මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත පිටුපස වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය 40ක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සය නිවුන් දරු උපතක් කොළඹ නයින්වෙල්ස් රෝහලේදී සිදු වුණා.
කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා නම් මවක දාව මෙම දරු උපත ඊයේ මධ්‍යම රාත්‍රී 12. 16ට පමණ සිදුව තිබුණා.
වෛද්‍යවරුන් පවසන්නේ, බිළිඳුන් හය දෙනා මේ වනවිට ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු එම සිසේරියන් සැත්කමට වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 40ක් සහභාගිවීම විශේෂත්වයක්.
ඒ අනුව දරු ප්‍රසූතිය මධ්‍යම රාත්‍රී 12.16 සිට ආරම්භ වූ අතර මිනිත්තු තුනක කාලයක් තුළ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනකු මෙළොව එළිය දුටුවා.
එහිදී පළමුව ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකුත්, 12.17ට පිරිමි දරුවන් දෙදෙනෙකු සහ රාත්‍රී 12 පසුවී මිනිත්තු 18ට තවත් ගැහැණු දරුවන් දෙදෙනෙකු වශයෙන් දරු උපත සිදුවී තිබුණා.
මෙම අවස්ථාවට සහභාගීවූ වෛද්‍ය කණ්ඩායම ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත පිළිබඳ මාධ්‍යයට තොරතුරු අනාවරණ කළේ මෙසේ,
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සඳහන් කළේ,
“බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් ට අපි නිර්දේශ කරනවා සති 36ත් 37ක් අතර ප්‍රසූතිය කරන්න. තුන්දෙනෙක් නම් සති 35න්. අපිට කොහෙවත් හොයා ගන්න බැරි වුණා 6 දෙනෙක් ඉන්නවා නම් කොයි කාලෙද හොඳ කියලා. බබාලගේ වර්ධනය සහ ලේ ගමනා ගමනය ස්කෑන් කර කර බැලුවා. අපි නිරීක්ෂණය කළා බලාලා දෙන්නෙක් ලේ ගමනාගමනය අඩුවීගෙන යනවා කියලා. ඒ වෙලාවේ අපි නිගමනය කළා සති 31 තමයි හොඳම කාලය කියලා. මේ බබාලගේ බර ගත්තාම ලොකුම බබා කිලෝ 1යි ග්‍රෑම් 600ක් බරයි. අන්තිම බබා ග්‍රෑම් 830යි.”
නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා සඳහන් කළේ,
“මේක ඉතාමත්ම අභියෝගාත්මක තත්ත්වයක් බවට පත්වුණා. ඒ නිසා දවස් කිහිපයකට කලින් අපි පෙරහුරුවක් සිදුකළා, ළඳරුවන්ගේ අනුරූ අරගෙන.”
නිර්වින්දන හා දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය රංජිත් දිසානායක මහතා,
“අම්මගේ ශරීරයේ තිබුණු ස්ථුලභාවය ලොකු අභියෝගයක් වුණා. කිලෝ 30ක විතර වැඩිවීමක් තිබුණා. හිරිවට්ටලා, සාමාන්‍ය සිසේරියන් සැත්කමක් කරන ආකාරයෙන් තමයි කළේ. අවම වශයෙන් පැය 48ක් ඇයව ඉතාමත්ම දැඩිව අපිට බලාගන්න වෙනවා.”
ළදරු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ මහතා,
“එක බිළිඳෙක් පමණක් ස්වසන ආධාරකයක ඉන්නවා. අනෙක් බබාලා තනිවම හුස්ම ගන්නවා. අපි පෙෂර් එකකින් පොඩි සපෝට් එකක් දෙන එක විතරයි කරන්නේ. තව සති 2ක් 3ක් වත් මෙයාලාව තියාගන්න අවශ්‍යයි.”
වයස අවුරුදු 35ක් වන ප්‍රභාත් උදයංග නැමති දරුවන්ගේ පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි.
ඔහු සඳහන් කළේ,
“එක බබෙක් තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. එක්කෙනෙක්ට 6 දෙනෙක් ලැබුණාම කොහොමත් සතුටුයි නේ. සැත්කම කරලා දොස්තරලා එළියට ඇවිත් කිව්වා සැත්කම සාර්ථකයි කියලා. ඊට පැයකට පස්සේ මට අවස්ථාව ලැබුණා දරුවන් බලන්න.”