Latest News

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම T20 අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

2022 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, තියුණු තරඟයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 3කින් පරාජයට පත්කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී රැස්කර ගත්තේ ලකුණු121ක් පමණයි.

පාකිස්තාන කණ්ඩායම සඳහා ආරම්භක පිතිකරු යුගලය ප්‍රවේගවත් ආරම්භයක් ලබා දුන්නේ පන්දු ඕවර 3ක් තුළ දී ලකුණු 31ක් රැස්කර ගනිමින්.

එම සම්බන්ධතාව බිඳ වැටුනේ වේගවත් පිතිහරඹයක නිරත වූ මුනිබා අලී ලකුණු 18 ට දුවද්දී දැවී යාමත් සමගයි.

ඉන් අනතුරුව නායකත්වයේ වගකීම කරට ගත් පාකිස්තාන කණ්ඩායමේ බිෂ්මා මරූෆ් පන්දු 41 කදී ලකුණු 42 ක් රැස්කර ගත්තා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් පාකිස්තාන ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කලේ ඔවුන්ගේ කඩුළු 5ක් බිඳ දමමින්.

තියුණු අවසානයක් කරා තරඟය රැගෙන ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පන්දු යවන්නන් පාකිස්තාන කණ්ඩායමට අවසාන පන්දු ඕවරයේ ලකුණු 9 ක ඉලක්කයක් ලබා දුන්නා.

නමුත් එම ඕවරයේ දී පාකිස්ථාන ක්‍රීඩිකාවන්ට රැස්කර ගත හැකි වූයේ, ලකුණු 7ක් පමණයි.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුළු 6 ක් දැවී ලකුණු 122 ලබා ගත්තා.