මිනිසුන් පොදිකමින් නොසන්සුන්ව කෑකෝ ගසනු දුටුවේය. බිරිඳ අත සිටි පුංචි පුතු, සොහයිල් අහමදිට (Sohail Ahamadi) ඒ වනවිට වයස මාස දෙක ලැබුවා පමණි.

‘‘බිරිඳ අතේ හිටපු පුංචි සොහයිල් පුතාට සෙනඟ එහාට මෙහාට තල්ලුවෙන තෙරපීම දරාගන්න අමාරුයි. එයා එකදිගට අඬන්න ගත්තා. ඒ වගේම දරුවට අනතුරක් වෙයි කියන බයට මං ගුවන්තොටුපො‍ළේ තාප්පය ළඟ රාජකාරි කරපු ඇමෙරිකානු හමුදාවේ සොල්දාදුවෙකුගෙන් ඇහුවා දරුවව තාප්පයෙන් ගන්නවද කියලා. මම දරුවව පෝළිමේ ඇවිත් අරගන්නම් කිව්වා. ඔහු ඒකට කැමති වුණා. අතින් අත යවලා තමයි දරුවව ඔහුට දුන්නේ.’’

ඒ වනවිට ගුවන්තොටට ඇතුළුවීමට තිබුණේ මීටර් කිහිපයක දුරක් වුවද හදිසියේම ඒ අසළට කඩාපාත් වූ තලේබාන් හමුදා භටයින් පිරිස තවත් පිටුපසට තල්ලුකර හැරියෝය. ඒ මොහොතේ, මිර්සා ඇතුළු පවුලේ උදවියට තවත් පමා වන්නට සිදුවූ අතර, ඔවුන් පැය භාගයකට පමණ පසු ඇතුළට පැමිණ බලද්දී කුඩා සොහයිල් පෙනෙන්නට නොසිටියේය.

‘‘දරුවව ගුවන්යානෙට දෙන්න ඇති කිව්වම අපි ඒකෙත් බැලුවා. ඒත් දරුවා නැහැ. ඊළඟට ගුවන්තොටුපොළ බලධාරීන් කිව්වා කලින් ගිය ගුවන්යානේ දරුවා යවන්න ඇති කියලා. මොහොතේ අපි හරි අසරණයි. ඒ ගුවන්යානයේ අපි යා යුතුයි. හදවත හඬා වැටෙද්දී අපි ආවා.’’

මිර්සා කියන්නේය. එදා එහි සිටි වාර්තාකරුවන්, දරුවා හමුදා නිලධාරීන් අතට ගනිද්දී ගත් ඡායාරූප පසුදා පුවත්පත් ඇතුළු මාධ්‍යයන්හි සටහන්ව තිබුණි. මිර්සා ද ඒවා දුටුවේය.

කෙසේ හෝ මිර්සාත් පවුලේ අයත් ඇමෙරිකාවට ගිය දිනයේම හමිඩ් සායිෆ් නම් කුලී රථ රියැදුරෙකු කාබුල් ගුවන්තොටට පැමිණෙන්නේ, තම සහෝදරයා හා පවුලේ අය ගුවන්තොටට හැරලීමටය. ඒ මහා සෙනඟ ගොඩේ එක මොහොතක හමිඩ්ට ඇසුණේ දරු පැටියෙකු හඬනා හඬය. ඔහු එදෙසට ගියේ නිකමට මෙනි. පුංචි කොලු පැටියෙක් ගුවන්තොටේ බිම වැතිර නොනවත්වාම හඬමින් හිඳී. ඔහුට අයිතිකරුවෙකු නැත. දරුවා අතට ගෙන හමිඩ් වටපිට බැලුවේය. මේ කුමන ආශ්චර්යයක්ද? දෙන දෙවියන් ළඟටම ගෙනැවිත් දෙනවා යැයි කියන්නේ මේකටය. දරුවා කාගේදැයි කියා ඔහු බොහෝ අයගෙන් ඇසුවේය. එහෙත් ඔහුට උත්තර දෙන්නට දරුවාගේ හිමිකරුවෙකු නැත. විසිනව හැවිරිදි කුලී රථ රියැදුරාට පුංචි පැටියා ගැන මහත් ආදරයක් උපන්නේය.

එසේ එකවර මහා ආදරයක් කඩාපාත් වන්නට ඔහුගේ මවගේ වදන්ද බලපෑවේය.

‘‘මම ඇස් දෙක පියාගන්න කලින් මට උඹලගේ කොලු පැටියෙක්ගේ මූණ බලන්න ඕන.’’ ඒ හමීඩ්ට අම්මා නිතර කී වදන්ය.

දියණියන් තිදෙනෙකු ඇතත් පුතු පැටියෙකු නැති අඩුව ගැන මවට වාගේම හමිඩ්ගේ බිරිඳටත් තදින්ම දැනී තිබුණේය.

‘‘මම මේ දරුවව හදාගන්නවා. මට මේ පැටියව ආදරෙන් බලාගන්න පුළුවන්. ඔව්බැරි වෙලාවත් එයාගේ ගෙදර අය හම්බ වුණොත් එයාව ආපහු දෙනවා.’’

එසේ සිතු හමිඩ් එදිනම දරුවා වෛද්‍යවරයෙකු වෙත යොමු කළේය. දරුවාට මොහොමඩ් අබේඩි ලෙස නමක්ද තැබුවේය. අනෙක් දරුවන්ද සමඟ පුංචි අමුත්තා සිටින ඡායාරූප කිහිපයක් ගෙන මුහුණුපොතට එක් කළේය. ඒ පවුලට අලුත් සාමාජිකයෙකු එක්වීමේ සතුට වෙනුවෙනි. මෙසේ අලුත් දරු සෙනෙහසින් හමිඩ්ගේ නිවස පිරීයමින් තිබුණි. පුංචි අක්කලා තිදෙනා අලුත් මල්ලි දෙස බලා සිටියේ සතුටිනි. හමිඩ්ගේ බිරිඳද අලුත් අමුත්තා තම දරුවෙකු සේ පිළිගත්තාය. ඔහුගේ සුරතලය හමිඩ්ට ලොවම අමතක කරවූයේය.

මේ අතර අමෙරිකාව බලා ගිය සොහයිල්ගේ දෙමාපියන්ට පුංචි පුතු නැති අඩුව තදින්ම දැනෙන්නට විය. ඇෆ්ගනිස්ථනයේ සිටින ඥාතීන් හරහා ඔවුන් නිතර දරුවා ගැන විපරම් කළහ.

මිර්සාත් පවුලේ උදවියත්, ඉකුත් දෙසැම්බරය වෙනතුරුම රැඳී සිටියේ ඇමෙරිකා හමුදා කඳවුරකය. ඔවුනට මිචිගන්හි මහල් නිවාසයක පදිංචි වීමට පසුගියදා අවස්ථාව ලැබිණි.

මේ සියල්ල ලැබුණත් අතුරුදන් වූ දරුවා සොයා ගැනීමට ඇති ඕනෑකම ඔවුන් අත් නොහැරියේය. විටින්විට මාධ්‍ය වෙත යමින්, එදා පුංචි සොහයිල් හමුදා නිලධාරීන්ට භාරදෙන මොහොතේ රොයිටර් පුවත් සේවය විසින් ලබාගෙන ප්‍රසිද්ධ කරන ලද ඡායාරූපයද යළි උපුටා දක්වමින්ද දරුවා සොයාගැනීමට උදව් පැතීය.

කාබුල්හි සිටින කුලීරථ රියැදුරු හමිඩ්ගේ අසල්වැසියන් මෙම පුවත දැනගන්නේ ඒ අනුවය. මාස කිහිපයකට කලින්, කාබුල් ගුවන්තොටට ගොස් එද්දී ඔහු ගෙනා දරුවා මොහු විය හැකි බව ඔවුන්ගේ අනුමානය විය. ඒ අනුව ඔවුන් පුවත්පතේ පළවූ අංකයට ඇමතුමක් දුන්නේය. මේ ඇමතුමත් සමඟ සොහයිල්ගේ සැබෑ පියා වූ මිර්සාට දැනු‍ණේ මහත්ම සතුටකි. ඔහු කාබුල් ආසන්න නගරයක පදිංචි සිය බිරිඳගේ පියාව එහි පිටත්කර හරින්නේ සිද්ධිය හරියටම දැනගන්නටය. ඔහු එහි යද්දී තෑගිබෝගද රැගෙන ගියමුත්, හමිඩ් දරුවා නැවත ලබාදීම ප්‍රතික්ෂේප කළේය. රතුකුරුස සංවිධානය හරහාද එම ඉල්ලීම කරන්නට සොහයිල්ගේ පියා මිර්සාට සිදුවිය. ඉන්ද විසඳුමක් නොවූ තැන සොහයිල්ගේ පියා කළේ දරුවා හමිඩ් පැහැරගත් බවට තලේබාන් පොලිසියට පැමිණිලි කිරීමයි. එහෙත් ඒ සියල්ල හමිඩ් ප්‍රතික්ෂේප කළේය. කෙසේ හෝ සති පහක පමණ සාකච්ඡාවකින් පසු නීති කරුණුද සම්පූර්ණ කරමින් හමීඩ් දරුවා නැවත බාරදෙන්නට එකඟ විය. මාස පහක් දරුවා රැක බලාගැනීම වෙනුවෙන් හමීඩ්ට ඩොලර් 950ක (ලංකා මුදලින් නම් රුපියල් ලක්ෂයක පමණ) වන්දියක් ලබාදීමටද සොහයිල්ගේ ඥාතීන් පියවර ගත්තේය.

ඒ අනුව පුංචි සොහයිල්ව ඔහුගේ සීයාට භාරදුන්නේය. ඒ මොහොතේ හමිඩ් දරු සෙනෙහසින් හඬා වැටු​ණේය.

‘‘මට එයාව ගොඩක් මතක් වෙනවා. මට මගේ හදවතේ කෑල්ලක් නැතිවෙලා වගේ දැනෙනවා.’’

හමිඩ් අල් ජසීරා පුවත් සේවයට කීවේය. එමෙන්ම ඔහු දරුවා ඔහුගේ සීයා අතට භාරදී බිම වැටී හඬා වැටුණේ අප දැන සිටි හුණුවටයේ කතාව යළි නූතනයට පෙරලමිනි.

‘‘ඇත්තටම හමිඩ් දරුවව ආදරයෙන් බලාගෙන තිබුණා. ඒ මොහොතේ ඔහුත් ඇඬුවා. ඔහුගේ බිරිඳත් ඇඩුවා. මමත් ඇඬුවා. මම ඒ අයට කිව්වා ‘අපේ දරුවා බේරාදීම ගැන ස්තූතියි, ඔයාලා දෙන්න තවම තරුණයි. ඔයාලට අල්ලා දෙවියෝ පිරිමි දරුවෙක් නෙවෙයි, කිහිපදෙනෙක්ම ලබාදේවි’ කියලා.’’

ඒ සොහයිල්ගේ සීයා රසාවි, හමිඩ්ගේ සිත හැදූ හැටිය. දරුවා මාස කිහිපයකට පසු වීඩියෝ තාක්ෂණයෙන් දකිද්දී ඔහුගේ මව වන සුරායා සතුටට කෑගැසුවාය.

‘‘මම අපේ දරුවා වෙනුවෙන් නිතරම ඇඬුවා. දැන් එයා ආරක්ෂිතව මෙහි එනවා. මට ඊයේ රෑ සතුටට නින්ද ගියෙත් නැහැ.’’

ඇය කීවාය. එහෙත් හමිඩ්ට එහි අනෙක් පැත්තය. දරුවා සීයාට භාරදුන් දිනයේ ඔහුට දුකට නින්ද නොගියේය. ඒ දරු පෙමක අරුමයයි. වැදූ මව්පියන් තරමටම හැදූ මව්පියන් තුළද දාරක ස්නේහය උතුරා යන අවස්ථා තිබේ. පුංචි සොහයිල්ට ආදරය පාමින් හමිඩ් ලෝකයට කියා දුන්නේ ඒ අපූර්ව සෙනෙහසේ කතාවයි. තවත් පුතුන් නොලැබුණද ඒ දරු පෙම මියෙනතුරු ඔහුගේ හදවත උණුසුම්ව තබනු ඇත.

දීපා වසන්ති එදිරිසිංහ