Latest News

රටේ ආර්ථිකයේ ප්‍රධාන කොඳු නාරටිය මහ පාරට වැටිලා – ටානියා විජේසුන්දර

පවතින ආර්ථික අර්බුධය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා විජේසුන්දර මහත්මිය සඳහන් කරනවා.

ඒ ඊයේ (25) ඉම්පීරියල් මොනාක් හෝටලයේ දී පැවති ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කිසිදු දැක්මක් නොමැතිව රජය ගනු ලබන අමනෝඥ තීන්දු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි අර්බුධයකට ලක්ව ඇති බව ද ඇය මෙහිදී සඳහන් කළා.

මෙම අවස්ථාව අමතමින් ඇය වැඩිදුරටත් සඳහන් කලේ,

“ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නියෝජනය කරනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ඒවා රැක ගැනීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කලේ නැහැ. සියළු දෙනාම තමන් ගොඩ යෑමට අපිව පාවිච්චි කළා. අද අපි හිඟා කන තත්ත්වයට වැටිලා තියෙනවා. රටේ ආර්ථිකයේ ප්‍රධාන කොදු නාරටිය වූ අප මහ පාරට වැටිලා.

තමන් රටට මොනවද කලේ කියලා තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරල බලන්න කියලා පාර්ලිමේන්තුවේ 225ට අපි කියනවා. රජයේ සේවකයන්ට වැටුප් ගහන්න සල්ලි අච්චු ගහන්න වෙනවා කියලා දැන් අගමැතිතුමා කියනවා. අපේ මිනිස්සුන්ට අද වැටුප් ගෙවා ගන්න බැංකු ණය ගෙවා ගන්න විදියක් නැහැ. අපි වෙනුවෙන් මේ රජයට කිසිම වැඩ පිළිවෙළක් නැහැ. කුඩා හා මධ්‍ය ව්‍යාපාරිකයා රැකගන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් අපි ඉල්ලා සිටිනවා.” යනුවෙන්.