සුව දිවිය

දරුවෙක් හදන්න සූදානමක් නැත්නම් අවදානමක් ගන්නෙ මොකටද?

ඒ වෙනකොට සුරනිට අවුරුදු හතළිස් පහක් විතර ඇති. ඇයට දරුවෝ පස්දෙනෙක් හිටියා. සුරනිගේ සැමියා කමල්. ඔහුට හරිහමන් රැකියාවක් තිබුණේ නැහැ. කමල් ගමේ ගොඩේ කුලී වැඩවලින් හොයාගත්ත මුදලින් වැඩි හරියක් වියදම් කළෙත් සුරාවට සූදුවට. ඉතින් දරුවෝ පස්දෙනා එක්ක ජීවිතේ ගැට ගහගන්න සුරනි නොවිඳිනා දුක් වින්දා. ඉතින් ආයෙත් මේ පවුලට දරුවෙක් එකතු කරගන්න සුරනිට උවමනා වුණේ නැහැ. ඒ නිසා සුරනි ඇයගේ මිතුරියකගෙන් මේ සම්බන්ධ උපදෙස් පැතුවා. අඹු-සැමි සබඳතාවයකින් පස්සේ ගන්න පුළුවන් ඖෂධයක් ගැන සුරනිට කිව්වේ ඇය.
ඔහොම ටික කාලයක් ගතවෙනකොට සුරනි ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යන ලක්ෂණ පෙන්නුම් කළා. නොහිතුව වෙලාවක නැවතත් ගැබ්ගැනීම නිසා ඇයට ජීවිතේ පවා නැති කරගන්න හිතුණා. දරුවෝ පස්දෙනා වෙනුවෙන් තමන් ජීවත් වෙන්න ඕන කියලා හිතුව සුරනි නැවතත් ඇගේ දුක ඇයගේ මිතුරියට කිව්වා. සුරනිව නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයකට යොමු කළේත් ඒ කිව්ව මිතුරිය.

තමන්ගේ කුසේ ඉන්න දරුවා ගැන කැක්කුමක් තිබුණත් කරන්නම දෙයක් නැති තැන සුරනිත් ඒ වැඩේට එකඟ වුණා. මේ සිදුවීමෙන් දවස් තුනක් යනතුරුත් ඇගේ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වුණා. කරකියාගන්නම දෙයක් නැති වුණ තැන සුරනිව රජයේ රෝහලකට ඇතුළත් කළෙත් අර මිතුරියමයි. අනාරක්ෂිත ගබ්සා කිරීමක් නිසා සුරනිට මේ තත්ත්වය ඇතිවෙලා තියෙන බව වෛද්‍යවරුන්ට පැහැදිලි වුණා. දින කිහිපයකින් ඇගේ තත්ත්වය සුව කරන්න හැකි වුණත් නීතිවිරෝධී දෙයක් නිසා අවසානයේදී සුරනිට සහ ඇගේ මිතුරියට නීතිමය ගැටලු පවා ඇති වුණා.

සුරනි භාවිතා කරලා තිබුණේ හදිසි අවස්ථාවකදී පමණක් භාවිත කළ යුතු උපත් පාලන ඖෂධයක්. අනෙකුත් උපත් පාලන ක්‍රමවලට වඩා මේ පෙතිවල සාර්ථකත්වය අවම බව ඇය දැනගෙන හිටියේ නැහැ.

ගතවෙන හැම දවසකම අපේ රටේ නීතිවිරෝධී අනාරක්ෂිත ගබ්සා කිරීම් සැලකිය යුතු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. විවාහ නොවුණ තරුණ දියණියන් විතරක් නෙවෙයි විවාහක අඹු-සැමියන් පවා මේ ගබ්සා කිරීම්වලට යොමු වෙනවා.

දීර්ඝකාලීනව අඹු-සැමියන් ලෙස ලිංගික සබඳතා පවත්වනකොට පවා නිසි උපත් පාලන ක්‍රමවේදයක් භාවිතා නොකරන අය, එතකොට හදිසි අවස්ථාවලදී භාවිතා කළ යුතු ඖෂධ දීර්ඝකාලීනව භාවිත කරලා යම් යම් සංකූලතා ගැටලු ඇති කරගත්තු සුරනි වගේ උදවිය අපට නිතර නිතර මුණගැහෙනවා. ඒ නිසාම අද මම දීර්ඝකාලීනව භාවිතා කරන්න පුළුවන් උපත් පාලන ක්‍රම කිහිපයක් පිළිබඳව දැනුවත් කරන්න හිතුවා.

අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීම සහ උපත් අතර යම් පරතරයක් පවත්වා ගැනීමට තමයි අපි උපත් පාලනයක් කියන්නේ.

දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයක් විදියටත්, තාවකාලික උපත් පාලන ක්‍රමයක් විදියටත් කොන්ඩම් භාවිතා කිරීම වඩා ප්‍රතිඵලදායකයි. ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වළක්වා ගන්නත් තියෙන හොඳම ක්‍රමවේදයක් තමයි කොන්ඩම්. මීට කලින් ලිපියකින් ඒ ගැන අපි කතා කළ නිසා මම අද ඒ ගැන නැවතත් කතා කරන්නේ නැහැ. හදිසි අවස්ථාවකදී භාවිතා කරන්න පුළුවන් උපත් පාලන ක්‍රම ගැන මම මුලින්ම කතා කරන්නම්.

හදිසි අවස්ථාවක් කියන්නේ මොකක්ද? උදාහරණයක් විදියට දෙදෙනෙකු භාවිත කරන කොන්ඩමයක් කැඩී ගියා කියලා සිතන්න. අන්න එවැනි අවස්ථාවකදී හදිසි ගැබ්ගැනීම් වළකන ඖෂධයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම පෙර සැලසුම් නොකර සිදුවන ලිංගික එක්වීම්වලදී, ලිංගික අපයෝජනයකට ලක්වුණු අවස්ථාවකදී පවා මේ ඖෂධ භාවිතා කරන්න පුළුවන්. මේ ඖෂධ පෙති දෙකක් හෝ එකක් වශයෙන් බොහොම ප්‍රසිද්ධ වෙළඳ නාමයකින් වෙළඳපොළේ ගන්න තියෙනවා. මේ තුළ අඩංගු වෙන්නේ හෝර්මෝන. ඒවා අධි මාත්‍රාවලින් තිබෙන බවත් කියන්න ඕනේ.
එක පෙත්තක් තිබෙන ඖෂධ පැකට්ටුවක් නම් අනපේක්ෂිත ලිංගික එක්වීම වුණ මොහොතේ ඉඳලා පැය 72ක කාලය ඇතුළත පෙත්ත ලබාගන්න ඕනේ. ඖෂධ හැකි ඉක්මනින් ගන්නා තරමට ගැබ්ගැනීමේ අවදානම අඩු වෙනවා. නොදැනුවත් බව නිසා සමහරු පැය 72කට පස්සෙත් මේ ඖෂධය භාවිතා කරනවා. ඒක අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්. පෙති දෙකක් තියෙන ඖෂධ පැකට්ටුව භාවිතා කරනවා නම් ලිංගික එක්වීමෙන් පසු එක් පෙත්තකුත් ලිංගික එක්වීමෙන් පැය දොළහකට පසු ඉතිරි පෙත්තත් භාවිතා කරන්න. මේ ඖෂධය ලිංගික එක්වීමෙන් පැය 72ක් ඒ කියන්නේ ලිංගික එක්වීමෙන් දවස් තුනක කාලයක් දක්වා භාවිතා කරන්න පුළුවන්. ඖෂධය භාවිතා කරලා පැය දෙකක් ඇතුළත වමනය කළොත් ඖෂධය ශරීරයෙන් බැහැර වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තත්ත්වයකදී නැවතත් ඖෂධය ලබාගන්න අමතක කරන්න එපා.
මේ ඖෂධවල සාර්ථකත්වය 90%යි. ඉතින් ඖෂධය ගත්තත් ගැබ් ගැනීමට 10%ක සම්භාවිතාවක් තිබෙනවා. ඒ වගේම ඖෂධය නිසා ආර්ථව චක්‍රයේ වෙනස්වීම් ඇති වෙන්නත් ඉඩ තියෙනවා.
මේවා භාවිතා කරන අතුරතුරේ ගැබ් ගත්තොත් දරුගැබට හානියක් ඇතිවෙයිද කියලා සමහරු මව්වරුන් ප්‍රශ්න කරනවා. නැහැ. මේවා භාවිත කරන අතරතුර දරුගැබක් ඇති වුණොත් දරුවට කිසිම අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම කියන්න ඕනේ.
මම කිව් මේ ඖෂධවලට අමතරව අනපේක්ෂිත ලිංගික එක්වීමකින් දවස් පහක් දක්වා වුණත් භාවිත කළ හැකි ලූපයන් පවා තිබෙනවා කියන එකත් කියන්න ඕනේ.

දිගු කාලයක් භාවිතා කළ හැකි 99%ක්ම සාර්ථක උපත් පාලන ක්‍රම කිහිපයක් ගැන මීළඟට බලමු.
එකක් තමයි දීර්ඝකාලීනව භාවිත කරන පවුල් සැලසුම් පෙති. මේ ඖෂධවල අඩංගු වෙන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් සංකලනයක්. නමුත් අපි ඉහත කිව් ඖෂධවලට වඩා මේවායේ අඩංගු හෝර්මෝන මාත්‍රාව අවමයි. ඒ වගේම මේවා වඩා ප්‍රතිඵලදායකයි.

මේ ඖෂධ පැකට්ටුවක රතු පැහැති පෙති 7කුත්, සුදු පැහැති පෙති 21කුත් වශයෙන් පෙති 28ක් තිබෙනවා. ඔසප් වීමෙන් දවස් 5ක් අතුළත ඖෂධයට භාවිතා කිරීම ආරම්භ කරන්න ඕනේ. මුල් දවස් 21 සුදු පෙතිත්, ඊළඟ දින 7දී රතු පෙතිත් භාවිතා කරන්න. හැම දවසකම එකම වෙලාවක මේ පෙත්ත භාවිතා කරන්න අමතක කරන්න එපා.

කෙනෙක්ට එක දවසක් ඖෂධය භාවිතා කරන්න අමතක වුණොත් ඒකේ ගැටලුවක් නැහැ. ඒත් දවස් දෙකක් හෝ ඊට වඩා වැඩි දින ගණනක් එය අමතක වුණොත් අර අපි කලින් කිව් හදිසි ගැබ්ගැනීම් වළක්වන ඖෂධයක් භාවිතා කරන්න. නමුත් ඒ කාලය අතරතුර එක්වීමක් වෙලා නැතිනම් එය අවශ්‍ය නැති බවත් කියන්න ඕන. මේ පවුල් සැලසුම් පෙති නිසා සමහරුන්ට පියයුරු වේදනාව, කැරකැවිල්ල, කුරුලෑ ඇතිවීම වගේ කෙටිකාලීන අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දීර්ඝකාලයක් මේ ඖෂධ භාවිතා කළොත් ගැබ්ගෙල පිළිකා, ගර්භාෂ පිළිකා ඇති වෙන්නත් ඉතාම සුළු අවදානමක් තිබෙනවා. මේ ඖෂධවලට ලේ කැටිගැසීමේ යම් අවධානමකුත් තිබෙනවා. ඒ නිසා ලේ කැටිගැසෙන තත්ත්වයන් තිබෙන අයට මේවා නිර්දේශ කරන්නේ නැහැ.

අත යට තැම්පත් කරන ඉම්ප්ලාන්ට් ක්‍රමයත් බොහොම සාර්ථක දිගුකාලීන පවුල් සැලසුම් ක්‍රමයක්. බොහෝදෙනා මෙය දන්නේ ‘ජඩෙල්’ නමින්. මෙතැනදී වෙන්නේ හොර්මෝන අඩංගු කුඩා කරලක් ඉතා සුළු සැත්කමක් මගින් අත යට තැම්පත් කරන එකයි. මේ තැම්පත් කිරීමෙන් පස්සේ උපත් පාලනය ගැන නැවත නැවත වද වෙන්න අවශ්‍ය නැහැ. අනික අවුරුදු 4-5 කාලයක් දක්වා මෙය වලංගුයි.

අදාළ කාලසීමාව තුළ ඔසප් චක්‍රය සම්පූර්ණයෙන්ම නතරවීම, ඔසප් චක්‍රය ආශ්‍රිත විවිධ ගැටලු ඇතිවීම, ශරීරයට සුළු අපහසුතා දැනීම වගේ අතුරු ආබාධ මේ තුළින් ඇතිවෙන්න පුළුවන්. නමුත් ජඩෙල් එක ඉවත් කළ විට ඒ අපහසුතා මගහැරෙනවා. ඒ වගේම අවශ්‍ය ඕනෑම මොහොතක වෛද්‍යවරයෙකු හමුවී එය ඉවත් කරගන්න පුළුවන්.

ඊළඟට කතා කරන්නේ අන්තර් ගර්භාෂිත ලූපය ගැන (IUCD). මෙතැනදි කරන්නේ ඩිම්බයක් ශුක්‍රාණුවක් එකට එකතු වෙන එක වළක්වන්න ගර්භාෂයට ඉතා කුඩා ලූපයක් තැම්පත් කරන එක. මෙය අවුරුදු දහයක් පමණ වලංගුයි. ලූපය තැම්පත් කළ මුල් කාලයේදී බඩ කොරවෙන ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් කාන්තාවන්ට ඔසප් රුධිරය වැඩිපුර පිටවීමත් මෙහි අතුරු ආබාධ විදියට ඇති වෙනවා.

දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමවේදයක් විදියට ශරීරයට හෝර්මෝන එන්නත් කිරීමත් සිදු කරනවා. මේ එන්නත මාස තුනෙන් තුනට ලබාගන්න ඕනේ. එන්නත නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න වගේම ශරීරය තරමක් මහත් වෙන්නත් ඉඩ තියෙනවා.

දරුවෙක් බලාපොරොතු නොවන අයට වගේම පවුලට අවශ්‍ය දරුවන් ප්‍රමාණය සම්පූර්ණ කළ අඹු-සැමියන් දෙදෙනාගෙන් එක් අයෙකුට ස්ථිර වන්ධ්‍යාකරණ සැත්කමකට යොමු වෙන්නත් පුළුවන්. මෙතැනදී සිදුකරන්නේ සුළු ශල්‍යකර්මයකින් කාන්තාවකගේ පැලෝපීය නාල ගැටගසා කැපීමයි. පුරුෂයෙකුගේ නම් ශුක්‍ර තරලය ගලා යන වාහිනී ගැට ගසා කපා දමනවා.

සාර්ථකත්වය අතින් හොඳම පවුල් සැලසුම් ක්‍රමය ජඩෙල් කියන එක වෛද්‍යවරුන් විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒත් මේ හැම ක්‍රමයේම වාසි අවාසි තියෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන වෛද්‍යවරුන් එක්කත් කතා කරලා හොඳම දේ තෝරගන්න යුවළකට හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙනුත් මේ සඳහා අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්. මම කතා කළ මේ හැම ක්‍රමවේදයක්ම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයෙන් නොමිලේම ලබාගන්න පුළුවන් කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ.

උපත් පාලනය ගැන නිසි දැනුමක් නැති නිසා බොහෝ කාන්තාවන් අපහසුතාවයට ලක්වෙනවා. ඉතින් මිනිත්තු කිහිපයක සතුට වෙනුවෙන් ජීවිතය විනාශ කරගන්න එපා. මේ වගේ ක්‍රමවේද ගැන දැනුවත් වෙලා ඒවා භාවිතා කරන්න කියන එක තමයි මට කියන්න ඕනේ. මොකද සූදානම් නැති මොහොතක සිද්ධවෙන ගැබ්ගැනීම් සෙල්ලමක් නෙමෙයි. ඒවා ජීවිත පවා අවදානමට ලක්කරන සංකීර්ණ ගැටලු බව මතක තියාගන්න.

 

ප්‍රගීත් ප්‍රේමදාස

ලිංගික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍ය

සෙව්වන්දි හෙට්ටිආරච්චි