Latest News

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟයේ තවත් ජයක් ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ තායි කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරඟය ලකුණු 49කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) සමත්ව තිබෙනවා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 156ක් රැස් කරගෙන තිබුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 81ක් රැස් කරගැනීමට සමත් වුණ අතර ඇයගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

නිලක්ෂි ද සිල්වා හයේ පහර 2ක් සහ හතරේ පහර 03ක් සමග ලකුණු 39ක් රැස් කරගැනීමට සමත්ව තිබෙනවා.

පන්දු යැවීමේදී තායි කණ්ඩායම වෙනුවෙන් Thipatcha Putthawong කඩුලු 2ක් දවාගත් අතර Nattaya Boochatham සහ Suleeporn Laomi එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායි කණ්ඩායම වෙනුවෙන් Chanida Sutthiruang නොදැවී ලකුණු 37ක් රැස්කර තිබුණා.

Nannapat Koncharoenkai ලකුණු 25ක් රැස්කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අගනා පන්දු යැවීම හමුවේ තායි ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 107ක් පමණයි.

අචිනි කුළසුරිය පන්දුවාර 3ක් යොමුකර ලකුණු 19කට කඩුලු 02ක් දවාගැනීමට සමත් වුණා.

සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවාගත්තා.

තරඟයේ ක්‍රීඩිකාව වූයේ හර්ෂිතා සමරවික්‍රමයි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස කණ්ඩායම ආසියානු කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයේ රැඳී සිටිනවා.