News

STF අණදෙන නිලධාරී ජෙ.නි.පො. එම්. ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක්

අද (05) දින විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදී තිබෙනවා.

පෙබරවාරි 05 වැනි දින, එනම් අද දිනට වයස අවුරුදු හැටක් සපිරීම හේතුවෙන් ඒ මහතා විශ්‍රාම යාමට නියමිතව තිබුණා.

1979 වසරේ ජනවාරි මස 15 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූ ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරම්භක සාමාජිකයෙකු වනවා.

40 වසරක සිය සේවා කාලයේ විවිධ තනතුරු රැසක් හෙබවු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා 2016 වසරේ අගෝස්තු මස 19 වන දින මෙරට 11 වන පොලිස් විශේෂ කාර්යය බලකාය බාර සේනා විධායක ලෙස වැඩ භාරගනු ලබනවා.

පසුගිය වසර කිහිපය තුළ පාතාල මර්දන කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා.