විශේෂාංග

නිවේදක සිහිනයට සිනාසුණු ගුරුතුමීට තෑගිවලින් දඬුවම් දුන් සුපිරි නිවේදකයා ස්ටීව් හාවි

‘Volcano’ යන වචනය නිසිපරිදි උච්චාරණය කිරීමට තිබූ අපහසුව නිසා පාසල් ළමුන් අතර නිරන්තරයෙන් සමච්චලයට ලක්වූ සිසුවෙක් සිටියේය. අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇතිව ඉපදුණු ඔහුගේ නම ස්ටීව් ය. කථන අපහසුතා නිසා ඔහුගේ ගමන සුබ සහ සුවදායී එකක් නොවුණත් කිසිවෙකුට නොකී විසල් සිහිනයකුයි ඔහුගේ හිතේ තිබු​ණේ.

හයවන ශ්‍රේණියේ උගනිමින් සිටියදී දිනක් ඔහුගේ පන්තිභාර ගුරුතුමිය පන්තියේ සිසුන්ට පැවරුමක් ලබාදුන්නාය. තම තමන්ගේ අනාගත අපේක්ෂාවන් කඩදාසියක සටහන් කර නැවතත් ගුරුතුමියගේ අතට දීමය පැවරුම වූයේ. සැබෑම අරමුණ එහි සටහන් කළ යුතු බවටද ගුරුතුමියගෙන් උපදෙස් ලැබුණි. ස්ටීව්ට දෙවරක් සිතීමට දෙයක් නොතිබිණි. ඔහු තම සිහිනය පැහැදිලි අකුරින් සුදු කඩදාසිය මත අකුරු කළේය.

‘‘මට රූපවාහිනියේ පෙනී සිටීමට අවශ්‍යයි.’’

ඒ, කඩදාසියේ ලියැවුණු ස්ටීව්ගේ හීනයයි. නියමිත වේලාවෙන් පසු ගුරුවරිය පැවරුම් එකතු කළාය. ස්ටීව්ගේ පිළිතුර දුටු ඇය පුදුමයටත්, කේන්තියටත් පත් විය. ඇයට අනුව එය විකාරයකි. අනිත් ළමුන් මෙන් පැහැදිලිව අදහසක් ප්‍රකාශ කිරීමටවත් නොහැකි සිසුවකු එලෙස ලිවීම පැවරුම විහිළුවට ගැනීමක් ලෙසයි ඈ සැළකුවේ. එබැවින් ස්ටීව් හාවි පන්තිය ඉදිරියට කැඳවූ ගුරුවරිය ඔහුට චෝදනා කරමින් එම කඩදාසිය ඉරා දැමුවාය. ඔහු මෙවැනි බහුබූත සිහින දැකීමේ භයානකකම ඇය හාවිගේ මවටද දුරකතන මාර්ගයෙන් දැනුම් දුන්නාය.

ස්ටීව් එදින නිවසට ගියේම කෝටුපහර කිහිපයක් අපේක්ෂාවෙනි. ගුරුවරිය කී දේ ගැන කණස්සල්ලට පත්ව සිටි මව, පියා නිවසට පැමිණි වහාම ඔහුටද ඒ බව දැනුම් දුන්නාය. එහෙත් ඔහුගේ ප්‍රතිචාරය වෙනස්ය.

‘‘ඉතින්, මොකද්ද ඒකෙ වැරැද්ද?’’

මවත් පියාත් අතර සංවාදය මතගැටුමක් බවට හැරෙද්දී ස්ටීව්ට කාමරයට යන ලෙස අණ ලැබිණි. ටික වේලාවකින් එහි පැමිණි පියා ස්ටීව් සමඟ කතා කළේය.

‘‘ඔයාගෙ කොළය ලාච්චුවට දාන්න. හැම උදේම නැගිට්ට ගමන් ඒ කොළේ කියවන්න. හැමදාම නිදියන්න කලින් ඒ කොළේ කියවන්න. ඒක තමා ඔයාගෙ කොළේ.’’

පියා තමාට ඉගැන්වූ සාර්ථකත්වයේ මූලධර්මය එය බව ස්ටීව් හාවි පවසයි.

‘‘මනසින් දකින දේ ලියා තබා නැවත නැවත දැකිය හැකි නම්, ඒවා ඔබේ දෑතේ රඳවා තබාගත හැකියි. ඔබට විසල් සිහින තිබේනම්, පිළිගන්න ඔබට සාර්ථක විය හැකියි.’’

තමා කෙරෙහි විශ්වාසය තැබූ පියාට අමතරව තවත් විශේෂ පුද්ගලයෙකු ස්ටීව්ගේ මතකයේ සිටී. ඒ අසල්වැසියෙකි. කථන දුර්වලතා මගහරවා ගැනීමට හෙතෙම ස්ටීව් උනන්දු කරවීය. ඔහු ස්ටීව්ට ලබාදුන් උපදෙස මෙයයි.

‘‘කිසිවක් ප්‍රකාශ කිරීමට පෙර එය තුන්වරක් ඔබටම කියාගන්න. ඔබට අවශ්‍ය කාලය ලබාගන්න. පසුව වචනය පිටකරන්න.’’

නිවැරදිව කතා කරන සෑම අවස්ථාවකම අසල්වැසියා ස්ටීව් අගය කළේ රසකැවිල්ලක් ලබාදෙමිනි.

වසර ගණනක කැපවීම, මහන්සිය වැටීම් නැගිටීම් අතරින් ස්ටීව් හාවි සිය අරමුණට ළඟාවිය. දැන් රූපවාහිනී ක්ෂේත්‍රයෙහි ඔහු නොදත් අයෙකු නැති තරම්ය. එහෙත් කටුක ළමා විය ඔහුට අමතක නැත. හදවත හූරා දැමූ ගුරුවරිය පිළිබඳ කේන්තියක්ද ඔහුට නැත. එහෙත් තමා රූපවාහිනියේ සිටින බව ඇයට දැනුම් දීමට ඔහුට අවශ්‍ය විය. ඒ වෙනුවෙන් හරි අපූරු උපක්‍රමයකි ඔහු අනුගමනය කළේ.

‘‘ඇය ජීවත්ව සිටිතාක් හැම නත්තලටම මම ඇයට රූපවාහිනියක් තෑගි ලෙස යැව්වා. කලක් ගත වෙද්දි ඇයගෙන් චෝදනා එල්ල වුණා රූපවාහිනී යන්ත්‍ර තබාගැනීමට ඉඩක් නැති බවට. ඒත් මම ඒක ගනන් ගත්තෙ නෑ. මට ඕන වුණේ පුංචි කාලේ මගේ හීනයට හිනාවුණු ඇයට දින හතේම මා රූපවාහිනියේ පෙනී සිටීම පෙන්වීම පමණයි.’’

අද වනවිට අභිප්‍රේරකයකු ලෙසද ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින ස්ටීව් ඒ ස්ථානයට ළඟාවූයේ දැඩි කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. සිහිනය හඹායාම වෙහෙසකර වුවද ඔහු එය අත් නොහැරීය. ඇතැම් කාලයක ඔහුගේ නිවහන වූයේ මෝටර රථය පමණි. වීථි පුරා එහි නැගී යමින් රාත්‍රිය එහිම නිදමින් ඔහු සිහිනයට ළඟාවිය.

‘‘දුප්පත්කම මාව මේ තැනට තල්ලු කළා. මට ඒක එපාවෙලා තිබුණෙ. කුඩා කාලයේදී මට කිරීමට අවශ්‍ය වූ දේ කළ නොහැකි වුණා. මම කොන් වී සිටියා. ඒත්, මනසින් වැඩෙත්ම මම මගේ තැන, කළ යුතු දේ තෝරාගත්තා. මට වේදිකා භීතිය තිබුණා. එය ජයගැනීමට මා සමත් වුණා. තවමත් ඕනෑම සංදර්ශනයකට පෙර මානසිකව සූදානම් වීමට මම වෙලාව ගන්නවා. මගේ අදහස් මිනිසුන් අතරට ගෙනියන්න මම ඒ විශේෂ කාලය තවමත් මට දෙනවා.’’

සැබැවින්ම ස්ටීව් හාවි අපූරු මනුෂ්‍යයෙකි. සැමවිටම තමා කරනා කාර්යයෙහි වගකීම ඔහු බාරගත්තේය. 2015 විශ්ව රෑ රැජින අවසන් තරඟ රාත්‍රිය ඊට කදිම උදාහරණයකි. එහි නිවේදන කටයුතු සිදුකරනු ලැබුවේ ඔහුය. ජයග්‍රාහිකාව ප්‍රකාශ කරන මොහොත එළැඹිණ. බොහෝ පරිණත නිවේදකයාට බරපතළ අත්වැරැදීමක් විය. ජයග්‍රාහිකාව ලෙස ඔහු ප්‍රකාශ කළේ වැරදි නමයි. වැරැද්ද අවබෝධ වනවිට දෙවෙනියා විය යුතුව සිටි කොලොම්බියා රූමතිය විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳ අවසන්ය. එහෙත් සැබෑ ජයග්‍රාහිකාව පිලිපීන රූ රැජිනයි. සමස්ත ලෝකය බලා සිටියදී නිවැරදි කිරීම නුසුදුසු බව සිතන විනිසුරු මඩුල්ල එය පසුදාට කල්තැබීමට තීරණය කළේය. මෙය ස්ටීව් හාවිගේ වෘත්තීය ජීවිතයටද බලපෑමකි. එහෙත් තමාගේ වෘත්තියට කුමක් වුවද, ක්‍රියාවේ වගකීම තමා බාරගත යුතු බව ස්ටීව් විශ්වාස කළේය. එබැවින් ඒ මොහොතේම ස්ටීව් හාවි වේදනාකාරී වුවද සිය වැරැද්ද එම වේදිකාවේ දීම නිවැරදි කළේය. වෘත්තීය අභාවයට යාම වෙනුවට ඔහුගේ නිවේදන දිවිය තවත් වර්ණවත් කිරීමට එම සිදුවීම හේතුවිය. සියලුදෙනා ඔහු අගය කළහ. ඔහුගේ වගකීම් සහගත බව, වරද නිවැරදි කිරීමේ සැබෑ උවමනාව බොහෝ පිරිසකගේ අවධානයට ලක්විය.

1957 ජනවාරි 17 වනදා ඇමරිකාවේ බටහිර වර්ජිනියාවේ ඔහු උපත ලැබුවේ පවුලේ බාලයා ලෙසිනි. මේසා දුරක් එන්නට ඔහුව උනන්දු කළ ඔහුගේ පියා වෘත්තියෙන් ගල්අඟුරු පතල් සේවකයෙකි. මව ඉරිදා පාසල් ගුරුවරියක වූවාය.

අද වනවිට ඔහු විකට ශිල්පියකු, රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදකයකු, නිෂ්පාදකයකු, නළුවකු සහ ලේඛකයෙකු ලෙසද ජනාදරයට පාත්‍ර වී ඇත. නමින් හඳුනා නොගත්තද ඔහුගේ රුව අපට හුරු ඒ නිසාය.

රෂ්නිකා ලියනගේ