Latest News

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය තෙවන තරඟයත් ජය ගනියි – මල්ෂාගෙන් දක්ෂ පන්දු යැවීමක්

2022 ආසියානු කුසලාන කාන්තා පන්දු වාර විස්ස ක්‍රිකට් තරඟාවලියේ සිය තුන්වන තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) සමත්වුණා.

ඒ, මැලේසියා ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 72ක ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමගයි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 105 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ මැලේසියා කණ්ඩායමට පන්දු වාර 9 යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 33ක් පමණයි.

ඒ අනුව ආසියානු කුසලාන කාන්තා පන්දු වාර විස්ස ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා වනවා.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකා මල්ෂා ෂෙහානි ලකුණු 2 කට කඩුලු 4ක් දවාගත් අතර එය වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර 20 විස්ස තරඟයක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසයි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයට පැමිණ තිබෙනවා.