ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘මැලේ’ ජාතික කාන්තා නිලධාරිනියකට ඉන්නේ මම විතරයි
බිඳුණු අස්ථියක සිට බිඳුණු හදවතක් දක්වා සුවපත් කිරීමේ හැකියාවක් ඇති ගැහැනිය මෘදුය. එසේම එකවර දරුවන් කිහිපදෙනෙකුට වුව ජන්මය ලබාදිය හැකිතරම් ඈ ශක්තිමත්ය. ඈ කඳුළු සලන්නේ ශෝකය, සැක සංකාව, ප්‍රේමය, තනිකම සහ ඇගේ අභිමානය ප්‍රකාශ කිරීමටය. ඇගේ ආදරය කොන්දේසි විරහිතය. ඇය තම විශ්වාස උදෙසා සටන් වදින්නීය. ඒ නිසාම දෙවියන් වහන්සේට ගැහැනිය නිර්මාණය කිරීමට දිගු කාලයක් ගත විය. මේ කියන්නට යන්නේ ඒ සියලු ශක්තීන්ගෙන් සපිරි කාන්තාවන් පිරිසක් ගැන කතාවකි.
ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශේෂ ආධාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාවේ සුවිශේෂී පුහුණුව ලැබූ සහ ලබමින් සිටින පිරිසකි. විශේෂ පුද්ගල ආරක්‍ෂාව හා විශේෂිත මෙහෙයුම් රාජකාරීවල යෙදවීමට අවැසි කුසලතාවයන්ගෙන් යුත් කාන්තා සෙබළියන් බිහිකිරීම මේ පුහුණුවේ අරමුණයි. එහිදී අවි පුහුණුව, සිතියම් කියවීම හා භූමියේ ගමන් කිරීම, යුද භූමියෙන් තුවාලකරුවන් ඉවත් කිරීම, මූලික යුද උපක්‍රම ආදී පුහුණුවීම් රැසක් සිදුකරනු ලබයි.
මෙහි පළමු අදියර 2016 වර්ෂයේ පවත්වා ඇති අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරම්භ කළ දෙවැනි පාඨමාලාව මේ වනවිට කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැලේදී ක්‍රියාත්මක වෙමින් ඇත. විශේෂ ක්‍රියාන්විත ආධාරක ඛණ්ඩ පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබු නිලධාරිනියන් හා සෙබළියන් හට දුඹුරු පැහැති කාන්තා බළකාය සඳහා විශේෂිත හිස්වැස්ම යුද්ධ හමුදාපතිතුමන් විසින් ලබාදෙන අතර, පාඨමාලාව සාර්ථකව නිමකිරීම වෙනුවෙන් හිමි නිල ලාංඡනය පැලඳවීමෙන් පසු ඔවුන් පරිපූර්ණ පුහුණුව ලත් විශේෂ ක්‍රියාන්විත ආධාරක ඛණ්ඩ සාමාජිකාවන් වශයෙන් විසිර යනු ලබයි.
එලෙස විශේෂ ආධාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාවේ නිතරව සිටින නිලධාරිනියක සමඟ සිදුකළ සංවාදයේ සටහනයි මේ.
*ඔබේ නම මොකක්ද?
මම දෙවැනි ලුතිතන් ජේ එච් අහමඩ්.
*යුද්ධ හමුදාවට බැඳුණේ කොයි කාලෙද?
2019 ජනවාරි තමයි මම දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨයට ඇතුළත් වුණේ. 2019 දෙසැම්බර් විසිර යාමේ පෙළපාලිය පැවැත්වුණා. මම දන්න විදිහට මම තමා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉන්න එකම මැලේ ජාතික කාන්තා නිලධාරිනිය.
*ඔබේ පවුලේ අය කැමති වුණාද ඔබ යුද්ධ හමුදාවට බැඳෙනවාට?
ඔව්. මගේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි හැමෝම කැමති වුණා. මගේ අයියලා දෙන්නා තමා මගේ වැඩවලට ගොඩක් උදව් කරන්නේ. ඇත්තටම එයාලා මට කිසිම බලපෑමක් කරන්නේ නෑ. ඒක මට ලොකු ශක්තියක්.
*මේ පුහුණුවේ පළවෙනි දවස කොහොමද?
එදා නම් අමතක වෙන්නෙම නැති දවසක්. පළවෙනි දවස කොච්චර අමාරුයිද කියනවානම් පාඨමාලාව දාලා යනවා කියලා හිතුණා. එච්චරටම බය හිතුණා. අපිත් එක්ක පුහුණුවට ආපු ළමයි 20ක් මේක කරන්න බෑ කියලා අයින් වුණා. දැනට මේ පාඨමාලාවට නිලධාරීන් හයදෙනෙක් සහ සෙසු නිලයින් 53ක් සහභාගී වෙලා ඉන්නවා.
*මේක බොහොම අභියෝගාත්මක පාඨමාලාවක්නේ. ඇත්තටම මේ පාඨමාලාවේ අරමුණ මොකක්ද?
මේ පුහුණුව ලබා දෙන්නේ විශේෂයෙන්ම ප්‍රභූ ආරක්ෂක රාජකාරි වෙනුවෙන් යොදවන්න.
*මොනවාද මේ පුහුණුවේදී ඔබට ලැබුණු අමතක නොවන අත්දැකීම්?
මේ පුහුණුව පටන්ගත්තු දවසේ ඉඳන්ම සෑම අත්දැකීමක්ම අපිට අමතක නොවන අත්දැකීමක්. මොකද ගොඩක් දේවල් අපි කරන්නේ පළවෙනි වතාවට. මට නම් රැෆලින් (කඹ ආධාරයෙන් බැසීම) දාපු දවස තමයි අමතක වෙන්නේම නැත්තේ. පළවෙනි වතාවටනේ අඩි 80ක් උඩ ඉඳලා බිමට පනින්නේ. ඉතින් ඒ අත්දැකීම අමතක වෙන්නේ කොහොමද?
*කාන්තාවක් විදිහට මේ පුහුණුව ඔබට දැනෙන්නේ කොහොමද?
අපි දෙයක් හිතුවොත් ඒක කරන්න අපිට පුළුවන්. ඒ විශ්වාසය මේ පුහුණුවෙන් තවත් වැඩි කරනවා. ඉතින් මම ආරාධනා කරනවා අනිත් තරුණියන්ටත් හමුදාව එක්ක එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම මැලේ ජාතික තරුණියන්ටත් මම ආරාධනා කරනවා.
විශේෂ ආධාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාවේ පළමු පාඨමාලාවට සහභාගී වී දැනට පුහුණු උපදේශිකාවක වශයෙන් කටයුතු කරන කෝප්‍රල් චන්දිමා නෙරංජලී විමලරත්න සමඟද අදහස් හුවමාරු කර ගැනීමට අපට හැකිවිය. ඇය කීවේ මෙවැනි කතාවකි.
‘‘මම හමුදාවට ආවේ 2008 අවුරුද්දේ. මම හමුදාවට එනවාට ගෙදරින් කැමති වුණේ නැහැ. ඇත්තටම කිව්වොත් මම ආවේ ගෙදරට හොරෙන්. ඒත් අද මම ලංකාවේ හමුදාවේ කාන්තා බළකායට තියෙන සුවිශේෂීම පාඨමාලාවක පුහුණු උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. මේ පාඨමාලව කරන්න නම් දරාගැනීමේ හැකියාව උපරිමෙන්ම තියෙන්න ඕනෑ. ඒ වගේම අනිත් හැමදේම අමතක කරලා පාඨමාලාවට විතරක් අවධානය තියාගන්න එක තමා වැදගත්ම. අපිත් එක්ක මේ පාඨමාලාව හදාරපු පිරිසක් මේ වනවිට එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල පවා නිරත වෙලා ඉන්නවා.
මේ පුහුණුව තමයි මගේ ජීවිතේ ප්‍රධානම හැරවුම් සන්ධිස්ථානය. ඒ කියන්නේ මට මේ පුහුණුවෙන් ලැබුණු අත්දැකීම් නිසා මට අද ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය මට තියෙනවා. මේ පුහුණුවේ එක් ප්‍රායෝගික අභ්‍යාසයක් තියෙනවා ඒක හරිම අභියෝගාත්මකයි. ඒකෙදි වෙන්නේ අපිව ගමකට හරි නගරයකට හරි ගිහින් දානවා යම් ඉලක්කයක් දීලා. ඉතින් අපි සතුරු හමුදාවන්ට අහුවෙන්නේ නැතිව අපිට දීපු ඉලක්කය එක අපි සම්පූර්ණ කරන්න ඕන. සතුරු හමුදාවන්ට අපි අහුවුණොත් ඔවුන්ගෙන් අපිට දඬුවම් ලැබෙනවා. ඒක හරිම අභියෝගාත්මක ප්‍රායෝගික අත්දැකීමක්. ඒ වගේම තමයි අපි ජංගල් කියලා කියන වනගත පුහුණු අභ්‍යාස. ජංගල් එකේදි තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න මඩ වතුර පවා බොන්න වෙනවා. ඒ වගේම තමා වන සතුන්ගෙන් ආරක්ෂා වීම තමයි අනිත් අභියෝගාත්මකම කටයුත්ත. ඉතින් මම අපේ රටේ තරුණියන්ට කියනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න. මොකද හමුදාවට එන එක වගේම විශේෂ ආධාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාවට එන්නත් හැමෝටම බැහැනේ.’’
දිලංක ගුණතිලක